ලෙමා රග්බි පිටියට ආයුබෝවන් කියයි

346

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ සහ මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ ශෙහාන් පතිරණ රග්බි ගමනට සමුදීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව ඔහු සිය Facebook ගිණුමේ සටහනක් ද තබා තිබුණා.

1992 වසරේ උපත ලැබූ ශෙහාන් පතිරණ බොහෝ දෙනා හඳුනා ගත්තේ ලෙමා යන අන්වර්ථ නාමයෙන්. කොළඹ රාජකීය විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට පිවිසෙන ඔහු 2011 වසරේ දී රාජකීය විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වයට පත්වීමට සමත් වුනා.

එම වසරේ දී රාජකීය කණ්ඩායම පාසල් රග්බි කිරුළ දක්වා රැගෙන යාමට තරම් දස්කම් දක්වන ශෙහාන් ඉන් අනතුරුව CR&FC නියෝජනය කරමින් වෘත්තීය රග්බි ක්‍රීඩාවට පිවිසෙනවා.

ඉන් අනතුරුව හැව්ලොක් ක්‍රීඩා සමාජයට පිවිසෙන ඔහු 2014 වසරේ දී මහනුවර ක්‍රීඩා සමාජයට එක්වනවා. 2014 වසරේ සිට රග්බි ක්‍රීඩාවෙන් සමුගන්නා තුරුම ඔහු මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ අතර එහි ස්වර්ණමය වසර කීපය සඳහා සිය දායකත්වය නොඅඩුව ලබා දීමට සමත් වුනා.

මහනුවර ක්‍රීඩා සමාජය ලීග් ශූරයන් වූ සෑම තරගාවලියකම කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශෙහාන් පතිරණ සමත් වුනා.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ සහ ජාතික රග්බි කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වූ ශෙහාන් වසර අටකට වැඩි කාලයක් ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කළා.

සිය ව්‍යාපාර කටයුතු සඳහා වැඩි අවධානයක් ලබා දීම වෙනුවෙන් ඔහු මෙලෙස රග්බි ක්‍රීඩාවට සමුදෙන බව ශෙහාන් පවසා සිටියා.

ශෙහාන් පතිරණ සිය සමුගැනීම ප්‍රකාශ කරමින් සිය Facebook ගිණුමේ තැබූ සටහනේ සිංහල පරිවර්තනය මෙසේයි.

‘රග්බි ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්න මම ගත් තීරණය ගැන මම පසුගිය මාස කිහිපය තුළ ඉතා බැරෑරුම් ලෙස කල්පනා කළා. නමුත් මට ඒ තීරණය සමඟ ඉදිරියට යන්න මගේ මනස සකස් කර ගැනීමට නොහැකි වුනා. දැන් අනාගතය දෙස බලද්දී ඒක මට සහ මගේ පවුලේ අයට දැනට ගන්න පුළුවන් හොඳම තීරණය බව මම හිතනවා. මගේම කොන්දේසි මත ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිල වශයෙන් කළ හැකි වීම ගැන මම සතුටු වෙනවා.

මම වසර 20ක් තිස්සේ ක්‍රීඩා කළ ක්‍රීඩාවක් වන වෘත්තීය රග්බි ක්‍රීඩාවෙන් මම නිල වශයෙන් විශ්‍රාම ගන්නවා. මම අද සිටින පුද්ගලයා බවට පත් කිරීමට උපකාරී වුනේ රග්බි ක්‍රීඩාව.

මගේ රග්බි ජීවිතය වර්ණවත් කරන්න ඔවුන් කළ සියලු කැපකිරීම් වලට සහ මට ලබා දුන් සියලු සහයෝගයට මගේ අම්මාට, තාත්තාට සහ මගේ සහෝදරියට මම කෘතඥ වෙනවා.

මගේ බිරිඳ රංගිකා, රග්බි පිටියේ මගේ සිහින සැබෑ කර ගැනීමට මා අසල රැඳී සිටිමින් මාව දිරිමත් කිරීම ගැන ඔබට ස්තූතියි.

සෑම දිනකම වඩා හොඳ ක්‍රීඩකයෙකු වීමට මට උපරිම සහයෝගය සහ මග පෙන්වීම ලබා දුන් මගේ පුහුණුකරුවන්, අනුග්‍රාහකයින්, පුහුණු කාර්‍ය මණ්ඩලය සහ සහායක කාර්ය මණ්ඩලය මට අමතක කරන්න බැහැ. මගේ සෙසු ක්‍රීඩකයින්ට විශාල ආචාරයක් පුදකරනවා. මගේ රග්බි ජීවිතම මුළුල්ලේම මා සමඟින් සිටීම ගැන සහ ඔවුන් ලබා දුන් සියලු මතකයන් වලට ස්තූතියි. මගේ හදවත පිරී තියෙනවා!

අවසාන වශයෙන්, මහනුවර, කොළඹ සහ දිවයින පුරා සිටින සියලුම ක්‍රීඩා ලෝලීන්ට ස්තූතිවන්ත වෙනවා ඔවුන් හදවතින්ම දක්වන සහයෝගයට සහ ආදරයට. එය ඇත්තෙන්ම බොහෝ දේ ලබා දෙනවා වගේම දුෂ්කර කාලව ලදී එය අපව ඉදිරියට අරන් ගියා.

මම මගේ වෘත්තීය දිවියේ ප්‍රබලතම අවස්ථාව වන විට රග්බි ක්‍රීඩාවෙන් ඈත් වෙනවා. නමුත් මම හිතනවා මට ඉදිරියට යන්නත් මගේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය ආරම්භ කරන්නත් කාලය හරි කියලා. මා වෙනුවෙන් ඇති අභියෝග දැකීමට ඇත්තෙන්ම සතුටුයි.

රග්බි ක්‍රීඩාව සැමවිටම මගේ ජීවිතයේ කොටසක් වේවි.

ඔබට ස්තුතියි.’

මෙරට රග්බි ක්‍රීඩාවට ශෙහාන් පතිරණ දැක්වූ දායකත්වය පිළිබඳව ස්තූතිවන්ත වන අතරම සිය අනාගත කටයුතු සාර්ථක කරගැනීමට හැකි වේවායි ThePapare.com අප මෙලෙස සුබ පැතුම් එක් කර සිටිමු.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<