ජයග්‍රහණයේ දී නිහතමානී වූ නොවැක් ජොකොවිච්

528
Novac Djokovic
Courtesy – Getty Images

විම්බල්ඩන්, ප්‍රංශ විවෘත තරගාවලිය, ඇමරිකානු විවෘත තරගාවලිය සහ ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලිය යනු ටෙනිස් ක්‍රීඩාවේ ප්‍රධානම තරගාවලි හතරයි.

එකම වසරක දී ඒ තරගාවලි හතරම ජයග්‍රහණය කිරීම ටෙනිස් ක්‍රීඩකයෙකු විසින් දක්වන සුවිශේෂී දස්කමක් ලෙස සැලකේ. “ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයක්” ලෙස සලකන්නේ එයයි.

සර්බියානු ජාතික නොවැක් ජොකොවිච් ඒ දස්කම 23 වතාවක් දැක්වූ විශිෂ්ට ක්‍රීඩකයෙක්. ජෝන් මැකින්රෝ, පීට් සම්ප්‍රාස්, රොජර් ෆෙඩරර්, රෆායෙල් නඩාල් ආදී ඔබට හුරුපුරුදු විශිෂ්ට ටෙනිස් ක්‍රීඩකයන්ගෙන් කිසිවෙකු ජොකොවිච් තරම් ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ ලබා නැත. ජොකොවිච්, ටෙනිස් ක්‍රීඩාවට ප්‍රකට ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය හෝ ප්‍රංශයෙන් බිහිවූවෙකු නොවේ.

සර්බියාවේ හැදී වැඩුණු ඔහුට ඉහත කී රටවල්වල දී ක්‍රීඩකයෙකුට ලැබෙන ආර්ථික, සාමාජීය නිදහස සහ උපදේශකත්වය ලැබුණේ නැත. එහෙත් ඒ කිසිදු රටක ක්‍රීඩකයෙකු ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ වලින් නොවැක් ජොකොවිච් හා සම වුනේ ද නැත.

Novac Djokovic
නොවැක් ජොකොවිච් (Courtesy – Getty Images)

2023 ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ දී ලද ජයග්‍රහණයත් සමඟින් ඔහු 23 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය සම්පූර්ණ කළේය.

’90 දශකය පුරාම යුද්ධ වලින් බැට කෑ සර්බියාවේ ක්‍රීඩකයෙකු වූ ඔහු ටෙනිස් ක්‍රීඩාව හරි හැටි ඉගෙන ගත්තේ ජර්මනියේ මියුනික් නුවර පිහිටි නිකී පිලිච්ගේ ටෙනිස් ඇකඩමියෙනි. ඊට පෙර අවලස්සන යුධ අත්දැකීම් ලැබීමට ඔහුට ද සිදු විය.

මට හිතෙන විදියට මම හැදී වැඩුණු විදිය මගේ පරපුරේ අනෙක් ටෙනිස් ක්‍රීඩකයන්ට වඩා වෙනස්. මගේ වයස අවුරුදු හතරක් පහක් වගේ කාලෙට ආපස්සට ගියොත්, 1990 දශකයේ දී අපට යුද්ධ කිහිපයක් තිබුණා,” ප්‍රංශ විවෘත තරගාවලිය ජය ගැනීමෙන් පසුව සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවක දී ජොකොවිච් පැවසුවේය. නොර්වේහි කැස්පර් රූඩ්ව පරාජය කරමින් ඔහු ජය ගත්තේ වට 3-0ක් වශයෙනි.

සර්බියාවට සංචරණ සීමා පනවලා තිබුණා. ගොඩක් කනිෂ්ඨ තරගාවලිවලට මට සහභාගී වෙන්න බැරි වුනා. ඉතින් ලොකු විපත් කාලයක් තිබුණේ. ඒක මගේ රටේ හැම කෙනෙකුටම අභියෝගාත්මක කාලයක්,” ජොකොවිච් සිහිකළේ ඔහුගේ ජීවිතයේ අඳුරු කාලයකි.

මගේ පවුලට තිබුණේ අඩු ආදායමක්. මගේ දෙමාපියන් ඒත් තීරණය කළා, සමහර විට විම්බල්ඩන් දිනලා, වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයෙකු වෙලා, ලෝකේ අංක 1 වෙන්න තිබුණු මගේ හීනයට උදව් කරන්න,” ඔහු සිහිකළේය.

යෙලේනා ජෙන්චිච්ව හමුවීම ඔහුගේ ජීවිතය වෙනස් කළේය. ඔහුගේ ටෙනිස් පියා ලෙස නිකී පිලිච්ව හඳුන්වන ජොකොවිච් ඔහුගේ ටෙනිස් මව ලෙස හඳුන්වන්නේ යෙලේනා ජෙන්චිච්වයි.

අවුරුදු 10කට විතර පෙරදී ඇය මිය ගියා. ඒත් ඇය මට හිතන්නවත් බැරි තරමේ උත්තේජනයක්. පිටිය ඇතුළෙ දීත්, පිටත දීත්,” යෙලේනා ගැන ජොකොවිච් පැවසුවේ එවැන්නකි.

ඇය සත්‍ය වශයෙන්ම උපදේශිකාවක්. ඒ වගේම ඇය, ඇයට මගෙත් එක්ක ගොඩක් වෙලා ගත කරන්න අවසර දුන්නු මගේ දෙමාපියන් එක්ක කිට්ටුවෙන් වැඩ කළා. මම ඇගේ ගෙදර ගියා. අපි මගේ මනස මනුෂ්‍යයෙකු හැටියටත්, වෘත්තිකයෙකු හැටියටත් වෙනස් කරන්න හේතුවුණු වෙනස්, ගොඩක් දේවල් කළා,” ඔහු පැවසුවේය.

ජොකොවිච්ගේ දෙමාපියන් වූ ස්ර්දාන් සහ ඩියානා ටෙනිස් ක්‍රීඩා පසුබිමක් තිබූවන් නොවුනත්, ඔවුන් ඔහුගේ සිහිනය ගැන විශ්වාස කිරීම ගැන ඔහුට ඇත්තේ කෘතගුණවේදී හැඟීමකි.

Novac Djokovic
ජොකොවිච්ගේ පිටුපස සිටි මහා බලවේග කිහිපය (Courtesy – Reuters)

මගේ අම්මා පර්වතයක්. ඇය, අමාරුම වෙලාවල්වල දී පවුලම එකට තියාගත්තු, හිතාගන්න බැරි විදිහේ කාන්තාවක්. මගේ පියා, හිතාගන්න බැරි විදියට පවුලේ ධාවන බලය වුණු කෙනෙක්. මගේ ඇතුළට ධනාත්මක චින්තයත්, විශ්වාසයේ බලයත් බින්දුවෙන් බින්දුව වත්කරපු කෙනෙක්,” ඔහු සිහිකළේය.

එයා කවදාවත් ටෙනිස් ගහලා නෑ. මගේ පවුලේ කවුරුත් ටෙනිස් ගැහුවේ නෑ. ඒ නිසා ඔහුට සිදු වුනා විශේෂඥයන්ගෙන්, ක්ෂේත්‍රයේ දැනුම ඇති අයගෙන් අහන්න, මට අවශ්‍ය දක්ෂකම, හැකියාව තියෙනවා ද, ඔහු සල්ලි ආයෝජනය කරන්න ඕන ද කියලා.”

ඒක නිසා ආයෙත්, අපි වාසනාවන්ත වුනා, මගේ ක්‍රීඩා ජීවිතයේ මුල දී අර දෙන්නව (යෙලේනා සහ නිකිල්) අපට හමුවෙන්න. ඔවුන් ඔහුව (පියාව) උනන්දු කළා ඒ තීරණය ගන්න. ඒ නිසා ඇත්තෙන්ම මගේ මවට සහ පියාට ආර්ථික වශයෙන්, හැඟීම් වශයෙන්, යම් විදියකින් අමාරුකම් ගොඩකට මුහුණ දෙන්න වුනා අද මෙතන ඉන්දවන්න. ඉතින් මම ඒක කවදාවත් අමතක කරන්නේ නෑ. ඇත්තටම මම ඒක මගේ හදවතේ දරාගෙනයි ඉන්නේ.”

ක්‍රීඩකයෙකු 23 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔහුගෙන් පිටවන වචන ඉහත ආකාර නම්, ඔහු වටා සිට ඔහුව ගොඩනැගූ පුද්ගලයන් ගැන ඇති වන කෘතගුණවේදීත්වය අප විසින් ද නොඅඩුව ඔවුනට ලැබෙන්නේය. 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය වෙත නොවැක් ජොකොවිච් යන ගමන දෙස සතුටු සිතින් බලා සිටිමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<