පීඩනය මත ඇෆ්ගනිස්ථාන අභියෝගය

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

206

ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ඇෆ්ගනිස්ථානය සමඟ හෙට (01) Brisbane ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් දහවල් 11.30ට ආරම්භ වීමට නියමිතයි. 

මෙය ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වැනි තරගයයි. පැවති තරග අතරින් ඔවුන් අයර්ලන්තය සමඟ තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඕස්ට්‍රේලියාව හමුවේ කඩුලු 7ක පරාජයක් සහ නවසීලන්තය හමුවේ ලකුණු 65ක පරාජයක් ලබනවා.

ඇෆ්ගනිස්ථානය ද සහභාගී වෙන්නේ තමන්ගේ සිව්වැනි තරගයට වන අතර ඔවුන් මෙතෙක් මෙම වටයේ තරග 3කට සහභාගී වුව ද ඉන් නිසි ලෙස අවසන් කිරීමට හැකි වන්නේ එක් තරගයක් පමණයි. එංගලන්තය සමඟ පැවති තරගයෙන් ඔවුන් කඩුලු 5කින් පරාජය වන අතර නවසීලන්තය සහ අයර්ලන්තය සමඟ තරග වර්ෂාවට බිලි වෙනවා.

මෙම කණ්ඩායම් දෙකම මෙම තරගයට පිවිසෙන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානවල සිටිමින් වීම හේතුවෙන් මෙහි ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම වඩාත් වැදගත් වෙනවා. ඇෆ්ගනිස්ථානය කෙසේ වෙතත් ආසියානු ශූරයන් වූ ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය වඩාත් වැදගත් වන්නේ ඔවුන්ට තවමත් ප්‍රසාද ලකුණු පුවරුවේ තරමක් හෝ ඉහළට පිවිසීමේ අවකාශයක් ඇති නිසයි.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරග ඉතිහාසය

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග ඉතිහාසයේ මෙතෙක් හමුවී ඇත්තේ අවස්ථා 3ක දී පමණයි. ඉන් තරග 2ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනු ලබන අතර ඇෆ්ගනිස්ථානය අනෙක් තරගය ජයග්‍රහණය කරනවා.

ඔවුන්ගේ තරග ඉතිහාසය ආරම්භ වන්නේ 2016 වසරේ මාර්තුවේ දී. පැවති එම මංගල තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි කරගැනීමට සමත් වුනා. අනතුරුව ඔවුන් එකිනෙකා හමුවෙන්නේ ආසියානු කුසලානයේ දී. ඒ ඊට වසර  6කට පසුවයි.

එම තරගයෙන් ඇෆ්ගනිස්ථානය කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් හිමි කරගන්නේ ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තරමක් වික්ෂෝපයට පත් කරමින්. කෙසේ වෙතත් අනතුරුව පැවති සුපිරි කණ්ඩායම් 4 අතර වටයේ දී පළමු තරගය ලෙසින් ඇෆ්ගනිස්ථානය හමුවන අතර එම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක ජයග්‍රහණයක් හිමි කරගනිමින් නොනැවතී ආසියානු කුසලානය ද දිනා ගන්නවා.

ඇෆ්ගනිස්ථාන සංචිතය : Mohammad Nabi (නායක), Najibullah Zadran, Rahmanullah Gurbaz, Azmatullah Omarzai, Darwish Rasooli, Fareed Ahmad Malik, Fazal Haq Farooqi, Ibrahim Zadran, Mujeeb ur Rahman, Naveen ul Haq, Qais Ahmad, Rashid Khan, Salim Safi, Gulbadin Naib, Usman Ghani.  

Standby Players: Afsar Zazai, Sharafuddin Ashraf, Rahmat Shah.

ශ්‍රී ලංකා සංචිතය : දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ.

ඇෆ්ගනිස්ථානය

37 හැවිරිදි ඇෆ්ගනිස්ථාන නායක Mohammad Nabi මේ වන විට ඉතිහාස ගතව ඇත්තේ එරට වෙනුවෙන් විස්සයි විස්ස වැඩිම තරග ප්‍රමාණයකට සහභාගී වූ ක්‍රීඩකයා ලෙසයි. එය සංඛ්‍යාත්මකව 102ක්. ඔහු විසින් ඉනිම් 94ක දී ලකුණු 1672ක් රැස් කරගැනීමට සමත්ව තිබෙනවා. දකුණතින් පිට දඟපන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු මේ දක්වා කඩුලු 84ක් දවා ගෙන තිබෙනවා.

ඔහුගේ මේ දක්ෂතාවන්ට එරට පිතිකරු ලැයිස්තුවේ මෙන්ම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ ද දෙවැනි ස්ථානය හිමි වෙනවා.

නායකයා ලෙස මෙතෙක් ඔහු විස්සයි විස්ස තරග 33ක් මෙහෙයවා ඇති අතර ඉන් තරග 16ක් ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්ව ඇති අතර පරාජිත තරග සංඛ්‍යාව 17ක්.

කණ්ඩායමට එක්වෙතැයි සිතෙන අනෙකුත් පිතිකරුවන් අතරින් ඉහළින්ම දක්ෂතා බලාපොරොත්තු වෙන පිතිකරු වන්නේ Najibullah Zadran. ඔහු මේ දක්වා තරග 84කට සහභාගී වෙමින් ලකුණු 1572ක් රැස් කරගෙන සිටිනවා. නමුත් නිමා වූ තරග 5ක දී ඔහුට එතරම්ම දායකත්වයක් තම කණ්ඩායමට දැක්වීමට නොහැකි වෙනවා. ඔහුට එහි දී රැස් කරගැනීමට හැකි වන්නේ ඉනිම් 5ට ම ලකුණු 32ක් පමණයි.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පිටියට පිවිසෙතැයි අනුමාන කරන කණ්ඩායම අතර වඩාත් විශ්වසනීය පිතිකරුවන් දෙදෙනා වී ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවෙන්නන් වන Ibrahim Zadran සහ Rahmanullah Gurbaz.

Ibrahim තමන් මුහුණ දුන් අවසන් ඉනිම් 10 දී පිතිකරු දක්ෂතාව 36.25ක සාමන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 290ක් රැස් කරගෙන සිටිනවා. එහි දී ඉන්දියාවට එරෙහිව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 64ක් ද ඇතුළත්. Gurbaz තරග 10ක දී රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 244ක්. එයට අයර්ලන්තයට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 53ක් සහ ශ්‍රී ලංකාවට එරෙහිව සාජා හි දී වාර්තා කරන ලද ලකුණු 84ක් ද ඇතුළත්.

පන්දු යවන්නන් අතරින් අවසන් තරග 10 දී කඩුලු 13ක් දවා ගෙන සිටින 21 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන Mujeeb Ur Rahman සහ කඩුලු 10ක් දවා ගෙන සිටින 23 හැවිරිදි පා දඟපන්දු යවන Rashid Khan කාගේත් අවධානය දිනා සිටිනවා.

මේ අතර ආබාධයකට ලක්ව සිටින ආරම්භක පිතිකරු Hazratullah Zazai වෙනුවෙන් හෙට තරගයේ ඇෆ්ගනිස්ථාන තේරීම් කමිටුවේ විශ්වාසය දිනා ඇත්තේ 31 හැවිරිදි දකුණත් පිතිකරු Gulbadin Naib වෙතයි.

හෙට තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කරන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම

Gulbadin Naib, Rahmanullah Gurbaz (කඩුලු රකින්නා) Ibrahim Zadran, Usman Ghani, Najibullah Zadran, Mohammad Nabi (නායක) Azmatullah Omarzai, Rashid Khan, Mujeeb Ur Rahman, Fareed Ahmad, Fazalhaq Farooqi.

ශ්‍රී ලංකාව

ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට ශ්‍රී ලංකාව පසුවෙන්නේ මෙරට කිසිවෙක් නොසිතූ අසීරු අඩියක. ඒ ප්‍රසාද ලකුණු පුවරුවේ හිමි වූ ස්ථානය අනුවයි. කෙසේ වෙතත් ආසියානු ශූරයන් ලෙස ලෝක කුසලාන තරගාවලියට එක් වූ ශ්‍රී ලංකාව වෙත අමතර පීඩනයක් එල්ල කිරීමට ප්‍රතිවාදී කණ්ඩායම් කැස කැවීම අමුත්තක් නොවේ. ඒ අතරට අපේ ක්‍රීඩකයන්ගේ දුර්වලතා එකක්, දෙකක් මතු වූ පසු තත්ත්වයේ භයානකත්වය සිතා ගත හැකියි. ඔවුන් මේ මුහුණ දී ඇත්තේ එවැනි තත්ත්වයකටයි.

එහෙත් ඉන් මිදීමට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හැඳින්විය හැකියි. නමුත් එය ද සුලුවෙන් තැකිය හැකි නොවේ. ඒ ඇෆ්ගනිස්ථානය ද අපව අමාරුවේ දැමූ අවස්ථා ඉතිහාසයේ ඇති බැවින්. එබැවින් ශ්‍රී ලංකාව මේ තරගයේ දී වඩාත් පරිස්සම්ව පිටියට එක් විය යුතු අතර ලැබෙන සෑම අවස්ථාවක්ම තම වාසියට හරහා ගැනීමට කටයුතු කළ යුතුයි.

ලෝක කුසලාන තරගාවලියේ කෙතරම් විපර්යාස සිදුවූවත් තව දුරටත් තරගාවලියේ දක්ෂතා දැක්වූවන් අතර ඉහළින්ම සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්ව සිටිනවා. ඊයේ පස්වරුව වන විට වැඩිම ලකුණුලාභී පිතිකරු ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි කරගැනීමට කුසල් මෙන්ඩිස් සමත් සිටින අතර වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා ලෙස පළමු අසුන දරා සිටීමට වනිඳු හසරංග සමත්ව සිටිනවා.

කුසල් මෙන්ඩිස් තරග 6ක දී රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 180ක් වන අතර වනිඳු හසරංග තරග 6ක දී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 10ක්. මෙහි පිතිකරු ලැයිස්තුවේ හය වැනි ස්ථානය තරග 5ක දී ලකුණු 137ක් රැස් කරගෙන සිටින පැතුම් නිස්සංකට හිමි වෙන අතර කඩුලුලාභී ලැයිස්තුවේ පස්වැනි ස්ථානය තරග 6ක දී කඩුලු 9ක් දවා ගෙන ඇති මහීෂ් තීක්ෂණ සතු වෙනවා.

තරගාවලියේ වැඩිම උඩ පන්දු ලබා ගත් ක්‍රීඩකයන් අතර සම ස්ථාන ගනිමින් පෙරමුණේ පසුවීමට ශ්‍රී ලාංකිකයෙක් ද සමත්ව සිටිනවා. ඒ නායක දසුන් ශානක. ඔහු මේ දක්වා තරග 6ක දී රැකගත් උඩ පන්දු ප්‍රමාණය 6ක්.

අපේ ක්‍රීඩකයන්ගේ මේ දක්ෂතා හා ගත් කළ මෙම ලැයිස්තු ත්‍රිත්වයේම පළමු 25 දෙනා අතරට පිවිසීමට කිසිඳු ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෙකු සමත් වී නොමැත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් තරග 10 දී දක්ෂතා දැක්වූවන් අතරින් කැපී පෙනෙන පිතිකරුවන් වන්නේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. පැතුම් 36.25ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 287ක් රැස් කරගෙන සිටින අතර කුසල් 30.33ක සාමාන්‍යක් රඳවා ගනිමින් ලකුණු 273ක් රැස් කරගෙන සිටිනවා.

මේ ආකාරයෙන් වර්ග කිරීමේ දී පන්දු යවන්නන් අතරින් කඩුලු 16ක් දවා ගැනීමට සමත් වූ වනිඳු හසරංග පෙරමුණේ පසුවෙන අතර ඊට පසුපසින් කඩුලු 14ක් දවා ගත් මහීෂ් තීක්ෂණ පසු වෙනවා.

හෙට තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක) දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර/ ප්‍රමෝද් මධුශාන්.

දෙපිළටම තීරණාත්මක මෙම තරගයේ තීරකයා ලෙසින් හෙට ඇතැම් විට එරට කාලගුණ තත්ත්වයන් ඉදිරියට පැමිණීමේ හැකියාව පවතින බවයි පැවසෙන්නේ. ඔවුන් පවසන්නේ හෙට සවස් යාමයේ දී Brisbane ක්‍රීඩාංගණය අවට තත්ත්වය තරමක් වැසි සහිත බවකින් යුක්ත වන බවයි.

එසේ වුවහොත් දෙපිළට ඉදිරිය ගැන සිතීමට තවත් ඉතිරිව ඇත්තේ එක් තරගයක් බැගින් පමණයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<