T20 ලෝක කුසලානයට හිටපු නායකයෙකුගෙන් යෝජනාවක්

82

මේ වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර දින 14ක නිරෝධායන කාලයක් පවත්වා තරගාවලිය ආරම්භ කිරීමට සංවිධායකයින් කටයුතු කළහොත් තරගාවලිය පැවැත්වීමට හැකි වේ යැයි, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක Faf du Plessis පවසා ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරුට කොරෝනා

පසුගිය 13 වැනිදා බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක තමිම් ඉක්බාල් සමඟ පැවති FaceBook සජීව වීඩියෝවක් අතරතුර Plessis මේ යෝජනාව සිදු කර ඇත. 

තරගාවලිය පවත්වනවා ද නැද්ද යන තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙතෙක් නිල වශයෙන් පවසා නොමැති වුවත් එහි අවසන් තීරණය මේ මස 28 වැනිදා මීළඟ ICC සාමාජික රටවල් අතර පැවැත්වෙන කමිටු රැස්වීමේ දී ලබා ගැනීමට නියමිතව තිබෙන බව ද වාර්තා වේ.

“ගුවන් ගමන් සඳහා බොහෝ රටවල් තහංචි පනවා තිබෙන නිසා සමහර කණ්ඩායම්වලට තරගාවලියට පැමිණීමේ දී වුනත් යම් යම් ගැටලු එන්න පුළුවන්.  ඒ වගේම සමහර උදවිය දෙසැම්බර් හෝ 2021 ජනවාරි දක්වා තරගාවලිය කල් දමන ලෙස ද ICCයෙන් ඉල්ලීම් කර තිබෙනවා. ඒක නිසා මේ තරගාවලිය ආරම්භ වෙනකන් මට විශ්වාසයක් නැහැ. මේක ගහයි ද කියලා” යැයි Plessis පැවසීය.

“සත්කාරක ඕස්ට්‍රේලියාවට Covid-19 වසංගතයෙන් එතරම් හානියක් වෙලා නැහැ, හැබැයි ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවල මේ වසංගත තත්වය පැතිරී තිබෙන විදිහ ගොඩක් වෙනස්. එක නිසා ඒ වගේම ඒ වගේ රටවල් වලින් ක්‍රීඩකයින් හෝ ප්‍රේක්ෂකයින් ඕස්ට්‍රේලියාවට ආවොත් ඒක ඒ ගොල්ලන්ගේ රටට වගේම ඒ එන  හැමෝගෙම සෞඛ්‍යයට තර්ජනයක් වෙන්නත් බැරිකමක් නැහැ.”

කොරෝනා දසත පැතිරෙද්දී කොදෙව්වෝ අලුත් සෙල්ලමකට

“නමුත් තරග මාලාව ආරම්භ කරන්න කලින් සහ තරගාවලිය අවසන් වූවායින් පසුව සති දෙකක වගේ නිරෝධායන කාලයක් අනිවාර්ය කළොත් මේකෙන් වයිරසය පැතිරෙන එක ගොඩක් පාලනය කරගන්න පුළුවන් වෙයි. නමුත් තරග සංවිධායකයින්ට හෝ ඕස්ට්‍රේලියාවට මෙවැනි ආකාරයක දෙයක් කරන්න පුළුවන් ද කියන එක නම් මම දන්නේ නැහැ.”

මීට පෙර 2015 වසරේ දී ඕස්ට්‍රේලියාවේ දී පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් පූර්ව තරගය සිහිපත් කළ Plessis එම තරගයෙන් දකුණු අප්‍රිකානු පිල පරාජයට පත්වීමේ දුක තුරන් කර ගැනීමට සෑහෙන කාලයක් ගත වූ බව පවසා සිටියේය. එම තරගයෙන් දකුණු අප්‍රිකාව නවසීලන්තය හමුවේ පරාජයට පත්වූ නමුත් Plessis ලකුණු 82ක් රැස්කර ගනිමින් දස්කම් දක්වන ලදි. 

“ක්‍රිකට් තරගයක් ඉවර වෙලා මම කවදාවත් එදා වගේ දුක්  වෙලා නැහැ. අපේ මුළු කණ්ඩායමම වගේ එදා හඬා වැටුණා. තරගාවලිය ඉවර වෙලා අපේ මව් රටට එන්න අපිට දවස් දෙකක් එහෙ රැඳී ඉන්න වුනා. ඒ වෙලාවේ දී අපි කිසිම ක්‍රීඩකයෙක් ඔවුන්ගේ ඇස් නො ගැටෙන්න වග බලා ගත්තා. ඒ වගේම අපි එකිනෙකා අතර කිසිම කතාබහක් ඇතිවුනෙත් නැහැ” යැයි Plessis අවසන් ලෙස පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<