හංසිමා ගෙන් 2 වැනි තරගයට අර්ධ ශතකයක්

ICC Women's T20 World Cup 2026

21
ICC Women's T20 World Cup 2026

10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ 2 වැනි පුහුණු තරගය ද ජයග්‍රහණය කරමින් අවසන් කිරීමට සමත් වෙනවා.

ඊයේ (10) Derby හි දී පැවැති නෙදර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී ඔවුන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කරනවා.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 143ක් ලබා ගන්නා ලද අතර එම ඉලක්කය ඉනිමේ තවත් පන්දු 5ක් ඉතිරිව තිබිය දී කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩිකාවෝ සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වූවා. ඔවුන් විසින් පළමු කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 47ක් ද සහ 2 වැනි කඩුල්ලට පන්දු 38ක දී ලකුණු 42ක සබඳතාවක් ද එක් කරනවා.

එම ඉනිමට Heather Siegers පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 48ක් ද සහ Sterre Kalis පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ද ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

ඔවුන්ගේ ඉනිමේ දැවී ගිය අවසන් කඩුලු 4 පන්දු 12ක් තුළ ලකුණු 11ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූණා. ඉන් කඩුලු ද්විත්වයක් ම දුවද්දී දැවී යෑමට ලක් වූ අතර කඩුලු දවා ගැනීමේ දී මල්කි මදාරා, කවීෂා දිල්හාරි සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගත්තා.

මෙම තරගයේ දී පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ විශ්මි ගුණරත්න සමඟින් හසිනි පෙරේරා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 22ක දී ලකුණු 27ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ විශ්මි ගුණරත්න ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 3ක් ශ්‍රී ලංකා ඉනිමට එක් වෙද්දී අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසි ඉමේෂා දුලානි (3) දැවී යනවා.

ඉන් අනතුරු ව හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රම එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 24ක දී ලකුණු 35ක සබඳතාවක් ගොඩ නගනවා. හසිනි පෙරේරා පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 31කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා.

ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී හංසිමා කරුණාරත්න පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වුණා. අනෙක් අන්තයේ සිටි හර්ෂිතා සමරවික්‍රම පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 64ක දී නොදැවුණ ලකුණු 81ක සබඳතාවක් ගොඩ නගනවා.

කඩුලු දවා ගැනීමේ දී Myrthe van den Raad, Frederique Overdijk සහ Iris Zwilling කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • නෙදර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 143 (20.0) Heather Siegers 48, Sterre Kalis 45, Babette de Leede 26
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 146 (19.1) හසිනි පෙරේරා 31, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 36, හංසිමා කරුණාරත්න නොදැවී 54

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වන 2 වැනි පුහුණු තරගය මේ මස 9 වැනිදා නවසීලන්ත ක්‍රීඩිකාවන් සමඟින් Derby හි දී රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<