ලෝක කුසලානයේ දොරගුළු ප්‍රේක්ෂකයන්ට විවර වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

1189

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත 2021 පන්දුවාර විස්ස ලෝක කුසලානය ක්‍රීඩාංගණයට පැමිණ නැරඹීමට අවසර ලබා දෙමින් තරග 45ක් සඳහා ප්‍රවේශපත් අලෙවිය ඊයේ (03) ආරම්භ කර තිබුණා.

ලොව හොඳම කණ්ඩායම් තරග වදින මෙම උණුසුම් තරගාවලිය ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 දක්වා ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර ප්‍රවේශ පත් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයින් හට පහත වෙබ් අඩවිය ඔස්සේ එය ලබා ගැනීමට හැකි.

BUY : T20 WORLD CUP 2021TICKETS

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ සඳහා 70%ක ප්‍රේක්ෂකයන් පිරිසක් ඇතුළත් කර ගැනීමට අවසර ලබා දී ඇති අතර ඕමානයේ පැවැත්වෙන තරග සඳහා ප්‍රේක්ෂකයන් 3000ක් පැමිණීමට හැකි පරිදි තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් ඉදිකර තිබෙනවා.

ආරක්ෂිත පරිසරයක් තුළ ප්‍රේක්ෂකයන්ට මෙය නැරඹීමට අවස්ථාව ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ සත්කාර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇති අතර සෑම ක්‍රීඩාංගණයක දී ම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම ද අනිවාර්ය වේ.

මෙම විස්සයි  විස්ස ලෝක කුසලානය මෙම වසරේ දී ආසියාවේ පැවැත්වෙන විශාලතම ක්‍රිකට් තරගාවලිය මෙන්ම ප්‍රේක්ෂකයන් සහභාගී කර ගනිමින් පවත්වන විශාලතම ගෝලීය ක්‍රිකට් තරගාවලිය ද වනු ඇත.

තරගාවලියේ පුහුණු තරග ද ඇතුළත්ව කාලසටහන මේ වන විට නිකුත් වී ඇති අතර තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝබර් 17 වැනිදා ඕමානය සහ පැපුවා නිව් ගිනියාව ඕමානයේ දී තරග වැදීමට නියමිතයි.

සුපිරි 12 වටයේ තරග ආරම්භ කරමින් ඔක්තෝබර් 23 වැනිදා ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව තරග වැදීමට නියමිත අතර ක්‍රිකට් ඉතිහාසයේ උණුසුම්ම තරගයක් වන් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 24 වැනිදා ඩුබායි හිදී පැවැත්වේ.

මෙම තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවසර ලබා දීම පිළිබඳව අදහස් දක්වමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වැඩ බලන ප්‍රධානී Geoff Allardice ප්‍රකාශ කර සිටියේ, ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ලෝක කුසලානය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවසර ලබා දීමට හැකි වීම පිළිබඳව සතුටු වන බවයි.

එමෙන්ම එම අවසර ලබා දීම පිළිබඳව සිය අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් බලධාරි Jay Shah ප්‍රකාශ කළේ මෙම තරගාවලිය ප්‍රේක්ෂකයන්ගේ ජයඝෝශාවන් ඉදිරියේ ක්‍රීඩා කිරීමට ලැබීම පිළිබඳව සතුටු වන බවත්, එයට අවසර ලබා දීම පිළිබඳව තරගාවලිය පැවැත්වෙන දේශයන්හී රජයන්ට ස්තුතිය පුද කරන බවයි.

ඒ අනුව කලකට පසුව ප්‍රේක්ෂකයන් හට ඉහළ විනෝදාත්මක අංශ රැසක් යටතේ උණුසුම් තරගාවලියක් නැරඹීමට වරම් හිමිවනු ඇත.

තරගාවලියේ පළමු වටයේ දී ටෙස්ට් වරම් සහිත රටවල් වන බංග්ලාදේශය, අයර්ලන්තය සහ 2014 ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකාව නැමීබියාව, නෙදර්ලන්තය, ඕමානය, පැපුවා නිව් ගිනියාව සහ ස්කොට්ලන්තය යන රටවල් සමඟ තරග වැදීමට නියමිත අතර එයින් කණ්ඩායම් 4ක් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

ICC වෙබ් අඩවිය ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<