පන්දුව පළුදු කිරීම නීතිගත කරනවා වෙනුවට ආතර්ගෙන් වෙනස් යෝජනාවක්

130

කොරෝනා වයිරසය ක්‍රිකට් ක්‍රීඩාවට කළ බලපෑම සහ ඒ නිසා ඉදිරියේ දී ක්‍රීඩාවට වන බලපෑම කොතෙක් දැයි කිසිම ජගතෙකුට නිශ්චිතවම කිව නොහැක. ලොව පුරා සියලු තරග අවලංගු කර ඇති පසුබිමක, සියලු ක්‍රිකට් ආයතන හා බලධාරීන් තම පාඩුව මකාගැනීමට ක්‍රම සොයන පසුබිමක, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පන්දුව පළුදු කිරීමේ තහනම ඉවත් කිරීමට යම් යම් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

Ball-tampering නීතිගත කරන්නට සැරසේ

කොරෝනා වයිරසය ක්‍රිකට් ක්‍රීඩාවට කළ බලපෑම කෙතෙක් දැයි කිව නොහැක. ලොව……..

කොරෝනා වසංගත තත්වය හමුවේ තම ඛේටය උපයෝගී කරගෙන පන්දුව ඔප දැමීම සුදුසු නොවන නිසා ක්‍රිකට් තරගවල දී විනිසුරුවන්ගේ අධීක්ෂණය යටතේ පන්දුව ඔප දැමීමට කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතා කිරීමට ඉඩ දීමේ හැකියාව පිළිබඳව ICC ක්‍රිකට් බලධාරීන් විකල්ප සොයමින් සිටියි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් මහතා, පනවා තිබෙන ඇඳිරි නීති තත්වය නිසාවෙන් කොළඹ පිහිටි හෝටලයකට වී සිටින්නේ නව තාක්ෂණය ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව ද සොයා බලමිනි. ඒ අතරතුර මෙම පන්දුව පළුදු කිරීම සඳහා නීතියෙන් ඉඩ ලබා දීම පිළිබඳව ICC දරණ මතය සම්බන්යෙන් ආතර් මහතා සිය පුද්ගලික twitter ගිණුම ඔස්සේ මෙසේ සිය අදහස් ප්‍රකාශ කර තිබුණි. 

“අවංකවම කියනවා නම් විනිසුරුවරයෙක් ඉදිරියේ දී වුවද පන්දුව පළුදු කිරීම පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. එකේ අඳුරු පැති කිහිපයක්ම තියෙනවා. පන්දුවාර 55කින් වගේ අලුත් පන්දුවකට ගියොත් හොඳ නැද්ද?” යැයි ආතර් සිය twitter පණිවිඩයේ දක්වා ඇත.

ඔහු පවසන පරිදි මෙම ක්‍රමය ටෙස්ට් තරග රටාව සඳහා ඉතාමත් සුදුසු වන අතර දැනට පවතින ටෙස්ට් තරග නීතිරීති අනුව 80 වැනි පන්දුවාරයේ දී පන්දුව මාරු කිරීමට අවසර හිමි වේ. 

එක්දින තරග රටාවේ දී සිදු වන්නේ එක් ඉනිමක පන්දුවාර 50, අන්ත දෙකෙන් පන්දු දෙකකින් යවනු ලබන නිසා පන්දුවක් භාවිතා වන්නේ පන්දුවාර 25ක් සඳහා පමණි. විස්සයි විස්ස තරග රටාවේ දී එක් කණ්ඩායමක් පන්දුවට පහර දෙන පන්දුවාර 20 පුරාවටම යොදාගන්නේ එක් පන්දුවක් පමණි.

ජාවෙඩ් ඕමාර්ව බංග්ලාදේශය ප්‍රතික්ෂේප කරයි

මෑත කාලීනව පන්දුව ඔප දැමීමට ඛේටය භාවිතා කිරීමේ ගැටලුව ගැන විමසූ විට, ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් වන පැට් කමින්ස් සහ ජොෂ් හේස්ල්වුඩ් දැඩි ලෙස විශ්වාස කළේ, පන්දුව ඔප දැමීමේ ක්‍රමයක් නොමැති නම් පන්දු යවන්නන්ට එය විශාල බලපෑමක් ඇති කරන බවයි. විශේෂයෙන් ටෙස්ට් තරගවල දී පන්දුව පැත්තකට ගමන් කිරීම වැඩි විය හැකි බවත් ඔවුන් පවසා තිබුණි. 

“මම හිතන්නේ සුදු පන්දුවට එතරම් බලපෑමක් වෙන්නේ නැති වේවි. නමුත් ටෙස්ට් ක්‍රිකට් ඉතා දුෂ්කර වේවි.” හේස්ල්වුඩ් පැවසීය.  

“පන්දු යවන්නන්ට වාතයේ ඕනෑම ආකාරයක චලනයක් මත රඳා පවතින්න වෙනවා.” 

“ඔබ පන්දුවාර 80ක දී ම පන්දුව නඩත්තු කළේ නැත්නම් එම ආරම්භක ඔපය නැති වූ පසු පන්දුවට පහර දීම පහසුයි. ඔබ ඛේටය හෝ දහඩිය භාවිතා කළත් එක් පුද්ගලයෙකුට එය කළ හැකියි. මට ඒ ගැන විශ්වාසයක් නෑ. එය අපි නැවත ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළාම කතා කළ යුතු දෙයක්. මම හිතනවා අපිට විසඳුමක් ඉදිරිපත් කරන්න පුළුවන් වේවි කියලා.”

හිටපු ටෙස්ට් වේගපන්දු යවන්නෙකු සහ වත්මන් පුහුණුකරුවෙකු වන ජේසන් ගිලෙස්පී ද මේ සම්බන්ධයෙන් පුළුල් ප්‍රශ්නයක් යොමු කළේය. සාම්ප්‍රදායික වුවත්, ඛේටය භාවිතය ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් සනීපාරක්ෂක අංගවලින් එකක් නොවේ. “මම හිතන්නේ නැහැ කිසිම දෙයක් විකල්පයක් නොවේවි කියලා.” ඔහු ABC Grandstand වෙත පැවසීය. 

“සෑම ඕවරයක් අවසානයේම විනිසුරුවන් ක්‍රීඩකයන්ට පන්දුව ඔප දමන්න ඉඩ දෙන නමුත් ඔබට එය කළ හැක්කේ එවිට පමණයි. මට එයට පිළිතුරක් නෑ. නමුත් එය නිසැකවම වේවි.”

තරගකාරී ක්‍රිකට් රටාව තුල කෘතීම ද්‍රව්‍ය යොදාගැනීම මඟින් එහි ගුණාත්මකභාවයේ යම් අඩුවක් වේ යැයි ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ සුපිරි වේගපන්දු යවන්නන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ඔවුන්ගේ අදහස් දක්වමින් පවසා තිබුණි.

Ball-tampering නීතිගත කරන්නට සැරසේ

කොරෝනා වයිරසය ක්‍රිකට් ක්‍රීඩාවට කළ බලපෑම කෙතෙක් දැයි කිව නොහැක. ලොව පුරා සියලු…….

“හිටපු වේගපන්දු යවන්නෙක් ලෙස මම මේ පන්දුව පළුදු කිරීම සඳහා කෘතීම ද්‍රව්‍ය යොදාගැනීමට සැලසුම් කිරීම පිළිබඳව එතරම් ලොකු කැමැත්තක් නැහැ. අපිට දහඩිය සහ ඛේටය යොදාගෙන ස්වාභාවිකවම කරන්න පුළුවන් දේ තමයි හොඳම. එහෙම නැතිනම් අපි වෙනත් විසඳුමකට යන්න ඕන. නමුත් කෘතීම ද්‍රවය යොදාගැනීම ඒකට විසඳුමක් වෙයි කියලා මම හිතන්නේ නැහැ.” පාකිස්තානු හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක වකාර් යූනිස් ESPNCricinfo වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා තිබුණි.

නමුත් හිටපු දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෙක් වන ඇලන් ඩොනල්ඩ් සිටින්නේ නම් වෙනස්ම ආකාරයක මතයකය.

“මම ICCය ගන්න හදන පන්දුව පළුදු කිරීම නීතිගත කිරීමේ තීරණයට ගොඩක් කැමතියි. මොකද ඕගොල්ලෝ දන්නවා පන්දුව ප්‍රේක්ෂකයින් අතරට ගියාම නැවත පන්දුව ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් පිටිය තුලට විසි කරනවා. ඒ අතරතුර පන්දුවට වෙන්නේ මොකක්ද කියලා කාටවත් පෙන්නේ නැහැ. කවුරුත් ඒ ගැන අවධානය යොමු කරන්නෙත් නැහැ. ඒ අවස්ථාවක දී වුනත් පන්දුව හිතාමතා හෝ වැරදීමකින් හරි පළුදු වෙන්න පුළුවන්.” යැයි ESPNCricinfo වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා තිබුණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව හා MCC ලෝක ක්‍රිකට් කමිටුව ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට පෙර මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර මැයි මස අග හෝ ජුනි මස මුල දී වීඩියෝ සම්මන්ත්‍රණ හරහා එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

මේ තීරණය ගැන ඔයාගේ අදහස මොකක්ද? 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<