ලෝක කුසලානයට එක් වීමට ශ්‍රී ලංකාව පෑ දක්ෂතා

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය 2023

499
ICC Cricket World Cup Qualifier 2023 Review

නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපරාජිතව එම තරගාවලිය නිමා කරන්නේ ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම ලෙසිනුයි.  

අවසන් තරගයේ දී පරාජයට පත් නෙදර්ලන්ත කණ්ඩායම ද 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා දෙවැනි ස්ථානයට පත් වෙමින් සුදුසුකම් ලබා ගත්තා.  

තරගාවලියට එක් වෙද්දී මෙරට පැවති ඇෆ්ගනිස්තාන තරග 2 ද ජයග්‍රහණය කර සිටි ශ්‍රී ලංකාව එරට පැවති තරග 8 ද ජයග්‍රහණය කරමින් පිට පිට තරග 10ක් ජයග්‍රහණය කළ තෙවැනි අවස්ථාව වාර්තා කිරීමට ද සමත් වුනා 

මීට පෙර 2004 වසරේ දී මාවන් අතපත්තුගේ නායකත්වය යටතේ සහ 2013/14 තරග වසරේ දී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ද මෙවැනි ම වූ දක්ෂතා දැක්වීමට අපේ ක්‍රීඩකයෝ සමත් ව තිබුණා.  

මේ අතර නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් අනතුරුව ඊට සහභාගී වූ කණ්ඩායම් අතුරින් හොඳම ක්‍රීඩකයන් 11 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය කටයුතු කර තිබූ අතර ඊට මෙරටින් පැතුම් නිස්සංක, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඇතුළත් වීම කැපී පෙනුණා 

පැතුම් නිස්සංක 

පැතුම් නිස්සංක, තරගාවලියේ වඩාත් දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පිතිකරු බවට පත් වූවා සේම විශ්වාසවන්ත ආරම්භක පිතිකරුවා තමන් බව නැවත වතාවක් ඔප්පු කිරීමට ද ඔහු මෙම තරගාවලියේ දී සමත් වුනා 

නිමා වූ තරගාවලියේ දී වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ද හිමි කර ගත් පැතුම්ගේ දක්ෂතාව වූයේ තරග 8ක ඉනිම් 8ක දී ලබා ගත් ලකුණු 417යි.  එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 69.5ක් ලෙසින් දැක්වුනා 

ඔහුගේ ඉනිම් අතරට සිම්බාබ්වේ කණ්ඩායමට සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පිට පිට ලබා ගත් ශතක 2 ද සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ස්කොට්ලන්තයට එරෙහිව ලබා ගත් අර්ධ ශතක 2ක් ද ඇතුළත්.   

එමෙන් ම පැතුම් මෙම තරගාවලියේ දී තම එක්දින ලකුණු 1000 කඩඉම සපුරා ගැනීමට ද සමත් වීම කැපී පෙනුණා 

දිමුත් කරුණාරත්න 

තරගාවලියේ අනෙක් කැපී පෙනුණ පිතිකරු බවට පත් වූයේ දිමුත් කරුණාරත්න. ඔහු තරග 7ක ඉනිම් 7ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 369ක් 

ඊට අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 103ක් ද ඇතුළත්. එය දිමුත්ගේ මංගල එක්දින ශතකය ද වුනා. ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට, ඕමානයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතක ත්‍රිත්වයක් ද ඇතුළත්. මේ ඉනිම් සියල්ලේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 61.50ක් ලෙසින් දැක්වුනා.   

මේ දක්ෂතාත් සමඟින් දිමුත් තරගාවලිය අවසන් වන විට වසර 12ක් ඉපැරණි තම එක්දින තරග දිවියේ ලකුණු 1000 කඩඉම පසු කිරීමට ද සමත් වූවා. ඔහු මේ වෙනුවෙන් වැය කළ තරග සංඛ්‍යාව 44ක්. 

සධීර සමරවික්‍රම 

මෙවර තරගාවලියේ දී එක්දින කණ්ඩායමේ ස්ථානයක් තමන් වෙනුවෙන් තහවුරු කරගැනීමට සධීර සමරවික්‍රම සමත් වූවා. ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක්වූ සධීර තරග 8ක ඉනිම් 6ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 218ක්. ඊට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අයර්ලන්තයට එරෙහිව ලබා ගත් අර්ධ ශතක 2ක් ද ඇතුළත්.  

කෙසේ වෙතත් ඊට පසුව ඉනිම්වල දී සධීරට පිතිකරුවෙක් ලෙසින් ස්ථාවර වීමට නොහැකි වූ අතර එය කණ්ඩායමට බලවත් පාඩුවක් වූවා සේ ම ඔහුගේ දුර්වලතාවන් ඉස්මතු වීමක් ලෙසින් දැකිය හැකියි. එබැවින් ඔහු වෙනුවෙන් පැවැරෙන කාර්යයන් හැකිතාක් ඉෂ්ට කිරීම ඔහුගේ වගකීමක් කර ගත යුතුයි.  

කුසල් මෙන්ඩිස් 

ඉදිරි පෙළ පිතිකරුවන් අතර වඩාත් වගකීම් සහිත ක්‍රීඩකයා බවට පත් ව සිටින කුසල් මෙන්ඩිස් නිමා වූ තරගාවලියේ දී තරග 8ක ඉනිම් 7ක දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලබා ගත් අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 191ක් ලබා ගන්නවා.  

පිතිකරුවෙක් ලෙසින් මෙය තරමක් යහපත් යුතුකමක් සේ දැක්විය හැකි වූව ද එකිනෙක තරග හා ගැනීමේ දී දුර්වල ඉනිම් ද ඊට එක් කිරීම මගින් ඔහුගේ වටිනාකමේ අඩුවක් දකිනවා. එබැවින් ඔහු ඊට වඩාත් සුදුසු ක්‍රියා මාර්ගයකට ඉතා ඉක්මනින් යා යුතු යැයි සිතේ.  

චරිත් අසලංක 

ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව බරසාර කළ පිතිකරුවෙක් ලෙසින් මෙම තරගාවලියේ දී ඉදිරියට පැමිණීමට චරිත් අසලංක සමත් වුනා. ඔහු තරග 8ක ඉනිම් 5ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 187ක්. ඊට ස්කොට්ලන්තයට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතකයක් ද ඇතුළත් වුනා 

චරිත් මෙම තරගාවලියේ දී තම එක්දින ලකුණු 1000 කඩඉම සපුරාලීමට ද සමත් වීම කැපී පෙනුණා 

වනිඳු හසරංග 

නිමා වූ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට වනිඳු හසරංග සමත් වීම කැපී පෙනුණා. ඔහු තරග 7ක දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 22ක්. ඒ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 24කට ලබා ගත් කඩුලු 6යි. එය වනිඳුගේ එක්දින තරග දිවියේ ඉහළ ම දක්ෂතාව බවට ද පත්වුනා 

එම තරගයෙන් අනතුරුව තරග 2 දී ද කඩුලු 5ක් බැගින් දවා ගැනීමට සමත් වෙන වනිඳු පිට පිට තරග ත්‍රිත්වයක දී කඩුලු 5ක් බැගින් වාර්තා කිරීමට ද සමත් වෙනවා. වනිඳු මෙම තරගාවලියේ දී තම එක්දින තරග දිවියේ කඩුලු 50ක් වාර්තා කිරීමේ කඩඉම ද පසු කිරීමට සමත් වෙනවා.  

පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන වනිඳු ඉනිම 5ක දී ලකුණු 91ක් ලබා ගන්නවා.  

මහීෂ් තීක්ෂණ 

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත් වීමට මහීෂ් තීක්ෂණ සමත් වෙනවා. ඔහු තරග 8ක දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 21ක් 

අවසන් තරග ත්‍රිත්වයේ දී කඩුලු 4ක් බැගින් ලබා ගැනීමට සමත් වෙන මහීෂ්, ඒ අතරට තම එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ද වාර්තා කිරීමට සමත් වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 25කට ලබා ගත් කඩුලු 4යි.  

ධනංජය ද සිල්වා  

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ ධනංජය ද සිල්වා මෙම තරගාවලියේ පිතිකරුවෙක් ලෙසින් තරග 8ක ඉනිම් 5කට පිටියට පිවිසෙමින් නෙදර්ලන්තයට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 167ක් ලබා ගන්නවා. පන්දු යවන්නෙක් ලෙසින් ඔහු සතු කර ගත් කඩුලු සංඛ්‍යාව 1ක් 

දසුන් ශානක  

මෙම තරගාවලියේ දී නායකයෙක් ලෙසින් තම වගකීම් ඉටු කළ ද පිතිකරුවෙක් ලෙසින් හෝ පන්දු යවන්නෙක් ලෙසින් කතාබහට ලක්විය යුතු තරමේ දක්ෂතා දැක්වීමට දසුන් ශානක සමත් නොවීම කැපී පෙනුණා. ඔහු තරග 8ක ඉනිම් 5ක දී ලබා ගත්තේ ලකුණු 12ක් පමණයි. ඒ සඳහා ඔහු පන්දු 33කට මුහුණ දී සිටිනවා. පන්දු යවන්නෙක් ලෙසින් ඔහු සතු වූයේ කඩුලු 5ක් පමණයි. 

කෙසේ වෙතත් නායකයෙක් ලෙසින් කණ්ඩායම එක මිට ට ගනිමින් ඔවුන්ගේ දක්ෂතා නිසි ලෙසින් කණ්ඩායම වෙත ගැනීමට ඔහු දැක්වූ වෙහෙස ප්‍රශංසනීයයි. එහෙත් ඊට එහා ගිය යුතුකමක් ඔහු වෙතින් කණ්ඩායමට ඉටු විය යුතු යැයි අප විශ්වාස කරමු. එබැවින් දසුන් ඊට අවධානය යොමු කරන්නේ නම් මැනවයි අප සිතමු.  

ඩිල්ශාන් මධුශංක සහ ලහිරු කුමාර 

ඉහත ක්‍රීඩකයන්ට අමතර ව පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දැක්වූ ඩිල්ශාන් මධුශංක ද ඉදිරි තරගාවලිවල දී කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් බවට ඇඟවූවා. ඔහු මෙම තරගාවලියේ දී තරග 4ක දී කඩුලු 8ක් ලබා ගන්නවා. එමෙන් ම ලහිරු කුමාර ද තමන් සහභාගී වූ තරග 5 දී කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙනුණා.  

දුශාන් හේමන්ත සහ සහන් ආරච්චිගේ 

එමෙන් ම මෙම තරගාවලියේ දී දුශාන් හේමන්ත සහ සහන් ආරච්චිගේ එක්දින වරම් දිනා ගත් අතර ඔවුන් ද තම පමණින් කණ්ඩායමට දැක්වූ දායකත්වය අගය කළ යුතුයි. මේ අතුරින් 27 හැවිරිදි වමත් පිතිකරු සහන් ආරච්චිගේ, ආබාධිත බවට පත් දිමුත් කරුණාරත්නගේ හිස් වූ ආරම්භක පිතිකරු ස්ථානයෙන් පිටියට පිවිසෙමින් ඉතා අත්‍යවශ්‍ය වූ අවස්ථාවක් වූ නෙදර්ලන්තය හා සමඟ පැවති අවසන් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට ද සමත් වීම කැපී පෙනුණා 

29 හැවිරිදි වියේ පසුවෙන දුශාන් හේමන්ත පිතිකරුවෙක් ලෙසින් ලකුණු 22ක් සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 2ක් දවා ගත්තා.  

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<