“පන්දුවේ තත්වය පවත්වගන්න අපිට වෙන විකල්පයක් අවශ්‍යයි”

116
Bumrah

COVID-19 වසංගත තත්වය සමඟ හටගෙන ඇති සෞඛ්‍ය අවදානම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිල වශයෙන් ඉදිරියේ දී පන්දු පිරිමැදීම සඳහා ඛේටය භාවිතා නොකළ යුතු බව යෝජනා කළ නමුත්, ඒ වෙනුවෙන් වෙනත් විකල්පයක් හඳුන්වා දිය යුතු බව ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah පවසා සිටී. 

ICCය විසින් සිදු කරන වීඩියෝ පට මාලාවක් වන ‘Inside Out Interviews’ සමඟ එක්වෙමින් Bumrah තවදුරටත් අදහස් දක්වමින් ඉදිරියේ දී හඳුන්වා දිය හැකි කඩුල්ලක් දවා ගත් පසු සුපුරුදු පරිදි ක්‍රීඩකයින් එක්ව ‘පහක් දැමීම’ වැනි සැමරුම් සිදු නොකර සීමා කරනු ලැබූ සැමරීම්වල නිරත වීමට සිදුවීමේ සංසිද්ධිය පිළිබඳව ද සිය මතය ප්‍රකාශ කර සිටින්නට විය. 

“මම කොහොමත් එච්චර වැළඳ ගැනීම් වගේ දේවල් කරන්නේ නැහැ. පහක් දැමීම වගේ ඒවත් කරන්නේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා මට ඒක ලොකු ගැටලුවක් නෙමෙයි.

මට ප්‍රශ්නයක් විදිහට තියෙන එකම දේ තමයි පන්දුව පිරිමදින්න කෙළ යොදාගන්න බැරි වෙන එක. නැවත තරග ආරම්භ වුනාට පස්සේ අපිට පිළිපදින්න වෙන මාර්ගෝපදේශ කොහොම වෙයි ද කියලා මම හරියටම කියන්න දන්නේ නැහැ. ඒත් මම හිතන විදිහට මේකට නම් වෙන විකල්පයක් තියෙන්න ඕන. මොකද පන්දුවේ තත්වය හරියට පවත්ව ගත්තේ නැත්නම් පන්දු යවන්නන්ට ඒක ගොඩක් අමාරු වෙනවා.

ක්‍රීඩාංගණ එන්න එන්නම ප්‍රමාණයෙන් කුඩා වෙනවා. තණතිලිවල සමතලා බව එන්න එන්නම වැඩි වෙනවා. ඒ නිසා පන්දු යවන්නන් වන අපිට මොකක්ම හරි විකල්පයක් තියෙන්න ඕන පන්දුවේ තත්වය පවත්වා ගන්න. මොකද එතකොට ඉනිමේ අවසානය වගේ වෙද්දී අපිට ‘reverse swing’ එකක් හරි ‘conventional swing’ එකක් හරි වත් ලබාගන්න උත්සාහ කරන්න පුළුවන්. ටෙස්ට් තරග ගැන මට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වෙන කොට තියෙන තත්වය ගැන මම ගොඩක් සතුටුයි.

මම එකඟ වෙනවා ටෙස්ට් තරගවල වැඩි වාසිය තියෙන්නේ පන්දු යවන්නන්ට කියලා. ඒ නිසා තමයි මම ටෙස්ට් තරගවලට වඩාත්ම කැමති. මොකද ඒකෙ දී අපිට වැඩිපුර යමක් කරන්න පුළුවන්. ඒත් එක්දින තරග ගත්තොත් එක ඉනිමක දී නව පන්දු දෙකක් යොදාගන්නවා. එතකොට අන්තිම වෙද්දී ‘reverse swing’ එකක් වගේ ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්. අපි නවසීලන්තයේ ක්‍රීඩා කරද්දී හතරේ සීමාවට තිබුණේ මීටර 50ක දුරක්. එහෙම වුනාම පිතිකරුවෙක් 6 පහරක් ගහන්න බලාපොරොත්තු වුනේ නැතත් ඒ එල්ල කරන පහරක් 6 සීමාවට යන්න තියෙන ඉඩකඩ වැඩියි. 

අපි ක්‍රීඩා කරන කොට හැමතැනම හැම පිතිකරුවෙක්ම වගේ පැමිණිලි කරන දෙයක් තමයි පන්දුව ‘swing’ වෙනවා කියන එක. නමුත් පන්දුව ‘swing’ වෙන එක තමයි හරි නම් කොහොමත් වෙන්න ඕන. මොකද පන්දුවෙන් මොකක් හරි දෙයක් සිදු වෙන්න ඕන. අපි නිකන් ‘throwdowns’ කරන්න නෙමෙයි නේ නේද ඉන්නේ? (සිනහ වෙමින්) මම ඒක තමයි හැමවෙලේම පිතිකරුවන්ට කියන්නේ. එක්දින තරගවල දී කවද්ද අන්තිමට පන්දුව ‘reverse swing’ වුනේ? මට නම් මතකයක් නැහැ එහෙම වුන දවසක්. ඒ වගේම මේ වෙනකොට පන්දුව ගොඩක් ‘swing’ වෙන එක සිදු වෙන්නෙත් නැහැ.”

වේගපන්දු යවන්නෙක් සඳහා ඔවුන්ගේ රිද්මය පවත්වා ගෙන යාම ඉතා වැදගත් දෙයක් වන අතර නවසීලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව මේ දක්වාම Bumrah හට පන්දු යැවීමට අවස්ථාවක් ලැබී නොමැත. කෙසේ නමුත් මෙහි දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ නැවතත් තරග ආරම්භ වන විට හොඳ තත්වයක සිටීම සඳහා ඔහු නිරන්තර පුහුණුවීම් වල නිරත වූ බවයි.

“මාස 2-3ක කාලයක් පුරාවට පන්දු යවන්නේ නැතුව ඉන්න කොට ඒකට අපේ ශරීරය ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. නමුත් මම පුළුවන් තරම් උත්සාහ කරනවා පුහුණුවීම් කටයුතු කරන්න. මොකද එතකොට නැවත තරග පටන් ගන්නකන් මගේ ශරීරය සාමාන්‍ය හොඳ තත්වයකින් තියා ගන්න පුළුවන් නිසා. මම ගොඩක් වෙලාවට සතියට දවස් 6ක් පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. ඒත් මම මේ වෙනකොට ගොඩ කාලෙකින් පන්දු යවලා නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ මම ඉස්සරහට මගේ පළවෙනි පන්දුව දැම්මට පස්සේ ඒකට මගේ ශරීරය කොහොම ප්‍රතිචාර දක්වයි ද කියලා. 

මම ඒක දකින්නේ අපේම ශරීරය අලුත් කරගන්න පුළුවන් ක්‍රමයක් විදිහට. අපිට ආයේ කවදාවත් මෙහෙම විවේකයක් හම්බෙන එකක් නැහැ. ඒ නිසා පොඩි පොඩි ප්‍රශ්න පැවතුණාට ආයේ නැවතත් තරග පටන් ගන්නකොට ඔබට නැවුම් පුද්ගලයෙක් විදිහට එන්න පුළුවන්. ඒ හරහා අපේ ක්‍රිකට් දිවිය තවදුරටත් දීර්ඝ කරගන්න පුළුවන්.”

Bumrah සතුව ඔහුටම ආවේණික වූ පන්දු යැවීමේ ඉරියව්වක් පවතින අතර පිතිකරුවන් හට සිය පාදය හැඩගස්වා ගනිමින් ඊට අනුගත වීමට තරමක වැඩි කාලයක් ගත වන බවට අපට හඳුනා ගැනීමට හැකිවී ඇත. 

“මම පන්දු යැවීම ආරම්භ කරලා ඒක දියුණු කරගත්ත කාලය තුළ කවදාවත් එහෙම වෘත්තීය පුහුණුකරුවෙක් වෙත ගිහින් නැහැ. මේ හැමදෙයක්ම මම තනියම ඉගෙන ගත්ත දේවල්. ඒවා මම ඉගෙන ගත්තේ රූපවාහිනිය සහ වීඩියෝ පට බලලා වගේ දේවල් වලින්. ඉතින් මම දන්නේ නැහැ මගේ පන්දු යැවීමේ ඉරියව්ව කොහොම එහෙම හැදුණා ද කියාලා. හැමවෙලේම සමහර අය හිටියා මම මගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කරගන්න ඕනේ කියලා කියපු. නමුත් මම ඔවුන්ට ඇහුම්කන් දුන්නේ නැහැ. මම හැමවෙලේම විශ්වාස කළේ මේ පන්දු යැවීමේ ඉරියව්වෙන් මට සාර්ථක වෙන්න පුළුවන් වෙයි කියලා.”

එමෙන්ම මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් Bumrah ප්‍රකාශ කර සිටියේ ඔහු පන්දු යැවීමේ දී මේ දක්වා දේවල් කිහිපයක් ම වෙනස් කරගැනීමට ද ඔහු කටයුතු කර ඇති බවයි. 

“මම සමහර දේවල් වෙනස් කරගත්තා. මම 2013 දී පටන් ගත්ත කාලේ ගොඩක් උඩ පනින්න වගේ පුරුදු වෙලා හිටියා. මොකක් හරි දෙයක් අපිට කරදරයක් වෙනවා නම් අපි ඒක වෙනස් කරගන්න ඕනේ. ඒ වගේම මොකක් හරි දේකින් මට එහෙම ප්‍රශ්නයක් නැත්නම් මම ඒක දිගටම කරගෙන යනවා. මම සාමාන්‍යයෙන් ගොඩක් උපදෙස් ගන්න කෙනෙක්. ඒ වගේම මම දේවල් ඉගෙන ගන්න ගොඩක් කැමති කෙනෙක්. මම නිතරම වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් වගේම පුහුණුකරුවන්ගෙන් ද ගොඩක් ප්‍රශ්න අහනවා. මගේ ක්‍රීඩා විලාශය, දියුණු කර ගත යුතු දේවල් ගැන සාමාන්‍යයෙන් ප්‍රතිචාර ලබාගන්නවා. අන්තිමට ඒවා ගැන සලකලා බලලා මට හරියනවා නම් මම ඒවා සිදු කරනවා. එහෙම ඒවා හරියන්නේ නැත්නම් අපි ඒවා අමතක කළ යුතුයි. 

ඉස්සර කොහේ ගියත් මගේ පන්දු යැවීමේ ඉරියව්ව නිසා මට ලැබුණු සුපුරුදු ප්‍රතිචාරය වුනේ මං කවදාවත් ප්‍රබල පන්දු වෙන එකක් නැහැ, මම කවදාවත් පන්දු යවන්නෙක් විදිහට දක්‍ෂතා දක්වන එකක් නැහැ සහ මට කවදාවත් ලොකු කාලයක් ක්‍රීඩා කරන්න බැරිවෙයි වගේ දේවල්. නමුත් අපි තේරුම් ගන්න ඕනෙම කෙනෙක්ට වැදගත් වෙන්නේ තමන් තමන් ගැන හිතන දේ විතරයි කියලා.”

තවත් කියවන්න:

අවසාන වශයෙන් Bumrah මෙහි දී පන්දුව යොමුකිරීමට පෙර පියවර 8කින් පමණක් සමන්විත වන කෙටි ‘run-up’ එකක් යොදාගැනීම පිළිබඳව ද අදහස් පළකර සිටින්නට විය. 

“ඒ කෙටි ‘run-up’ ඒක හැදුණේ පොඩි කාලේ ගෙදර පිටිපස්සේ ක්‍රීඩා කරපු නිසා. අපි පොඩි කාලේ ක්‍රිකට් ක්‍රීඩා කරනකොට ඒකට අපිට ලොකු ඉඩක් තිබුණේ නැහැ. එතකොට මේක තමයි මට යොදාගන්න පුළුවන් වෙච්ච දිගම ‘run-up’ එක. ඉතින් මම හිතනවා ඒක හේතුවක් වෙන්න ඇති කියලා.

මම මීට වඩා දිග ‘run-up’ එකක් යොදාගන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් ඒකෙන් කිසි වෙනසක් වුනේ නැහැ. පන්දුවේ වේගයත් එකමයි. ඉතින් එහෙම තියෙද්දී ඇයි වැඩිපුර දුවන්නේ? මේක මට ටෙස්ට් තරගවල දී ගොඩක් වැදගත් වෙනවා. මොකද මගේ 4 වැනි, 5 වැනි වගේ පන්දු යැවීමේ වාර එද්දී මාත් එක්ක ක්‍රීඩා කරන දිග ‘run-up’එකක් තියෙන ක්‍රීඩකයින්ට සාපේක්‍ෂව මම ඔවුන්ට වඩා ප්‍රාණවත්.

ඒක තමයි මගේ න්‍යාය. මට කියන්න පුළුවන් හොඳම දේ මේක නමයි වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ 4 වැනි පන්දු යැවීමේ වාරයට වඩා වැඩි වේගයකින් මම එතකොට පන්දු යවනවා. ඉතින් මම හිතනවා මම දිගටම ඒ විදිහටම කරන එක හොඳයි කියලා. මට මොකක් හරි කායික අපහසුතාවක් ඇවිත් ඒක මට ප්‍රශ්නයක් වුනොත් එතකොට මම එකට විසඳුමක් හොයනවා. නමුත් එහෙම ගැටලුවක් නැති කොට ඇයි අපි ඒකට විසඳුමක් හොයන්නේ?”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<