ඉන්දියාවට එරෙහි වන ඕස්ට්‍රේලියානු සංචිතයක් එළියට

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2020/21

1237

ලබන මාසයේ අවසානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා තරග වදිනු ලබන ඕස්ට්‍රේලියානු සංචිතය (එක්දින සහ විස්සයි විස්ස) නිල වශයෙන් ප්‍රකාශයට පත්ව ඇත.

නොවැම්බර් මස 27 වැනිදා සිට ලබන වසරේ ජනවාරි මස 19 වැනිදා දක්වා පැවැත්වෙන මෙම දීර්ඝ ක්‍රිකට් තරගාවලිය සඳහා ICC ලෝක කුසලාන එක්දින සුපර් ලීගයේ තරග තුනක්, විස්සයි විස්ස තරග තුනක් සහ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග හතරක් ඇතුළත් වේ.

එහි පළමු එක්දින තරග දෙක පිළිවෙළින් නොවැම්බර් 27 සහ 29 සිඩ්නි හිදී පැවැත්වෙන අතර අවසන් එක්දින තරගය Manuka Oval හිදී පැවැත්වේ. තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 4 වැනිදා Manuka Oval හිදී පැවැත්වීමට නියමිත අතර එම විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරග දෙක දෙසැම්බර් 6 සහ 8 සිඩ්නි හිදී පැවැත්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් සඳහා එරට රජයේ අවසර ලැබී තිබේ.

තවත් ක්‍රිකට් පුවත්

වයස අවුරුදු 21ක් වන පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක Cameron Green පළමු වරට ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් සංචිතයක් සඳහා කැඳවීම් ලබාගෙන තිබෙන අතර ආබාධයකට ලක්ව ප්‍රතිකාර ලබා ගනිමින් සිටින Mitchell Marsh වෙනුවට Moises Henriques මේ ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත. Henriques ඕස්ට්‍රේලියානු ජාතික සංචිතයක් සඳහා කැඳවීම් ලබන්නේ වසර තුනකට පසුවයි.

Aaron Finchගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයේ උපනායකත්වය හිමිව තිබෙන්නේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන Pat Cummins හටයි. ඔවුන් දෙදෙනාම මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිළිවෙළින් Royal Challengers Bangalore සහ Kolkata Knight Riders කණ්ඩායම් නියෝජනය කරනු ලැබේ.

ඕස්ට්‍රේලියානු සීමිත පන්දුවාර සංචිතවල නිරන්තරයෙන් සිටි Nathan Lyon, Josh Philippe, Riley Meredith සහ Andrew Tye වැනි ක්‍රීඩකයින් කට මේ සංචිතය තුල ඉඩක් වෙන්ව නොතිබීම සුවිශේෂී වේ.

සීමිත පන්දුවාර තරගාවලි සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතය,

Aaron Finch (නායක), Pat Cummins (උප නායක), Sean Abbott, Ashton Agar, Alex Carey, Cameron Green, Josh Hazlewood, Moises Henriques, Marnus Labuschagne, Glenn Maxwell, Daniel Sams, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa.

“මේ සංචිතයම නිමා වූ එංගලන්ත තරගාවලියේ දී ඉතාමත් හොඳින් දස්කම් පෙන්නුවා. නමුත් අවාසනාවන්ත විදිහට ඒ සංචිතයේ සිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ආබාධවලට ලක්ව සිටින නිසාවෙන් අපිට ඒ ක්‍රීඩකයින් වෙනුවට වෙනත් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ආදේශ කරන්න වුනා.

එංගලන්තය කියන්නේ දැනට ලෝක එක්දින ක්‍රිකට් ශූරයින් ඒ වගේම ඔවුන්ව පරාජය කරලා අපි විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම්වල නැවතත් අංක 1 ස්ථානයට පැමිණියා. ඒක නිසා මම හිතන්නේ නැහැ ඉන්දියාව එක්ක තියෙන මේ තරගාවලිය තුල අපේ සංචිතයේ ලොකු ලොකු වෙනස්කම් කරන්න ඕනේ කියලා” යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තේරීම් නිලධාරි Trevor Hohns මහතා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මාධ්‍ය වාර්තාව වෙත පවසා තිබේ.

වයස අවුරුදු 21ක් වන Green ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රාන්තය නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අතර ඔහු Perth Scorchers කණ්ඩායම නියෝජනය කරමින් දේශීය තරග රටාව තුල එක්දින තරග 9ක් සහ විස්සයි විස්ස තරග 13ක් ක්‍රීඩා කරමින් දස්කම් දක්වා ඇත.

තවද මේ දිනවල පැවැත්වෙන Sheffield Shield තරගාවලිය තුල ද දිගින් දිගටම ලකුණු අතර සිටින Green එක් ඉනිමක නොදැවී ලකුණු 158*ක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි. ඔහු ඕස්ට්‍රේලියාවේ සිය මංගල ප්‍රාන්ත තරග වාරය ක්‍රීඩා කරන විට වයස අවුරුදු 17ක කුඩා තරුණයෙක් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් වූ වහාම මෙම තරගාවලිය සඳහා තරග වදින ඉන්දීය කණ්ඩායම සහ IPL තරගාවලියට සහභාගී වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාලසටහන,

  • පළමු එක්දින තරගය – නොවැම්බර් 27 – සිඩ්නි හිදී
  • දෙවැනි එක්දින තරගය – නොවැම්බර් 29 – සිඩ්නි හිදී
  • තෙවැනි එක්දින තරගය – දෙසැම්බර් 1 – Manuka Oval හිදී
  • පළමු විස්සයි විස්ස තරගය – දෙසැම්බර් 4 – Manuka Oval හිදී
  • දෙවන විස්සයි විස්ස තරගය – දෙසැම්බර් 6 – සිඩ්නි හිදී
  • තෙවැනි විස්සයි විස්ස තරගය – දෙසැම්බර් 8 – සිඩ්නි හිදී
  • පළමු ටෙස්ට් තරගය – දෙසැම්බර් 17-21 – Adelaide Oval හිදී
  • දෙවන ටෙස්ට් තරගය – දෙසැම්බර් 26-30  – MCG හිදී
  • තෙවැනි ටෙස්ට් තරගය – ජනවාරි 7-11 – සිඩ්නි හිදී
  • සිව්වැනි ටෙස්ට් තරගය – ජනවාරි 15-19 – බ්‍රිස්බේන් හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<