ICC විධායක කමිටු හමුව අවසානයේ දී ලොකු ලොකු තීන්දු රැසක්

1244

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයට COVID-19 වෛරස ව්‍යාප්තිය නිසා දැඩි බලපෑමක් එල්ල විය. එම නිසාම ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනීමේ දී, ඒ ඒ කණ්ඩායම් දිනාගන්නා ලකුණු ප්‍රතිශතයන් ලෙස සලකා බැලීමේ යෝජනාව සඳහා ICC විධායක කමිටුවේ අනුමැතිය හිමිව ඇත. 

ඒ යෝජනාවට අනුව කණ්ඩායම් ක්‍රීඩා කළ තරගවලින් ලබා ගැනීමට තිබුනු ලකුණු වලින්, ඔවුන් ලබා ගත් ප්‍රසාද ලකුණු ප්‍රතිශතයක් ලෙස ගෙන අවසන් කණ්ඩායම් දෙක තීරණය කරනු ඇත. 

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ මූලික තරග සැලැස්මට අනුව කණ්ඩායම් නවයක් වසර දෙකක කාලයක් පුරා තරගාවලි හය බැගින් ක්‍රීඩා කරන්නට නියමිත තිබුනි. එක් තරගාවලියකට හිමි වන උපරිම ප්‍රසාද ලකුණු ගණන 120ක් වූ අතර වසර දෙක අවසානයේ දී වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. අවසන් මහා තරගය ලබන වසරේ ජුනි මාසයේ Lord’s ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය. 

“ICC ක්‍රිකට් කමිටුව සහ ICC ප්‍රධාන විධායක කමිටුව යන කමිටු දෙකම ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ සම්පුර්ණ කරන ලද තරග සහ ලකුණු මත පදනම්ව ප්‍රතිශතයක් ලබාගෙන ප්‍රසාද ලකුණු පුවරුවේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අවසර ලබා දුන්නා. මෙය සිදුවූයේ ක්‍රීඩකයින්ගේ හෝ සංවිධායකයින්ගේ වරදක් නිසා නොවේ. ස්වභාවික ව්‍යසනයක් නිසා. ඒක නිසා කිසිම කණ්ඩායමකට අසාධාරණයක් වෙන්න බැහැ. අපිට දැනට යන්න පුළුවන් හොඳම විසඳුම මේ ලකුණු මත පදනම් වූ ප්‍රසාද ලකුණු ප්‍රතිශත ක්‍රමය කියලා අපි හිතනවා.” යැයි ICC ප්‍රධාන විධායක නිලධාරී Manu Sawhney මහතා පැවසීය. 

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ නව ප්‍රසාද ලකුණු සටහන: 

එසේම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි කිහිපයක්ම පැවැත්වෙන කාලවකවානු වෙනස් කිරීමට ICCය තීරණය කර ඇත. ඒ අනුව 2022 වසරේ පෙබරවාරි මස 09 වැනිදා සිට 26 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ICC ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023 වසර දක්වා කල් දමා ඇත. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

2021 වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ICC ලෝක කුසලාන කාන්තා (එක්දින) ක්‍රිකට් තරගාවලිය 2021 වසරේ සිට 2022 වසර දක්වා කල් දමා ඇත්තේ එක් වසරක් තුළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලි රැසක් පැවැත්වීම නුසුදුසු නිසාවෙනි. 

තවද වසර 4කට වරක් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 වසරේ දී  එංගලන්තයේ දී පැවැත්වෙන අතර එයට ද කාන්තා ක්‍රිකට් තරගාවලියක් ඇතුළත් වේ. එම කරුණු කාරණා සියල්ලම සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි පැවැත්වෙන කාලවකවානු වෙනස් කිරීමට ICCය පියවර ගෙන තිබේ. 

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන ප්‍රධාන කාන්තා ක්‍රිකට් තරගාවලි මෙසේයි, 

  • කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය – 2021 වසරේ දී – ශ්‍රී ලංකාවේ දී 
  • ICC ලෝක කුසලාන කාන්තා (එක්දින) ක්‍රිකට් තරගාවලිය – 2022 පෙබරවාරි 6 – මාර්තු 7 – නවසීලන්තයේ දී
  • 22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල – 2022 ජූලි 28 – අගෝස්තු 8 – එංගලන්තයේ දී
  • ICC ලෝක කුසලාන කාන්තා (විස්සයි විස්ස) ක්‍රිකට් තරගාවලිය – 2023 පෙබරවාරි 9 – 26 – දකුණු අප්‍රිකාවේ දී 

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා අවම වයස් සීමාවන් හඳුන්වා දීමට ICC කටයුතු කර තිබෙන අතර එයට ද ICC විධායක කමිටුවේ අවසරය හිමිව ඇත. ඒ අනුව ඕනෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක්/තරගයක් (වයස අවුරුදු 19න් පහළ කාන්තා හෝ පිරිමි කණ්ඩායම්, ජාතික පිරිමි හෝ කාන්තා කණ්ඩායම්) නියෝජනය කිරීම සඳහා ලෙස ඔහු හෝ ඇය අවම ලෙස වයස අවුරුදු 15 ඉක්මවා තිබිය යුතුය. 

කෙසේ නමුත් යම් සුවිශේෂී අවස්ථාවක දී වයස අවුරුදු 15 නොඉක්මවා තිබෙන ඔහුට හෝ ඇයට ක්‍රීඩා කිරීමට අවශ්‍යම නම් එරට ක්‍රිකට් ආයතනය හරහා ICCය වෙත අයදුම් කර එම අවසරය ලබා ගැනීමට හැකිය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<