වසර 3ක පරාජිත ගමන එංගලන්ත තරගාවලියේදීවත් නවතියි ද?

1067

දෙදහස් පහළොව වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ගෙවී ගිය කාල සීමාවේ දී මව්බිමේ දී සහභාගි වුණු තරගාවලි දෙස අවධානය යොමු කිරීමේ දී ටෙස්ට් අංශයෙන් පැහැදිලි ජයග්‍රහණ වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිය ද, එක්දින තරග අංශය නම් පවතින්නේ ඉතාම කණගාටුදායක තත්ත්වයක ය.

ඕස්ට්‍රේලියාවේ පැවති එම ලෝක කුසලාන තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ කරන ලද එක්දින තරග සංචාරය ජය ගැනීමෙන් අනතුරුව ගෙවී ගිය වසර 3කට ආසන්න කාලයේ දී තම මව්බිම තුළ එකම හෝ එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී නොමැත. එම කාල සීමාවේ දී ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාවට පහළින් සිටින රටවල් පවා මෙරටට පැමිණ තරග කෙරුව ද, එහි දී සිම්බාබ්වේ හමුවේ 3-2ක් ලෙස ද පරාජයට, බංග්ලාදේශය හමුවේ 1-1ක් ලෙස තරගාවලිය සමකර ගැනීම හැරෙන්නට කිසිදු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වී සිටියි.

ඕනෑම කණ්ඩායමක් තම මව්බිමේ දී පරාජය කිරීම අසීරුය යන්න ක්‍රීඩාව හා බැඳී ඇති රීතියකි. හුරුපුරුදු දේශගුණය, වාසි සහගත ලෙසින් සැකසෙන තණතීරු සහ ප්‍රේක්ෂක සහාය, දේශීය තත්ත්වයන් යටතේ කණ්ඩායමකට හිමිවන නිරායාස වාසි වෙති. එහෙත් ගෙවී ගිය මාස කීපයේ දී ශ්‍රී ලංකාවේ පැවති තරගාවලි පිළිබඳව අවධානය යොමු කිරීමේ දී විටෙක එම වාසිය ප්‍රතිවාදීන්ට හිමි වුනේ ද යන්න සැකයක් ඇති වුවහොත් එය සාධාරණය. ඒ ඒ තරමටම අප තරගාවලියන්හිදී අසාර්ථකත්වයට පත්වීම හරහාය.

මේ තරගාවලිය අපිට ලේසියට ගන්න බැහැ – දිනේෂ් චන්දිමාල්

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ..

මේ පිළිබඳව අපට දැක ගැනීමට තිබූ මෑතම උදාහරණය වන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයයි. ලොව අංක 1 ටෙස්ට් කණ්ඩායම ලෙසින් මෙරටට පැමිණෙන දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගන්නා ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය 3-2ක් ලෙස පරාජයට පත්වන්නේ ජයග්‍රහණය බන්දේසියක තබා ඔවුන් වෙත පිරිනමන ආකාරයෙනි.

ශ්‍රී ලංකාව යනු කලක් ලෝකයේ එක්දින කිරුළ දරා සිටි ප්‍රබල පෙළේ රටකි. එවකට තම මව්බිමේ දී පමණක් නොව ඕනෑම තැනක දී ලෝකයේ ඕනෑම කණ්ඩායමකට අභියෝග කිරීමට තරම් ශක්තියක් ශ්‍රී ලංකා පිලට තිබුණි. එහෙත් වර්තමානය වන විට පැටලුණු නූල් බෝලයක් පරිද්දෙන් අවුල් සහගත වී තිබෙන මෙරට ක්‍රිකට් ක්‍රීඩාව, තම ප්‍රේක්ෂකයන් ඉදිරියේ වුවද තරගාවලියක ජයග්‍රහණයක් ලබාගත නොහැකි තරමට අසරණ තත්ත්වයකට ඇද වැටී තිබේ.

දරාගත නොහැකි සීතලක, එය දෙගුණ තෙගුණ කරවන තරමේ සුළං හමන තත්ත්වයක, නුපුරුදු තණතීලි සහ ප්‍රතිවාදීන්ට හිමි ප්‍රේක්ෂක සහාය පවතින අවස්ථාවක දී අත්විඳින පරාජය, කෙසේ හෝ විඳ දරාගත හැක. එහෙත් දේශීය වාසීන් සියල්ලම අප සන්තකයේ තිබිය දී දිගින් දිගටම ලබන පරාජයන් පිළිගැනීමට ප්‍රේක්ෂකයන්ගේ සූදානමක් නොමැති බව පරාජයන් ලැබූ ඉකුත් තරගාවලි කීපය දෙස බැලීමේ දී පෙනී යනු ඇත.

ඒ අනුව බැලීමේ දී තරග 5කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගි වීම සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායම සමඟ ලබන 10 වැනිදා ආරම්භ වන තරගාවලිය ජය ගැනීම ශ්‍රී ලංකාවට සෑම අතකින්ම සුබදායක වනු ඇත. ඉන් ප්‍රධානම කරුණ වන්නේ ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට සහභාගි වීමට තිබෙන තරග 13න් 5ක්ම මෙම තරගාවලිය යටතේ පැවැත්වීමයි.

අපිට කොහෙහරි වැරදුනා බං…

“මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්.. මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද…

මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට තවත් ඇත්තේ මාස 8ක පමණ කාලයකි. එවන් තත්ත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාවට තවම ස්ථීර කණ්ඩායමක් තබා ස්ථීර නායකයකු හෝ නොමැත. එහෙත් වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට නම් කෙසේ හෝ ජයග්‍රහණයකින් මෙම තරගාවලිය නිමා කළ යුතුය. ඒ සම්බන්ධව අදහස් දක්වන වත්මන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් දරන්නේ මෙවැනි අදහසකි.

“මේ තරගාවලිය ජයග්‍රහණයකින් ඉවර කරන්න පුළුවන් වුනොත් මං හිතන්නේ අපිට ලෝක කුසලානයට කලින් ඉතාමත් හොඳ මානසික මට්ටම පැමිණේවි ක්‍රීඩකයන් ඒ සඳහා තමන්ගේ සියලුම මහන්සියෙන් පුහුණුවීම් කටයුතු සිදු කරනවා. ඉතිං මං හිතනවා අපි බලාපොරොත්තු වන ඒ ප්‍රතිඵලය තරගාවලිය ඉවර වෙද්දී ළඟා කරගන්න පුළුවන් වේවි කියලා. එහෙම වුනොත් ඒක විශාල හැරවුම් ලක්ෂයක් වේවි”.

“මේ දවස්වල අපි හොයාගෙන යනවා අපිට කොතැනදි වැරදුණේ කියලා. විශේෂයෙන්ම එක්දින තරගවලට එද්දී. අපිට වැරදුණු තැන් ගැන යම්කිසි දේවල් ටිකක් ඉගෙන ගත්තා. නමුත් අපිට තව ටිකක් තියෙනවා හදා ගන්න. අපි දේවල් ටිකක් හඳුනා ගෙන තියෙනවා. ඒවට අනුව අපි ගාව සැලැස්මවල් තියෙනවා. ඒ අනුව අවස්ථානුකූලව අපි ක්‍රීඩකයන් උපයෝගී කරගන්න උත්සාහ ගත යුතුයි. අපිට ඉතාම හොඳ පුහුණුකරුවකු සහ කළමනාකරණ කමිටුවක් ඉන්නවා. එහෙත් ක්‍රීඩකයින් විදියට දැන ගන්න ඕන මැද්දට ගියාම අපිට ලැබිලා තියෙන රාජකාරිය හරියාකාරව කණ්ඩායමට ලබා දෙන්න. මං හිතන්නේ ඒ දෙවල් කරගන්න පුළුවන් වුනොත් එංගලන්තයට එරෙහිව හොඳ තරගයක් ලබා දෙන්න අපිට පුළුවන්” යැයි පවසයි.

ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් වීමෙන් පසු ස්ථාවර කණ්ඩායමක් ගොඩ නැඟීමට කාලයක් ගත වන බව මෙම පරාජයන් හමුවේ ඇඟ බේරා ගැනීමට පසුගිය කාලය පුරා ක්‍රිකට් බලධාරීන් මැතිරූ මන්ත්‍රය විය. එහෙත් 2015 ලෝක කුසලාන තරගාවලිය අවසන් වී වසර තුනක් ඉක්ම ගොස් තිබුණ ද එම ස්ථාවර කණ්ඩායම ගොඩ නඟා ගැනීමට ඔවුන් අසමත් වී තිබේ. නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දෙමින් ජාත්‍යන්තර පිටියෙන් සමු ගත් තිලකරත්න ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන්ට නැවත ක්‍රිකට් පිටියට පැමිණීම පිළිබඳ සිතා බැලීමට සිදුව ඇත්තේ සැලසුමක් නැති මෙකී තාවකාලික පැලැස්තර ඇලවීම හරහාය.

දේශීය තත්ත්වයන් යටතේ සහභාගි වීමේ දී වැඩි පීඩනය එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකාව දෙසටය. එහෙත් ලොව අංක 1 එක්දින කණ්ඩායම ලෙසින් මෙරටට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායමට ශ්‍රේණිගත කිරීමෙහි 8 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව සමඟ තරග කිරීම ද අතිරේක පීඩනයක් ගෙන නොදෙනවා නොවේ. මැතිව්ස්ගෙන් හිස් වුණු නායකත්වයේ කටු ඔටුන්න චන්දිමාල්ගේ හිසට පාත්වී තිබේ. ඔහු මෙම තරගාවලියේ දී පීඩනය කෙලෙස දරා ගනු ඇති දැයි අනාවැකි කීමට තවමත් කල් වේලා වැඩි යැයි හැඟේ. එහෙත් මැතිව්ස්ට මෙන්ම පරාජයේ සියලු වගකීම් නායකත්වය මත පටවන බලධාරීන් සිටින රටක කණ්ඩායමේ නායකයා ලෙසින් තමා කටයුතු කරන බව නම් චන්දිමාල් සිහියේ තබා ගත යුතුය. එමෙන්ම එවැනි රටක ක්‍රීඩා කළ යුත්තේ කොයි ආකාරයට ද යන්න පිළිබඳව මේ වන විටත් හසළ අවබෝධයක් ඔහු තුළ ජනිත වී ඇතැයි අපි අපේක්ෂා කරමු.

චන්දිමාල් යනු ටෙස්ට් අංශයේ හොඳ නායකයෙකි. වැටී සිටි ටෙස්ට් කණ්ඩායමට ඔක්සිජන් ගසා කෙළින් කටින් සිට වූයේ චන්දිමාල්ය. ටෙස්ට් අංශයෙන් ලද සාර්ථකත්වය එක්දින තරග රටාවට ද අනුවර්තනය කර ගැනීමට චන්දිමාල් සමත්වුවහොත් එය දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දී තිබෙන ගැටලු රාශියකට පිළිතුරු සපයනු ලබන හැරවුම් ලක්ෂයක් බවට පත්වනවා නොඅනුමානය.

“සල්ලි වලට කවදාවත් එපා නුඹේ හිස නමන්න!”

මෑත වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා සම්බන්ධයෙන් කන වැකෙන්නේ අසතුටුදායක..

මෙවර එක්දින තරගාවලිය ද දඹුල්ලෙන් අරඹා පල්ලෙකැලේ හරහා කොළඹින් අවසන් කිරීමට නියමිතව තිබේ. දඹුල්ලේ සහ පල්ලෙකැලේ ක්‍රීඩංගණයන්හිදී ලබා දෙන තණතීරු සම්බන්ධව ද ඇත්තේ විවේචනයකි. පසුගිය දකුණු අප්‍රිකා සංචාරයේ දී එම විවේචනය දැඩිව එල්ල වූ අතර ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට කිසිදු සහයක් එම තණතීරුවලින් නොලැබීම කැපී පෙනුනි.

ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරු චන්දික හතුරුසිංහ දක්වන්නේ මෙවැනි අදහසකි.

“අපි අනිත් තරගාවලි වගේම මේ තරගාවලියටත් හොඳින් සූදානම් වෙලා තියෙනවා. හොඳින් පුහුණුවීම් කළා. සතියක් විතර වෙනවා පුහුණුවීම් පටන් අරගෙන. අපි 05 වැනිදාට යනවා දඹුල්ලට. වෙනදට වඩා ටිකක් ඉක්මනට යනවා. ඒ තණතීරුවලට පුරුදු වෙන්න ඕන නිසයි කලින් යන්නේ. මොකද ඉස්සර බැලුවහම අපි යන්නේ දවස් දෙකකට තුනකට ඉස්සෙල්ලා. එහෙම ගියාම අපිටත් දඹුල්ල අලුත් තැනක් වගේ දැනෙන්නේ. ඒ වගේ දේවල් කල්පනා කරලා තමයි අපි මේ තරගාවලියට සැලසුම් සකස් කළේ” යැයි පවසයි.

එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ට්‍රෙවර් බේලීස්  සහ සහාය පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් යන මහත්වරුන් දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස සේවය කළ අය වෙති. මෙහි දී බේලීස් මහතා 2007 වසරේ සිට 2011 දක්වා කාල සීමාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය හොබවා තිබේ. මෙරට පැමිණීමෙන් වසර දෙකක පමණ කාලයක් සහාය පුහුණුකරු තනතුරේ කටයුතු කළ ෆාබ්‍රේස්, 2014 වසරේ ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වන අතර ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු විස්සයි විස්ස ලෝක කුසලානය අප ජයග්‍රහණය කරන්නේ ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අවධියේ දී ය.  

බේලීස් ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන කාලසමයේ දී ම චන්දික හතුරුසිංහ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙවණැලි පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ. එබැවින් මෙය ඔවුන් දෙදෙනාගේ පුහුණුකරණ දක්ෂතා තක්සේරු කර ගැනීමට හැකි අවස්ථාවක් ද යන්න කරන ලද ප්‍රශ්න කිරීමේ දී, “මේ තරගාවලිය අපි දෙන්නගේ අතර තරගාවලියක් නොවෙයි. රටවල් දෙක අතර තරගාවලියක්. නමුත් කිව්වා වගේ අපේ කණ්ඩායම ගැනත්, තණතිලි ගැනත් ඔවුන්ට හොඳ අත්දැකීමක් තියෙනවා. ඒක ඔවුනට වාසිදායක වෙනවා. ඒ වගේම ඔවුන් එක්ක අපිත් ක්‍රීඩා කරන්නේ වසර 4 කට විතර පස්සේ. ඒ අභියෝගය ඇරෙන්න වෙන අභියෝගයක් මං හිතන්නේ නෑ තියෙනවා කියලා” යි ශ්‍රී ලංකා පුහුණුකරු පැවැසීය.

ඒ පිළිබඳව අදහස් දක්වා සිටින එංගලන්ත පුහුණුකරු ට්‍රෙවර් බේලීස් සඳහන් කර සිටින්නේ එළඹෙන 2019 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සාර්ථක පෙරහුරුවක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමඟ තරගාවලිය වැදගත් වන බවයි. “ශ්‍රී ලංකාව වැනි රටකට පැමිණ තරග කරනවා කියන්නේ ගොඩක් රටවල් අපහසුතාවයට පත්වෙනවා. මෙය අපිට හොඳ අභියෝගාත්මක තරගාවලියක් වේවි. ඔව්. අපි එක්දින කණ්ඩායම් අතර ලොව අංක 1ට පැමිණ තිබෙනවා. නමුත් ලෝක කුසලාන තරගාවලිය සඳහා තව මාස කිහිපයක්ම තියෙනවා. ගෙවී ගිය මාස 12ක කාලයේ ක්‍රීඩා කළ පරිදීම මේ තරගාවලියේදීත් හොඳින් ක්‍රීඩා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යි බේලීස් පවසයි.

එංගලන්ත කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වී ඇත්තේ 2014 දී පැවති තරග 7කින් සමන්විත එක්දින තරගාවලියට වේ. එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව හමුවේ නීරස පරාජයක් ලබන එංගලන්ත කණ්ඩායම නැවතත් එංගලන්තය බලා පිටත්ව යන්නේ තරගාවලිය 5-2ක් ලෙස සත්කාරකයන් හමුවේ පරාජයට පත්වෙමිනි. එම තරගාවලියෙන් අනතුරුව ලෝක කුසලානයෙන් ද අන්ත පරාජයකට මුහුණ දෙන එංගලන්ත කණ්ඩායම පිළිබඳව දරුණු තීරණයක් ගනු ලබන ඔවුන්ගේ ක්‍රිකට් පරිපාලනය, 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමේ නායකත්වයට ඉයන් මෝගන් නම් කරන්නේය. එතැන් පටන් ආ ගමන් මග ඔස්සේ ඔවුන් මෙරටට පැමිණ සිටින්නේ වත්මන් එක්දින ලොව අංක 1 කණ්ඩායම ලෙසිනි.

“අපි මෙහි පැමිණ සිටින්නේ සම්පූර්ණයෙන්ම වෙනත් දෘෂ්ටියකින්. නමුත් ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සංචිතය තෝරා ගැනීමට අපි මේ තරගාවලිය යොදා ගන්න බලාපොරොත්තුවක් නැහැ. මෙහි තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. වෙනස් අභියෝග යටතේයි අපිට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ. ඒ අභියෝගය අපි භාර ගන්නවා” යැයි මෝගන් පවසයි.

පළමු තරගයේ නායකයා චන්දි; දෙවැනි තරගයේ නායකයා දිමුත්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් හෙට (5) එංගලන්තය සමඟ…

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කළමනාකාරිත්වය අතර වූ කඹ ඇදිල්ල නිසා මෙම තරගාවලියට මැතිව්ස්ව නම් කොට නැත. කණ්ඩායමේ සිටින වඩාත් අත්දැකීම් සහිත ක්‍රීඩකයා වන්නේ මැතිව්ස් වුවත් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ඔහුගේ දායකත්වය හිමිවී නැත. එවන් තත්ත්වයක දී සෙසු ක්‍රීඩකයන් කණ්ඩායමට සිය උපරිමය ලබා දීමට වග බලා ගත යුතුය. තරගය පැවැත්වෙන දිනයේ දී හැකි තරම් වැරදි අඩු කරමින් ක්‍රීඩා කළ යුතුය. එසේ වුවහොත් වසර 3ක් තිස්සේ සිය මව්බිමේ දී එක්දින තරගාවලි ජයග්‍රහණයක පහස විඳ නැති, ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව කලකිරීමකට පත්ව සිටින මෙරට ක්‍රීඩාලෝලීන්ව යළි ඇහැරවීමට අවස්ථාව උදා වනු ඇත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම – දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරං, සධීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල අපෝන්සෝ, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, කසුන් රජිත

එංගලන්ත එක්දින කණ්ඩායම – එයන් මෝගන් (නායක) මොයින් අලී, ජොනී බෙයාර්ස්ටූ, ජොස් බට්ලර්, සෑම් කුරාන්, ටොම් කුරාන්, ලියම් ඩෝසන්, ඇලෙක්ස් හේල්ස්, ලියම් ප්ලන්කට්, අඩිල් රෂීඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, ඔලී ස්ටෝන්, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්.

තරග කාල සටහන

  • ඔක්තෝබර් 10 – පළමු එක්දින තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (දිවා/රාත්‍රි)
  • ඔක්තෝබර් 13 – දෙවැනි එක්දින තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (දිවා)
  • ඔක්තෝබර් 17 – තෙවැනි එක්දින තරගය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (දිවා/රාත්‍රි)
  • ඔක්තෝබර් 20 – සිව්වැනි එක්දින තරගය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (දිවා)
  • ඔක්තෝබර් 23 – පස්වැනි එක්දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය (දිවා/රාත්‍රි)
  • ඔක්තෝබර් 27 – විස්සයි/20 තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය (ප.ව. 7.00)
  • නොවැම්බර් 06 – 10 – පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
  • ඔක්තෝබර් 14 – 18 – දෙවැනි ටෙස්ට් තරගය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
  • ඔක්තෝබර් 23-27 – තෙවැනි ටෙස්ට් තරගය එස්. එස්. සී. ක්‍රීඩා පිටිය

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<