ලෝක කුසලාන ගමනේ පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

8035

ICC 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගය අද (11) අලුයම Guyana හි Providence ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

අයර්ලන්තයට එරෙහිව පැවති එම තරගයෙන් ලකුණු 128ක ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට හැකි වුනා.

කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව  පන්දුවාර 43 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 233ක් ලබා ගත්තා.

ශෙවෝන් ඩැනියල් නොදැවී ලකුණු 75*ක් ලබාගෙන දස්කම් දක්වද්දී, රනුද සෝමරත්න සහ පවන් පතිරාජ පිළිවෙළින් ලකුණු 33ක් සහ ලකුණු 25ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස පිටියට පිවිසි චමිඳු වික්‍රමසිංහ සහ ශෙවෝන් ඩැනියල් ලකුණු 33ක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූවා. ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 5ක් ලබාගෙන සිටි චමිඳු දුවද්දී දැවී යාමකට හසුකර ගන්නට අයර්ලන්ත පන්දු යවන්නන් සමත් වුනා.

ඒ මොහොත වන විට අනෙක් අන්තයේ සිටි ශෙවෝන් ඉතාමත් හොඳ රිද්මයක් සහිතව වේගයෙන් පන්දුවට පහර දෙමින් සිටි අතර එම රිද්මය සිය ඉනිමේ අවසානය දක්වා පවත්වා ගැනීමට 17 හැවිරිදි ශෙවෝන් හට හැකියාව ලැබුණා.

චමිඳුගේ දැවී යාමට පසුව පිටියට පිවිසි ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් සියලුම දෙනා පාහේ මේ තරගයේ දී ලකුණු අතරට පිවිසීම ඉතාමත් ධනාත්මක කරුණක්. මෙය පුහුණු තරගයක් වුනු නිසා අනෙක් ක්‍රීඩකයින් හටත් අවස්ථාව දීමේ අරමුණ ඇතිව, පන්දු 72ක දී ලකුණු 75*ක් ලබාගෙන සිටි ශෙවෝන් පිටියෙන් ඉවත්ව (retired not out) ගියා. ඔහුගේ එම මනරම් ඉනිමට 4 පහර 8ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා.

මේ තරගයේ දී ශ්‍රී ලංකාවේ දැවී ගිය කඩුලු 7න් තුනක්ම දුවද්දී දැවී යාම්වලට හසු වුනා. ක්‍රීඩකයින් දෙදෙනෙක් retired not out ලෙස පිටියෙන් ඉවත්ව ගියා. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන Nathan McGuire කඩුලු 2ක් දවා ගත් අතර අයර්ලන්ත පන්දු යවන්නන් Wide ලකුණු 24ක් ද සමඟ අතිරේක ලකුණු 30ක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

පිළිතුරු ඉනිම දියත් කළ අයර්ලන්ත පිතිකරුවන් අතරින් තරමක් හෝ අභියෝගයක් එල්ල කළේ කඩුලු රකින පිතිකරු Joshua Cox පමණයි. ඔහු පන්දු 86ක් සඳහා මුහුණ දෙමින් 4 පහර 3ක් සමඟ නොදැවී ලකුණු 44*ක් ලබා ගත්තා.

ඒ හැරෙන්නට ඔවුන්ගේ අනෙක් කිසිදු පිතිකරුවෙක් හට ලකුණු 11 සීමාව පසුකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 31කුත් පන්දු 4ක් අවසානයේ අයර්ලන්තයේ සියලුම ක්‍රීඩකයින් ලකුණු 105කට දැවී ගියා.

දැවී ගිය කඩුලු 10න් කඩුලු 8ක්ම කඩුල්ල මුවාකිරීම් (LBW) සහ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අවස්ථාවන් වීම කැපී පෙනුණා. වමතින් දඟපන්දු යවන වනුජ සහන් ලකුණු 5කට කඩුලු 3ක් දවාගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ තරගයේ දී වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා බවට පත්වෙද්දී, චමිඳු, උපනායක රවීන් ද සිල්වා සහ මතීෂ පතිරණ අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

එසේම ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ පන්දුවාර 31කුත් පන්දු 4 තුල Wide ලකුණු 19ක් ද සමඟ අතිරේක ලකුණු 22ක් ලබාදී තිබුණු අතර එය කෙරෙහි ශ්‍රී ලංකා පන්දු යවන්නන් යම් අවධානයක් දැක්වීම සිදු කළ යුතු වෙනවා.

ලකුණු සාරාංශය,

ශ්‍රී ලංකා 19න් පහළ – 233/7 (43): ශෙවෝන් ඩැනියල් 75*, රනුද සෝමරත්න 33, පවන් පතිරාජ 25, Nathan McGuire 2/40.

අයර්ලන්ත 19න් පහළ – 105 (31.4): Joshua Cox 44*, වනුජ සහන් 3/05, චමිඳු වික්‍රමසිංහ 2/08, රවීන් ද සිල්වා 2/16, මතීෂ පතිරණ 2/16.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි සහ අවසන් පුහුණු තරගය හෙට (12) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි. පළමු පුහුණු තරගය පැවති ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙන එම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ උගන්ඩා 19න් පහළ කණ්ඩායමයි.

මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ,

  • A – බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය
  • B – ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, උගන්ඩාව
  • C – ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියා, සිම්බාබ්වේ
  • D – ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන,

  • ස්කොට්ලන්තය – ජනවාරි 14 – Guyana හිදී
  • ඕස්ට්‍රේලියාව – ජනවාරි 17 – Saint Kitts and Nevis හිදී
  • බටහිර ඉන්දීය කොදෙව් – ජනවාරි 21 – Saint Kitts and Nevis හිදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම යොවුන් ලෝක කුසලානය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල අනුග්‍රාහකයා’ ලෙස කටයුතු කරන අතර තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<