කොරෝනා විනාශ කළ තරගවල ප්‍රසාද ලකුණු බෙදන්න අලුත් ක්‍රමයක්

205

මීට වසරකට පෙර ආරම්භ වූ ලෝක ටෙස්ට් ශූරතාව හෙවත් The Test Championship තරගාවලිය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු විය. එම තරගාවලියේ තරග රැසක් කොරෝනා වසංගතයේ බලපෑමත් සමඟින් අවලංගු වීම එයට තවත් හේතුව විය. 

කෙසේ වෙතත් එළඹෙන වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගය එලෙසම පැවැත්වීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව අවලංගු වූ තරගාවලිවලට අදාලව එක් එක් කණ්ඩායමට සම ලකුණු ප්‍රදානය කිරීමට යෝජනා වී ඇත. 

එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිතය. එහි දී සලකා බැලෙන අනෙක් විකල්පය නම් පසුගිය මාර්තු මාසය අවසන් වන විට එක් එක් කණ්ඩායම් හිමිකර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව මත පදනම්ව යම් ක්‍රමවේදයක් ඔස්සේ ඔවුන්ට ලකුණු ලබා දී, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරගාවලි අවසන් වූ පසු අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් තීරණය කිරීමයි. 

ලෝක ටෙස්ට් ශූරතාවයට අදාලව පැවැත්වෙන මීළඟ ටෙස්ට් තරගාවලිය වන්නේ නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් තරගාවලියයි. එම තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතව ඇති අතර එයට පෙර ලෝක ටෙස්ට් ශූරතාවයේ ඉදිරි පියවර පිළිබඳව රටවල් දැනුවත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අරමුණ වී තිබේ. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව මේ සම්බන්ධයෙන් කරනු ලබන ඕනෑම යෝජනාවකට එකඟ වීමට එහි විධායක කමිටුවට සිදු වනු ඇත.

කොරෝනා වයිරසයත් සමඟින් අවලංගු කිරීමට සිදු වූ තරගාවලි කිහිපයක් නැවත සැලසුම් කිරීමට එම රටවල් මේ වන විට උත්සාහ කරමින් සිටින නමුත් ඒවා 2021 වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වීමට හැකි වීම අවිනිශ්චිතය. 

ඒ අනුව මේ වන විටත් මෙම තරගාවලිය අසම්පූර්ණ තරගාවලියක් බවට පත්ව ඇති අතර සියලු කණ්ඩායම් එකිනෙකට වෙනස් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබීම එයට ප්‍රධානම හේතුව වී තිබේ.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

කණ්ඩායම් සඳහා ලකුණු බෙදී යාම යම් කිසි නීතිමාලාවකට යටත්ව සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව අවලංගු වන තරගාවලිවල තරග සියල්ල ජය පරාජයකින් තොරව අවසන් වූ තරග ලෙස සලකා එක් එක් කණ්ඩායමට ලකුණු ප්‍රදානය කරනු ලැබේ.

එක් තරගාවලියක් සඳහා වෙන්කර ඇති ලකුණු ප්‍රමාණය 120ක් වන අතර ඉන් ලකුණු 40 බැගින් කණ්ඩායමකට ලබා දෙනු ඇත.

මෙම තීරණ සියල්ල පදනම් වන්නේ ඔක්තෝබර් – මාර්තු කාලය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති සියලු තරගාවලි අවලංගු වීමකින් තොරව පැවැත්වීමට හැකි වනු ඇතැයි යන නිගමනය මතය.

නවසීලන්තය තරගාවලි කිහිපයකට සත්කාරකත්වය සැපයීමට සූදානමින් සිටින අතර දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා තරගාවලියක් සහ ඕස්ට්‍රේලියා තරගාවලියක් පැවැත්වීමට සූදානමින් සිටියි. පාකිස්තානය දකුණු අප්‍රිකානු තරගාවලියක් සඳහා සත්කාරකත්වය සැපයීමට සූදානමින් සිටියි.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එංගලන්තය එකිනෙකා සමඟින් තරගාවලි සඳහා එක්වීමට නියමිත අතර එම තරගාවලි මාර්තු මාසය වන විට අවසන් වනු ඇත.

මේ වන විට පවතින තත්ත්වය අනුව ඉන්දියාවට සහ එංගලන්තයට පමණක් ඔවුන් සැලසුම් කළ තරගාවලි 6 සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වී ඇත. (ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලිය නැවත පැවැත්වීමට හැකිවන්නේ නම් පමණක්) පාකිස්තානයට ද ඔවුන් සැලසුම් කළ තරගාවලි අතුරින් තරගාවලි 6ක් ක්‍රීඩා කිරීමට හැකි වන අතර බංග්ලාදේශ තරගාවලිය පමණක් අවලංගු වී තිබේ.

කෙසේ වෙතත් කණ්ඩායම් රැසකට මෙම තත්ත්වය නිසා බලපෑම් එල්ල වේ. බංග්ලාදේශ කණ්ඩායමට තමන් සැලසුම් කළ තරගාවලි 6 අතුරින් ක්‍රීඩා කිරීමට හැකිවන්නේ තරගාවලි 3ක් පමණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම ලෝක ටෙස්ට් ශූරතාවය කල්දැමීමට මීට පෙර යම් එකඟතාවයක සිටි නමුත් එලෙස කල්දැමීමක දී තරගාවලිය නැවත පැවැත්වීමට හැකි කාලයක් සොයාගැනීම දුෂ්කර වීම නිසා එය තරමක් සාර්ථක නොවන බවට තීරණය වී තිබේ.

ජාත්‍යන්තර තරගාවලි කාලසටහන දෙස බැලීමේ දී එළඹෙන වසර 2ක කාලය අතිශය කාර්‍යබහුල වීම නිසා එම තත්ත්වය උද්ගත වී තිබේ.  

ජුනි මාසයේ දී පළමු ටෙස්ට් ශූරතාවය අවසන් වීමෙන් පසු දෙවන ටෙස්ට් ශූරතාවය එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරගාවලියෙන් ආරම්භ වනු ඇත. ඉන් අනතුරුව 2021 වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති අතර වසර නිමා වන්නේ එංගලන්ත – ඕස්ට්‍රේලියා අළුබඳුන තරගාවලියෙනි. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවසන් තීරණය නිල වශයෙන් දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ හිමි වන ස්ථානය පිළිබඳව පුරෝකථනය කිරීම අපහසුය.

මේ වන විට පවත්වා ඇති තරගාවලිවලට අනුව ලෝක ටෙස්ට් ශූරතාවයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි.

ලෝක ටෙස්ට් ශූරතාවයේ ශ්‍රේණිගත කිරීම්, 

(2020 ඔක්තෝබර් මාසය වන විට)

ස්ථානය  කණ්ඩායම  ලකුණු 
1 ඉන්දියාව  360
2 ඕස්ට්‍රේලියාව 296
3 එංගලන්තය 292
4 නවසීලන්තය  180
5 පාකිස්තානය  166
6 ශ්‍රී ලංකාව  80
7 බටහිර ඉන්දීය කොදෙව්  40
8 දකුණු අප්‍රිකාව  24
9 බංග්ලාදේශය 0

ESPNcricinfo වෙබ් අඩවිය ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<