දිනෙන් දින උණුසුම් වන පාසල් රග්බි සංග්‍රාමය ආරම්භ වීමට තවත් ඇත්තේ සතියකටත් නොඅඩු කාලයකි. තෙවසරක් පුරා A කාණ්ඩයේ රැඳී සිටිමින් ප්‍රබල කණ්ඩායම් රැසකට අභියෝගයක් වූ කොළඹ D. S. සේනානායක විද්‍යාලයීය රග්බි කණ්ඩායම මෙවර ද බලාපොරොත්තු රැසක් සමඟින් තරගාවලියට පිවිසීමට අපේක්ෂාවෙන් සිටි. ThePapare.com අප “ඩොන්ස්” හෙවත් D. S. සේනානායක විද්‍යාලයීය රග්බි කණ්ඩායම වෙනුවෙන් මේ ලිපිය වෙන්වේ.

පාසල් රග්බි පිටියට ගොඩබහින්නට තර්ස්ටන් විද්‍යාලය සූදානමින්

ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාවේ පාසල් රග්බි ක්‍රීඩාවට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයක්. ඒ ජාත්‍යන්තරයට..

2015/2016 කාලසීමාවේ දී පළමු වරට A කාණ්ඩයට පිවිසි ඔවුන් අඛණ්ඩව වසර තුනක් A කාණ්ඩයේ රැඳී සිටීමට සමත් වූ අතර 2016 වසරේ දී පළඟ ශූරතාවේ තෙවන ස්ථානය දිනා ගනිමින් ඔවුන් A කාණ්ඩයේම රැඳී සිටීමට සමත් විය. සිය කෙටි රග්බි ඉතිහාසය පුරා ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයට රග්බි තරු රාශියක් නිෂ්පාදනය කිරීමට D. S. සේනානායක විදුහල සමත් වූ අතර CH & FC කණ්ඩායම නියෝජනය කළ ජයන්ත රණවීර හා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩක බුද්ධිම පියරත්න ඒ අතර වේ. පසුගිය වසරේ නායකත්වය හෙබවූ ගැවින් පෙරේරා ද මෙවර නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරන D. S. ක්‍රීඩා තරුවකි.

පසුගිය තරග වාරය D. S. සේනානායක කණ්ඩායමට එතරම් සුබදායී නොවූයේ පළමු වටයේ කිසිදු තරගයක් දිනා ගැනීමට නොහැකි වීම නිසාවෙනි. ගැවින් පෙරේරාගේ නායකත්වයෙන් පසුගිය වසරේ තරග කළ D. S. කණ්ඩායම පළඟ ශූරතාවේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වීම නිසා මේ වසරේ ද A කාණ්ඩයේම රැඳී සිටීමට වරම් හිමි කර ගැනීමට සමත් විය. කෙසේ නමුත් ’16 රග්බි සමය අවසානයේ සොඳුරු මතක ඉතිරි කරමින් ලකුණු 27-09ක් ලෙස D.S. – මහානාම වාර්ෂික රග්බි මහා තරගය ජය ගැනීමට ගැවින් පෙරේරාගේ නායකත්වයෙන් යුතු වූ කණ්ඩායම සමත්වීම විශේෂ කරුණක්.

“කණ්ඩායමක් විදියට සෙල්ලම් කරලා පළමු කණ්ඩායම් අට ඇතුළට එන්න තමා අපේ බලාපොරොත්තුව”

පළමු වටය සාර්ථකව අවසන් කරමින් කුසලාන ශූරතාව සඳහා පිවිසීමේ අරමුණින් මෙවර D. S. කණ්ඩායම රග්බි පිටියට පිවිසෙනු ඇත. පස්වැනි වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන චමුක සේශාන් හට මෙවර “ඩොන්ස් ” හෙවත් D. S. පිල මෙහෙයවීමේ වගකීම හිමිව තිබේ. 2015 වසරේ D. S. කණ්ඩායම A කාණ්ඩය දක්වා රැගෙන ඒමට සමත් වූ කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් හිමි කර ගත් ඔහු මෙවර කණ්ඩායමේ වටිනාම සම්පත වනු ඇත. විශාල් විජේසිරිගේ වේගයෙන් මෙවර D. S. පසුපෙළ සවිමත් වන අතර කණ්ඩායමේ ප්‍රබලම අවිය වන ඉදිරි පෙළ ‘No8’ ක්‍රීඩා කරන දිනූෂ හේමසිරි විසින් බලගන්වනු ඇත. කණ්ඩායමේ වේගය ඉහළ දැමීම උදෙසා අත්දැකීම් බහුල ප්‍රවේගකාරී විශාල් අකලංක ‘Flyhalf ’ ස්ථානයේ ක්‍රීඩා කරයි. කණ්ඩායම පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ චාමුක ශේශාන් “අපි මේ සැරේ කිසිම කණ්ඩයමක් පහසුවට තකන්නේ නෑ, තරගයෙන් තරගය යන්න තමා උත්සාහ කරන්නේ, සීනියර්ස්ලා හය දෙනෙක් ඉන්නවා අපිට, අපේ ඉදිරිපෙළ තමා ශක්තිමත්.”

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන මොතිලාල් ජයතිලක මහතා මෙවර ද D. S. කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ගෙන කටයුතු කරයි. ”මම අභියෝග බාර ගන්න ගොඩක් කැමතියි” ThePapare.com වෙත අදහස් දක්වමින් මොතිලාල් ජයතිලක මහතා පැවසිය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ”මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙන්නේ පළමු 8 අතර රැඳී සිටින්න, මං හිතන්නේ අපිට ඒක පහසුවෙන් කරන්න පුළුවන්, මං Tactical කෝච් කෙනෙක්, මන් දන්නවා කොහොමද දිනන්නේ කියල.”

හිටපු හැව්ලොක් ක්‍රීඩක සමන්ත ලක්ෂාන් පන්දුවට පා පහර දීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර නිරන්ජන වික්‍රමරත්න සහය පුහුණුකරු ලෙස කණ්ඩායම සවිගන්වයි.

D. S. විද්‍යාලයීය රග්බි සංචිතය සඳහා පිවිසෙන්න අපගේ නවතම දත්ත වාර්තා පිටුවට

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<