ශ්‍රී ලංකා තරගයට ඕස්ට්‍රේලියාවේ පෙර සූදානම

830

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය හෙට (25) ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වීමට නියමිතයි. හෙට පැවැත්වෙන තරගයට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Mitchell Marsh මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

“ඇත්තෙන්ම පළමු තරගය පරාජය වීම බලාපොරොත්තු සුන් වූ ආරම්භයක්. කණ්ඩායමක් ලෙස අපට දැවැන්ත ගොඩනැගීමක් අවශ්‍ය වෙනවා. මම හිතන්නේ එය මේ ලෝක කුසලානයේ දී සහ පොදුවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දී පෙන්නුම් කරන දෙයක්. කණ්ඩායමක් විදිහට මුල දී ඔබ තරමක් පසුබෑමකට ලක්වුනා නම් ප්‍රතිවාදීන් අපව ආරම්භයේ දීම පසු කරනවා. එතැන් සිට නැවත තරගයට එන්න අමාරු වෙනවා.”

“ශ්‍රී ලංකාවට එරෙහිව තියෙන තරගයේ දී අපිට නැවත පැමිණීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඔවුන් හොඳ කණ්ඩායමක්. නමුත් මේ තත්ත්වයන් අපි හොඳින් දන්නවා. ක්‍රීඩාංගණය ඔවුන්ට වඩා අපට ගැළපෙනවා. එබැවින් අපට මේ තරගයේ දී තරගාවලියට අවතීර්ණ වෙලා ලෝක කුසලානය ආරම්භ කිරීමට හැකි වේවි.”

හෙට තරගය සඳහා සිය කණ්ඩායමේ වෙනසක් සිදුනොවනු ඇතැයි ද Mitchell Marsh පවසනවා.

“මම හිතන්නේ මගේ දැනුමට අනුව නවසීලන්ත තරගය ක්‍රීඩා කළ 11 දෙනාම ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. තරග පරාජය වීම තරගාවලියේ ස්වභාවය. අපි එක් තරගයක් පැරදුනා, ඒත් ඉදිරියේ තරග ජයග්‍රහණය කරන්න ඕනේ. මම හිතන්නේ අපට ඇත්තටම වැදගත් දේ හෙට තරගය. අපේ අවධානය තියෙන්නේ ඒකට.”

පළමු තරගයේ පරාජයේ පරිමාණය අනුව කණ්ඩායම තුළ විශ්වාසය කිසිසේත්ම පළුදු වී නැතැයි Mitchell Marsh පවසනවා.

“අනිවාර්යයෙන්ම නැහැ. මම හිතන්නේ අපගේ කණ්ඩායමේ විශ්වාසය පෙර ආකාරයටම තියෙනවා. අපගේ හොඳම දක්ෂතා සහ හොඳම දේ අපි සමඟ ඇති බව අපි දන්නවා. ඒ නිසා අපි හෙට තරගයේ දී සුපුරුදු දක්ෂතා අතරට එන්න බලාපොරොත්තු වෙනවා.”

මේ වසරේ මුල දී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම පන්දු යවන්නන් වන වනිඳු හසරංග සහ මහීශ් තීක්ෂණට එරෙහිව ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි වුනා. ඔවුන්ට එරෙහිව ඇති සූදානම පිළිබඳව ද Mitchell Marsh අදහස් දක්වා සිටියා.

“ශ්‍රී ලංකාවේ දඟ කැවෙන තරම් පර්ත් ක්‍රීඩාංගණයේ දඟ කැවීමක් නැහැ. ඒ නිසා ඒකම අපිට වාසියක්. මම හිතන්නේ පොදුවේ අපේ කණ්ඩායම සහ අපි ක්‍රීඩා කරන ආකාරය අනුව අපි ඉතා හොඳින් දඟපන්දු යවනවා. මම ඒ අභියෝගය දිහා බලාගෙන ඉන්නවා. නමුත් අපි දන්නවා ඔවුන් ලෝක මට්ටමේ පන්දු යවන්නන් දෙන්නෙක් කියලා. ශ්‍රී ලංකාව ඉතා භයානක කණ්ඩායමක්. ඒ නිසා අපට අපගේ සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කරන්න ඕනේ.” 

“වනිඳු හසරංග කියන්නේ ඉතා හොඳ පන්දු යවන්නෙක්. අපි නිසැකවම ඔහුට එරෙහිව සාර්ථක වෙන්න ඕනේ.”

“පර්ත් ක්‍රීඩාංගණයේ දඟ පන්දු විශාල බලපෑමක් කරන්නේ නැති වේවි. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනායි. ඒ දෙදෙනාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් නම් මම හිතනවා අපිට ඉදිරියෙන් ඉන්න පුළුවන් කියලා.”

සිය පෞද්ගලික දක්ෂතා පිළිවඳව ඇති බලාපොරොත්තු ද Mitchell Marsh මෙහි දී පවසා සිටියා.

“මම බලාපොරොත්තු වෙනවා මම තරගාවලිය හරහා මගේ සම්පූර්ණ රිද්මය ගොඩනඟා ගන්න.”

“මට ලොකු සතුටක් දැනෙනවා, මොකද මම නැවතත් පන්දු යවනවා. ඒ නිසා මම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සූදානම් වීමට සහ මම මුළු කාලය පුරාම ක්‍රීඩාවේ ඉන්න උත්සාහ කරනවා. නමුත් මට ලොකු සතුටක් දැනෙනවා, මොකද මට ඉහළින්ම විශාල ඉනිම් කිහිපයකට දායක වෙන්න අවස්ථාව ලැබෙනවා සහ වැදගත් කඩුලු දවා ගන්න හැකියාවක් තියෙනවා.”

දවසින් දවස උණුසුම් වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<