16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලිය ජනවාරි මස 15 වැනිදා සිට පෙබරවාරි මස 6 වැනිදා දක්වා සිම්බාබ්වේ සහ නැමීබියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර කණ්ඩායම් 16ක් කාණ්ඩ 4ක් යටතේ එක් වීමට නියමිතයි.
මෙවර ලෝක කුසලානයට සහභාගී වෙන එක් එක් කාණ්ඩයේ කණ්ඩායම් ගැන කෙරෙන සටහන් මාලාවක් මෙලෙස ThePapare.com මත ඇතිරෙන අතර එහි පළමු කොටස වෙන් වෙන්නේ ශ්‍රී ලංකාව ද සහභාගී වන Group A කාණ්ඩයටයි.
19න් පහළ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ශ්‍රී ලංකාව
1988 වසරේ දී පළමු වරට පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලි 14ට ම සහභාගී වී ඇති ශ්‍රී ලංකාව මෙම තරගමාලාවේ මෙතෙක් පැමිණි ඉහළ ම ස්ථානය වන්නේ 2000 වසරේ දී මෙරට සත්කාරකත්වයෙන් පැවැති තෙවැනි යොවුන් ලෝක කුසලානයේ අනුශූරතාව දිනා ගැනීමයි.
මලින්ත ගජනායකගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාව හමුවේ කඩුලු 6ක පරාජයක් ලබා ගනිමින් එකී ස්ථානයට පත් වෙනවා.
ශ්‍රී ලංකාව මේ දක්වා යොවුන් ලෝක කුසලාන තරග 91කට සහභාගී වී ඇති අතර ඉන් තරග 49ක් ජයග්‍රහණය කර ඇති අතර තරග 41ක් පරාජය වී එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් කර තිබෙනවා.
මෙවර ලෝක කුසලාන තරගාවලිය එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් ම විමත් දින්සර ට හිමි ව තිබෙන අතර ඔහුගේ සහායකයා වෙන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කවිජ ගමගේ.
කණ්ඩායමේ වඩාත් අවදානය දිනා සිටින ක්‍රීඩකයා වෙන්නේ වමත් පිතිකරු චාමික හිනටිගල. ඔහු නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී තරග 4කට සහභාගී වෙමින් අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 134ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් වුණා. පිතිකරණයට අමතර ව වමතින් දඟ පන්දු යවමින් ද දක්ෂතා දැක්වීමේ හැකියාව ඔහු සතුයි.
එමෙන් ම තවත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් සෙත්මික සෙනෙවිරත්න ද නම් කළ හැකියි.
ඊට අමතර ව ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් ව සිටින විරාන් චමුදිත, දිමන්ත මහවිතාන, සහ සෙනුජ වැකුණුගොඩ පිතිකරුවන් ලෙසින් විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයන් ලෙසින් හැඳින්වෙනවා.
පන්දු යවන්නන් අතුරින් දකුණතින් මඳ වේග පන්දු යවන රසිත් නිම්සරෙ සහ දුල්නිත් සිගේරා කෙරෙහි විශ්වාසය තබා සිටින අතර දඟ පන්දු යවන්නන් අතුරින් විග්නේශ්වරන් ආකාශ් සහ කුගදාස් මාතුලන් කෙරෙහි වැඩි බලාපොරොත්තු තැබිය හැකියි.
ඊට අමතර ව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා පළමු වරට එක් වෙන දකුණතින් මඳ වේග පන්දු යවන ජීවන්ත ශ්‍රීරාම් සහ දකුණතින් පිට දඟ පන්දු යවන මලින්ත සිල්වා මෙම තරගාවලියේ අවධානයට ලක් වෙන ක්‍රීඩකයන්.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විමත් දින්සර (නායක), කවිජ ගමගේ (උප නායක), ආදම් හිල්මි (කඩුලු රකින්නා), සෙනුජ වැකුණුගොඩ, විරාන් චමුදිත, චාමික හීනටිගල, දිමන්ත මහවිතනා, සෙත්මික සෙනෙවිරත්න, දුල්නිත් සිගේරා, විග්නේශ්වරන් ආකාශ්, කුගදාස් මාතුලන්, රසිත් නිම්සර, මලින්ත සිල්වා, චමරිඳු නෙත්සර, ජීවන්ත ශ්‍රීරාම්.
ජපානය: ජනවාරි 17වැනිදා, Windhoek හී නැමීබියා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 
ජපාන කණ්ඩායම හා එක් වෙන Hara-Hinze සහෝදරයන් තිදෙනා
ජපානය මේ දක්වා සහභාගී වී ඇත්තේ එක් ලෝක කුසලාන තරගාවලියකට පමණයි. ඒ 2000 වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවැති 13 වැනි ලෝක කුසලානයේ දී යි. ඒ අනුව ඔවුන් මෙවර යොවුන් ලෝක කුසලානයක් සඳහා එක් වෙන්නේ වසර 6කට පසුවයි.
කෙසේ වෙතත් නිමා වූ එම තරගාවලියේ දී ඔවුන් තරග 6කට සහභාගී වෙන අතර එහි දී කිසිදු තරගයක් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට නොලැබුණ අතර නිමා වූ එම තරග ප්‍රතිඵල දැක් වෙන්නේ පරාජිත තරග 5ක් සහ නොවිසඳුණ තරගයක් ලෙසයි.
ජපාන – ශ්‍රී ලංකා යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඔවුනොවුන් හමුවන 2 වැනි අවස්ථාවයි මේ.
| ශ්‍රී ලංකා – ජපානය වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරග ඉතිහාසය | ||||
| වසර | සත්කාරකත්වය | ශ්‍රී ලංකා නායක | ප්‍රතිවාදී නායක | ප්‍රතිඵලය |
| 2020 | දකුණු අප්‍රිකාව | නිපුන් ධනංජය | Marcus Thurgate | ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්. |
තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Kazuma Kato-Stafford වෙතයි. ජපාන ජාතික කණ්ඩායම ද නියෝජනය කරන ඔහු මේ වන විට එරට වෙනුවෙන් විස්සයි විස්ස තරග 12කට සහභාගී වී සිටිනවා.
තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායමට එක ම පවුලේ සොහොයුරන් තිදෙනක් ද එක් කර තිබෙනවා. ඒ අතුරින් Gabriel Hara-Hinze සහ Montgomery Hara-Hinze නිවුන් සහෝදරයන් වන අතර ඔවුන්ගේ වැඩිමල් සහෝදරයා වන Charlie Hara-Hinze කණ්ඩායමේ ජේෂ්ඨයෙක් ලෙසින් කණ්ඩායම නියෝජනය කරනවා.
වමතින් දඟ පන්දු යවන 17 වැනි වියේ පසුවෙන Charlie Hara-Hinze ජපාන ජාතික කණ්ඩායමේ ද සාමාජිකයෙක්. ඔහු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 29කට සහභාගී වෙමින් කඩුලු 33ක් දවාගෙන තිබෙන ක්‍රීඩකයෙක්.
ජපාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ දී පැවැති යොවුන් ආසියානු කුසලාන තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන් වැඩි දෙනෙක් ද එකතු කර ගනිමිනුයි.
ජපාන වයස අවුරුදු 19න් පහළ සංචිතය
Kazuma Kato-Stafford (නායක), Charlie Hara-Hinze, Skyler Cook, Kaisei Kobayashi-Doggett, Gabriel Hara-Hinze, Montgomery Hara-Hinze, Kai Wall, Hugo Kelly, Timothy Moore, Nikhil Pol, Ryuki Ozeki, Nihar Parmar, Chihaya Sekine, Sandev Waduge, Taylor Waugh.
- බංග්ලාදේශයේ ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ ඉල්ලීමක්!
- BCCI උපදෙස් මත Mustafizur Rahman IPL තරගාවලියෙන් ඉවතට!
අයර්ලන්තය: ජනවාරි 19වැනිදා, Windhoek හී නැමීබියා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 
අයර්ලන්ත කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් වනFreddie Ogilby සහ Rob O’Brien
අයර්ලන්තය මේ දක්වා යොවුන් ලෝක කුසලාන තරග 66කට සහභාගී වී ඇති අතර ඉන් තරග 24ක් ජයග්‍රහණය කරද්දී තරග 41ක් පරාජයට පත් වෙනවා. අනෙක් තරගය නිමා වී ඇත්තේ ලකුණු සම වීමෙන්.
මේ අතුරින් ඔවුන් ලෝක කුසලාන ඉතිහාසයේ පැමිණ ඇති ඉහළ ම ස්ථානය වෙන්නේ 2010 සහ 2022 වසරවල ලත් 10 වැනි ස්ථානයයි.
මේ ලෙසින් ගෙවී ඇති ඔවුන්ගේ යොවුන් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අයර්ලන්ත සහ ශ්‍රී ලංකා තරග ඉතිහාසය තරග 4කට සීමා වෙනවා. එම තරග සියල්ල ම නිමා වී ඇත්තේ ශ්‍රී ලංකාවට ජය හිමි වෙමින්.
| ශ්‍රී ලංකා – අයර්ලන්ත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරග ඉතිහාසය | ||||
| වසර | සත්කාරකත්වය | ශ්‍රී ලංකා නායක | ප්‍රතිවාදී නායක | ප්‍රතිඵලය |
| 1998 | දකුණු අප්‍රිකාව | ප්‍රදීප් හේවගේ | Joseph Clinton | ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්. |
| 2000 | ශ්‍රී ලංකාව | මලින්ත ගජනායක | Peter Shields | ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. |
| 2012 | ඔස්ට්‍රේලියාව | සනිත ද මැල් | George Dockrell | ශ්‍රී ලංකාවට ලකුණු 109ක ජයක්. |
| 2018 | නවසීලන්තය | කමිඳු මෙන්ඩිස් | Harry Tector | ශ්‍රී ලංකා සහ වට ලකුණු 163ක ජයක්. |
මෙවර තරගාවලියේ දී අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි ව ඇත්තේ දකුණතින් මඳ වේග පන්දු යවන Oliver Riley වෙත වන අතර කණ්ඩායමේ උප නායකත්වය හිමි ව ඇත්තේ කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන Reuben Wilson වෙතයි. ඔවුන්ට අමතර ව තවත් වේග පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දක්වා ඇති Sebastian Dijkstra සහ Gethin Kelleher ද මෙම කණ්ඩායමට ඇතුලත්.
කණ්ඩායමේ වඩාත් අවධානය දිනූ පිතිකරු බවට පත් ව ඇත්තේ ඉදිරි පෙළ දකුණත් පිතිකරු Freddie Ogilby. ඔහු හා සමඟින් Rob O’Brien, James West සහ Sebastian Dijkstra ද මෙම කණ්ඩායම හා එක් වූ අවධානයක් සහිත වූ පිතිකරුවන් බවට පත් ව සිටිනවා.
අයර්ලන්ත වයස අවුරුදු 19න් පහළ සංචිතය
Oliver Riley (නායක), Reuben Wilson (උප නායක), Alex Armstrong, Callum Armstrong, Marko Bates, Sebastian Dijkstra, Thomas Ford, Samuel Haslett, Adam Leckey, Febin Manoj, Luke Murray, Rob O’Brien, Freddie Ogilby, James West, Bruce Whaley.
ඔස්ට්‍රේලියාව:ජනවාරි 23 වැනිදා, Windhoek හී නැමීබියා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 
ඔස්ට්‍රේලියා ඉදිරිපෙළ පිතිකරු Steven Hogan
ඔස්ට්‍රේලියාව මෙම තරගාවලිය හා එක් වෙන්නේ ආසන්නත ම වසරේ ජයග්‍රාහී කණ්ඩායම ලෙසයි. ඊට අමතර ව ඔවුන් 1988 වසරේ දී පැවැති මංගල යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් මෙන් ම 2002 සහ 2010 වසරවල ද ජයග්‍රාහකයන් වෙන්නේ ඔවුනුයි. එමෙන් ම යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ 2012 වසරේ දී සහ 2018 වසරේ දී අනුශූරයන් බවට ද ඔවුන් පත්ව තිබෙනවා.
ඕස්ට්‍රේලියාව මේ දක්වා ලෝක කුසලාන තරග 92කට සහභාගී වී ඇති අතර ඉන් තරග 67ක් ජයග්‍රහණය කර ඇති අතර තවත් තරග 4ක් විසඳුමකින් තොරව අවසන් කර තිබෙනවා. ඉතිරි තරග 21 නිමා වී ඇත්තේ පරාජිත තරග ලෙසයි.
මේ කාලය තුළ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව යොවුන් එක්දින ලෝක කුසලාන තරග 8කට සහභාගී වී ඇති අතර එම තරග නිමා වී ඇත්තේ තරග 5-3ක් ලෙසින් ඔස්ට්‍රේලියාවට ජය හිමි වෙමිනුයි.
| ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරග ඉතිහාසය | ||||
| වසර | සත්කාරකත්වය | ශ්‍රී ලංකා නායක | ප්‍රතිවාදී නායක | ප්‍රතිළුලය |
| 1988 | ඔස්ට්‍රේලියාව | රොහාන් වීරක්කොඩි | Geoff Parker | ඔස්ට්‍රේලියාවට ලකුණු 24ක ජයක්. |
| 2000 | ශ්‍රී ලංකාව | මලින්ත ගජනායක | Michael Clarke | ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. |
| 2004 | බංග්ලාදේශය | ෆර්වීස් මහරූෆ් | Tim Paine | ඔස්ට්‍රේලියාවට ලකුණු 2ක ජයක්. |
| 2006 | ශ්‍රී ලංකාව | සමීර සොයිසා | Moises Henriqu | ඔස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක්. |
| 2008 | මැලේසියාව | අශාන් ප්‍රියංජන් | Michael Hill | ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්. |
| 2010 | නවසීලන්තය | චතුර පීරිස් | Mitchell Marsh | ඔස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක්. |
| 2022 | බ.ඉ. කොදෙව් | දුනිත් වෙල්ලාලගේ | Cooper Connolly | ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්. |
| 2024 | දකුණු අප්‍රිකාව | සිනෙත් ජයවර්ධන | Hugh Weibgen | ඔස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්. |
මෙවර තරගාවලියට එක් වෙන ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ Oliver Peake වෙතයි. වමත් ඉදිරි පෙළ පිතිකරුවෙක් වන ඔහු එංගලන්තය හා සමඟ පැවැත්වෙන The Ashes තරගාවලියට පෙර පැවැති England XI කණ්ඩායම හා පැවැති පුහුණු තරගයේ දී ඔස්ට්‍රේලියා Prime Minister’s XI කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.
නම් කරන ලද කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පිතිකරු බවට පත් ව ඇත්තේ Jayden Draper. ඔහු ඉන්දියාව සමඟ පසුගිය වසර අවසානයේ දී පැවැති යොවුන් එක්දින තරගාවලියේ එක ම ශතකලාභී පිතිකරු වෙමින් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ඔස්ට්‍රේලියා පිතිකරු බවට ද පත් වූවා.
ඊට අමතර ව John James, Steven Hogan සහ Aryan Sharma පිතිකරුවන් ලෙසින් කණ්ඩායම හා එක් වෙනවා.
පන්දු යවන්නන් අතර දකුණතින් මද වේග පන්දු යවන Kasey Barton කෙරෙහි වැඩි විශ්වාසය තබා ඇති අතර ඊට අමතර ව Charles Lachmund සහ Hayden Schiller මෙම කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරන්නන් බවට පත් ව කණ්ඩායම හා එක් ව සිටී.
ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ සංචිතය
Oliver Peake (නායක), Jayden Draper, Steven Hogan, Alex Lee Young (කඩුලු රකින්නා), Aryan Sharma, John James, Will Malajczuk, Kasey Barton, Charles Lachmund, Hayden Schiller, Naden Cooray, Ben Gordon, Tom Hogan, Nitesh Samuel, William Taylor.
2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















