ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ප්‍රථම අදියර අද (02) ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව නිමාවට පත් කරන්නේ ප්‍රථම අදියරේ පස්වැනි ස්ථානය දිනා ගනිමිනි.

පළඟ ශූරතා අවසන් තරගයේ දී පිලිපීනය ලකුණු 32-19ක් ලෙස පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. උදෑසන පැවති කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාව 36-12ක් ලෙස චීනය හමුවේ පරාජය වූ අතර දිවා කාලයේ පැවති පළඟ අවසන් පූර්ව තරගයේ දී මැලේසියාව හමුවේ 45-00ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව තම කාණ්ඩයේ තෙවන තැනට

2017 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය අද (01) ඇරඹුණේ ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන්. එහි දී ශ්‍රී ලංකාව සහභාගී වූ…

පළඟ ශූරතාවෙන් පිලිපීනය ගිනිබත් කළ ශ්‍රී ලංකාවට 5 වන තැන

ෆීජි ක්‍රීඩකයන් හා ඕස්ට්‍රේලියානුවන්ගෙන් සැදුම් ලත් පිලිපීනය තම ජවය ආරම්භයේ සිටම පෙන්වමින් තරගයේ පළමු උත්සාහක දිනුම පළමු මිනිත්තුවේ දී ම ලබා ගන්නේ ටොමි ගිල්බර්ට් විසිනි (ශ්‍රී ලංකාව 00-07 පිලිපීනය).

ඉන්පසුව ශ්‍රී ලංකාව ද ඊට නොදෙවෙනි දර්ශනීය උත්සාහක දිනුමක් ලබා ගන්නේ තම හැකියාවන් ද මානව පිළිබිඹු කරමිනි. ඒ අනුව රත්වත්තේගේ අනගි උත්සාහයෙන් පළමු ලකුණු 5 ලකුණු පුවරුවේ සටහන් විය (ශ්‍රී ලංකාව 05-07 පිලිපීනය).

තරගය දෙපසට දෝලනය වන බවක් පෙනෙන්නට තිබුණේ මීළඟ අවස්ථාව පිලිපීනයට වාසි වූ නිසාය.

කෙසේ වෙතත් තරගය අතරතුර දී ශ්‍රී ලංකා නායක සුදර්ශණ මුතුතන්ත්‍රි හට කහ කාඩ්පතක් එසවෙන්නේ ශ්‍රී ලංකා පිල 6 දෙනෙකුට සීමා කරමිනි. ඒ අවසරයෙන් ප්‍රතිවාදී කණ්ඩායමේ වින්සන්ට් උත්සාහක දිනුමක් වාර්තා කරන්නේ අසාර්ථක ප්‍රවර්තනයක් සමඟිනි (ශ්‍රී ලංකාව 05-12 පිලිපීනය).

කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩක නවින් හේනකන්කානම්ගේ සහ සුදම් සූරියආරච්චිගේ  සහයෙන් ප්‍රථම අර්ධය නිමා වන්නට මොහොතකට පෙර කෙවින් ඩික්සන් උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදි.

පළමු අර්ධය – (ශ්‍රී ලංකාව 10-12පිලිපීනය)

දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟින් ලකුණු 2ක් පසුපසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට උත්සාහක දිනුමක් වාර්තා කර දීමට නායක මුතුතන්ත්‍රිට හැකි විය (ශ්‍රී ලංකාව 15-12පිලිපීනය).

DSC_1468[1528]

ඉන්පසු ශ්‍රී ලංකා ක්‍රීඩක සූරි, පන්දුව ඩැහැ ගෙන කෙළින්ම රැගෙන ගියේ පිලිපීන ආරක්ෂක වළල්ල වෙතයි. නියම අවස්ථාවේ සූරිගේ සහයට පැමිණි නවීන් ධවල රේඛාව වෙත ලිස්සා ගියේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමිනි (ශ්‍රී ලංකාව 20-12පිලිපීනය).

සූරීගේ හා ඩික්සන්ගේ පන්දු හුවමාරුව බුද්ධිම පියරත්න උත්සාහක දිනුමකට පරිවර්තනය කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව තව තවත් ඉහළ දමමිනි (ශ්‍රී ලංකාව 27-12 පිලිපීනය).

ඉන්පසුව තරගය නිමා වීමට මත්තෙන් පිලිපීනය තවත් පූර්ණ උත්සාහක දිනුමක් ලබා ගැනීමට සමත් විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නිමා වන විට 6 වැනි උත්සාහක දිනුමත් සාර්ථක කරගෙන තිබුණු අතර ඒ අනුව 32-19ක් ලෙස පිලිපීනය පරාජය කරමින් ශ්‍රී ලංකාව පළඟ ශූරතාවය ජයග්‍රහණය කරන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 32-19පිලිපීනය


චීනය ලංකාවේ කුසලාන බලාපොරොත්තු බිඳ දමයි

2017 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අද (02) පැවති අවසන් පූර්ව වටයේ තරගයකින් ශ්‍රී ලංකාවට චීනය හමුවේ ලකුණු 36-12 දරුණු පරාජයක් අත්විය. තරගය හොංකොං හි දී පැවැත්විය.

තරගය ආරම්භ වී 2 වන මිනිත්තුවේ දී ම ලකුණු පුවරුව ආරම්භ කරමින් ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් ගාඕ බින්ග් චීනය වෙනුවෙන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළේය. මීටර 40 සීමාවේ දී පන්දුව ලබාගත් බින්ග්, මුතුතන්ත්‍රි හා සූරියාරච්චි යන ක්‍රීඩකයන් මුලා කරමින් පහසුවෙන් ධවල රේඛාව ආක්‍රමණය කළේය.  සංග් චන්ග් එය සාර්ථකව ප්‍රවර්තනය කළේය. (චීනය 07-00 ශ්‍රී ලංකාව).

sfdfdfsf

ආක්‍රමණශීලී  වූ චීනය මීළඟ මිනිත්තුවේ දී නැවතත් සාර්ථකව ලකුණු 7ක් තම ලකුණු පුවරුවට එක් කර ගන්නට සමත් විය. ඉන්පසුව ශැන්ග් චන්ග් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නේ පළමු භාගයේ ඉදිරිය තමන් වෙත නතු කර ගනිමිනි (චීනය 14 -00 ශ්‍රී ලංකාව).

දෙවැනි අර්ධය නිමා වන්නට ප්‍රථම තවත් සාර්ථක ප්‍රවර්තනයක් සහිත උත්සාහක දිනුමක් චෙන්ග් යොන්ග් ලබා ගන්නේ උපායශීලිත්වයෙන් චීනය ඉදිරියෙන් සිටින බව පසක් කරමිනි (චීනය 21-00 ශ්‍රී ලංකාව).

අස්වැසිල්ලකට මෙන් තරින්ද රත්වත්තේගේ හා කවිඳුගේ මනා සුසංයෝගයෙන් ඉක්මනින් උත්සාහක දිනුමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ පළමු අර්ධය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 5ක් එකතු කරමිනි.

පළමු අර්ධය: චීනය 21-05 ශ්‍රී ලංකාව

දෙවන අර්ධය තරමක් සූක්ෂමව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූ අතර ඔමල්ක ගුණරත්න විසින් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය රත්වත්තේ විසින් සාර්ථක කර ගන්නා ලදි (චීනය 21-12 ශ්‍රී ලංකාව).

ඉනික්බිති ක්‍රියාත්මක වූ ශාන් චන්ග් තමන්ගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය වාර්තා කරමින් තරගයේ 4 වන දිනුම ද ලකුණු පුවරුවට එක් කරන්නට විය (චීනය 26-12 ශ්‍රී ලංකාව).

චීනය විසින් තරගයේ 5 වන උත්සාහක දිනුම ද වාර්තා කරමින් තරගය සාර්ථක අවසන් ක‍ළේ ශ්‍රී ලංකාවට ලකුණු 12ක් පමණක් ලබා දෙමිනි.

අවසන් ලකුණු පුවරුව: චීනය 36-12 ශ්‍රී ලංකාව


ශ්‍රී ලංකාව පළඟ අවසන් තරගයට

දැවැන්ත පරාජයකින් පසුව අද දිනයේ පැවති දෙවන තරගයේ දී මැලේසියාවට ලකුණු 45-00ක පරාජයක් අත්  කර දීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම, පළඟ ශූරතාවයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

fdsfdf

ආක්‍රමණශීලීව ආරම්භ වූ මෙම තරගයේ ලකුණු පුවරුව කෙවින් ඩික්සන් විසින්  ක්‍රියාත්මක කළ අතර රත්වත්තේ ඔහුගේ උත්සාහක දිනුම සාර්ථකව ප්‍රවර්තනය කළේය. ජයවර්ධන ද තමන්ගේ නමට උත්සාහක දිනුමක් වාර්තා කළේ මුතුතන්ත්‍රිගේ ද සහය ඇතිවයි. (ශ්‍රී ලංකාව 12-00 මැලේසියාව).

මද නිහැඬියාවකින් පසුව ක්‍රියාත්මක වූ දනුෂ් දයාන් සහ නවීන් හේනකන්කානම්ගේට එකතු වූ ඩික්සන් තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු පුවරුව 26ක් දක්වා රැගෙන ඒමට සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 26-00 මැලේසියාව

දෙවන අර්ධය ද ප්‍රථම අර්ධය මෙන්ම මැලේසියාවට හිසරදයක් විය. රත්වත්තේ තමාගේ නම ලකුණු පුවරුවට එක් කරමින් ලකුණු තත්වය 31ක් දක්වා ඉදිරියට ගෙන ආවේය (ශ්‍රී ලංකාව 31-00 මැලේසියාව).

ජයවර්ධනගේ දෙවන උත්සාහක දිනුම වාර්තා කරන්නට ජේසන් දිසානායක ද සවියක් විය (ශ්‍රී ලංකාව 38 -00 මැලේසියාව).

කෙසේ නමුත් තරගය අවසන් වීමට ප්‍රථම මැලේසියාවට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සාර්ථකව උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු පුවරුව 45ක් දක්වා ඉදිරියට ගෙන ඒමට සමත් විය. ඒත් සමඟින් තරගය නිමාවට පත්විය.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 45-00 මැලේසියාව

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට