15 ඇෆ්ගන් පොඩ්ඩා සමඟ දකුණු අප්‍රිකානු ප්‍රවීණයා මෙල්බර්න් යයි

Big Bash League තරගාවලිය 2020-21

2640
Imran Tahir, Noor Ahmad

දකුණු අප්‍රිකානු දඟපන්දු යවන ක්‍රීඩක Imran Tahir සිය මංගල Big Bash League තරගාවලිය ක්‍රීඩා කරන්නට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. ඔහු මීළඟ තරග වාරය සඳහා Melbourne Renegades කණ්ඩායම හා ගිවිසුම්ගත වී ඇති අතර ඇෆ්ගනිස්තානු වමත් පන්දු යවන ක්‍රීඩක Noor Ahmad ද සිය කණ්ඩායමට කැඳවා ගන්නට Renegades සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් 41 හැවිරිදි Tahirට තරගාවලියේ පළමු තරග කිහිපය මඟ හැරෙන අතර ඔහු නත්තලෙන් පසුව කණ්ඩායම් හා එක්වන්නට සැලසුම් කර තිබෙනවා. 15 හැවිරිදි Ahmad ඒ දක්වා Tahirගේ හිඩැස පිරවීමට නියමිතයි. 

“Imran Tahir විස්සයි විස්ස ක්‍රීඩා පිටිය තුළ විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කර තිබෙනවා. ඔහු කඩුලු ලබා ගන්නට බොහොම දක්ෂ ක්‍රීඩකයෙක්” Renegades පුහුණුකරු Michael Klinger පවසා තිබුණා. “අපි Noor Ahmadව දැන් වසරක විතර කාලයක් නිරීක්ෂණය කළා, තවමත් ඔහුගේ ක්‍රීඩා දිවියේ මුල් කාලය තමයි ගෙවෙන්නේ. ඔහු ගාව තිබෙනවා පිතිකරුවන් අමාරුවේ දමන උපක්‍රම කිහිපයක්.”

තවත් ක්‍රිකට් පුවත්:

Tahir මේ වන විට Chennai Super Kings සමඟ IPL තරගාවලියේ ක්‍රීඩා කරන අතර ඔහු විස්සයි විස්ස තරග 300කට අධික ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු BBL තරගාවලියට එක්වන පළමු අවස්ථාව මෙයයි.

“මම දිගටම BBL තරගාවලිය බැලුවා, මම දන්නවා එය කොච්චර තරගකාරී ද කියලා” Tahir පවසා සිටියා. “Renegades කණ්ඩායමේ මගේ අලුත් සගයින් සමඟ එකතු වෙලා සාර්ථක තරග වාරයක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

Shpageeza League තරගාවලියේ කිරුළ දිනූ Mis Ainak Knights කණ්ඩායමේ සාමාජිකයෙක් වන Ahmad පසුගිය වසරේ දී Mohammad Nabiගේ නායකත්වය යටතේ සිය මංගල තරගය ක්‍රීඩා කළා. ඔහු Knights කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට ද පත් වුනේ ලකුණු ලබා දීමේ වේගය 6.48ක් ලෙස පවත්වා ගනිමින් කඩුලු අටක් රැස්  කරමිනුයි. 

Ahmad හට මේ වසරේ දී කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ St Lucia Zokus කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නට අවස්ථාවක් හිමි වුනත්, එක්සත් රාජධානියට පැමිණ ගුවන්යානා හුවමාරු කරන්නට ඔහුට විසා නොලැබීම නිසා එම අවස්ථාව ඔහුට අහිමි වුනා. 

“Renegades රසිකයින් Noor කියන්නේ කවුද කියලා තවමත් දන්නේ නැහැ. නමුත් මම ඔවුන්ට කියන්න කැමතියි ඔහු ඉතා දීප්තිමත් අනාගතයක් තිබෙන ක්‍රීඩකයෙක්” Nabi, Ahmad ගැන අදහස් තබා තිබුණා.

BBL තරගාවලිය ආරම්භ කරමින් Renegades කණ්ඩායම දෙසැම්බර් 3 වැනිදා Adelaide Strikers සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි.

CricBuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<