වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින් පුහුණු තරගය නිමාවෙයි

2623
Sri Lanka vs South Africa practice match

ලබන 26 වැනිදා පෝට් එළිසබෙත් හිදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට පෙරාතුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු සහ එකම තුන්දින පුහුණු තරගය අද (20) නිමාවට පත්විය. එහිදී තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දස්කම් ඉස්මතු වූ අතර ප්‍රථම ඉනිමේදී දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායම අභිබවා යාමටද ශ්‍රී ලංකා පිළ සමත් විය.

පසුගිය ලිපි: ලහිරු කුමාරගේ වේග පන්දුවෙන් දකුණු අප්‍රිකානුවන්ට තර්ජනයක්

ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 373ට පිලිතුරු ලෙස ඊයේ දිනයේ කඩුලු 8ක් දැවී ලකුණු 285ක් ලබා සිටි දකුණු අප්‍රිකානු ආරාධිතයින්ගේ ප්‍රථම ඉනිම අද උදෑසනම නිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. ඔවුන්ට අද දිනයේ ලකුණු පුවරුවට එක් කිරීමට හැකි වූයේ තවත් ලකුණු 4ක් පමණි. දකුණු අප්‍රිකානු පිතිකරුවන් සියල්ලන්ම පාහේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නිරුත්තර වූ අතර වමත් පිතිකරු ලියස් ඩූ ප්ලෝයි පමණක් තමන්ටම ආවේණික පිතිකරණ ශෛලියක යෙදෙමින් හතරේ පහර 25ක් සමඟ ලකුණු 142ක් වාර්තා කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තම යුතුකම් කොටස ඉටුකල ලහිරු කුමාර ලකුණු 36කට කඩුලු 3ක් ද, නුවන් ප්‍රදීප් ලකුණු 41ට කඩුලු 3ක් ද බිඳ හෙලූහ. ආබාධයෙන් සුවය ලැබීමෙන් අනතුරුව නැවත පන්දු යැවීමේ නිරත වුනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සහ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. නමුත් එළැඹෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් මහත් බලාපොරොත්තු තබා සිටින ක්‍රීඩකයින් ද්විත්වයක් වන රංගන හේරත්ට සහ දුෂ්මන්ත චමීරට මෙම තරගයේදී කිසිදු කඩුල්ලක් හිමි නොවීම තරමක් විශේෂිත සිදුවීමක් බවට පත්විය.

කෙසේ වෙතත් ලකුණු 84ක වාසියක්ද සමඟින් නැවතත් තම පිතිකරණ ශක්තිය උරගා බැලීම සඳහා පිටියට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයේ තෙවැනි සහ අවසන් දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 212ක් ලබා සිටියහ. දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරණයේ වෙනසක් සිදු කරමින් ඉනිම ඇරඹූ කුසල් ජනිත් පෙරේරා සහ උපුල් තරංග යන ක්‍රීඩකයින් දෙදෙනාම අද අර්ධ ශතක ලබා සිටියදී පිටිය හැර යාමට තීරණය කළහ. කුසල් ජනිත් පෙරේරා හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 51ක් රැස්කල අතර, උපුල් තරංග හතරේ පහර 8ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නා ලදී. මේ අනුව මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ පිතිකරුවන් සිව් දෙනාම සාර්ථක වීම නිසා තේරීම් කමිටුවට දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේදී ආරම්භක පිතිකරුවන් ලෙස භාවිතා කළ හැකි විකල්ප කිහිපයක්ම නිර්මාණය වී තිබේ.

වෙළඳ සේවා දේශීය එක්දින තරගයක් අතරතුරදී ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිට සම්පූර්ණ සුවය ලබා නැවත ජාතික කණ්ඩායම සමඟ එක්වුනු දිනේෂ් චන්දිමාල් ද අද ලකුණු 60ක් වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය. ප්‍රථම ඉනිමේ ලකුණු ලබා ගැනීමට අපොහොසත් වූ ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි ඉනිමේදී ලකුණු 37ක් වාර්තා කළේය. පන්දු යැවීමේදී කාල් ෆෝර්ටන් කඩුලු 2ක් ද, ප්‍රථම ඉනිමේ ශතකලාභී ලියස් ඩූ ප්ලෝයි එක් කඩුල්ලක්ද බිඳ හෙලීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගයේදී දැක්වූ දක්ෂතා පිලිබඳ සමස්ථයක් වශයෙන් සතුටු විය හැකි වුවද මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නැති තරුණ කණ්ඩායමක් සමඟ ආගන්තුක තණතීරුවක් මතදී මෙම තරගය පැවැත්වුනු නිසා අනාගත තරග පිලිබඳ නිසි අනාවැකි පළ කිරීමට නොහැකි තත්වයක් උදාවී තිබේ. නමුත් තණතීරුවට උචිතම ක්‍රීඩකයින් එකොළොස් දෙනා සමඟින්, මනා සැලසුමකට අනුව ලබන 26 වැනිදා ආරම්භ වන ප්‍රථම ටෙස්ට් තරගයට පිවිසියහොත් ප්‍රබල දකුණු අප්‍රිකානුවන් හමුවේ ඔවුන්ගේම වේගවත් තණතිලි මතදී හොඳ සටනක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවස්ථාව උදාවෙනු ඇත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 373 (පන්දුවාර 98.5): කෞෂාල් සිල්වා 80, කෞෂාල් සිල්වා 71, ධනංජය සිල්වා 62, කුසල් මෙන්ඩිස් 51, කුසල් ජනිත් පෙරේරා 25, දිනේෂ් චන්දිමාල් 23, ඩුවාන් ඔලිවියර් 4/54. ජෝර්ජ් ලින්ඩ් 3/85, ජේසන් ස්මිත් 1/37,

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 69.5): ලියස් ඩු ප්ලෝයි 142, කායා සොන්ඩෝ 25, ජෝර්ජ් ලින්ඩ් 29, ලහිරු කුමාර 3/36, ඇන්ජලෝ මැතිව්ස් 2/15, දිල්රුවන් පෙරේරා 2/22, නුවන් ප්‍රදීප් 3/41, ඇන්ජෙලෝ මැතිව්ස් 2/15, දිල්රුවන් පෙරේරා 2/22.

ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 212 (පන්දුවාර 47.1): දිනේෂ් චන්දිමාල් 60, කුසල් ජනිත් පෙරේරා 51, උපුල් තරංග 50, ඇන්ජලෝ මැතිව්ස් 37, කාල් ෆෝර්ටන් 2/36, ලියස් ඩූ ප්ලෝයි 1/6.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට