ලෝක හොකී කණ්ඩායමේ ශ්‍රී ලාංකිකයා – රංජිත් විජේකෝන්

462

ක්‍රිකට් හැර ශ්‍රී ලංකාවේ අනෙකුත් බොහෝ ක්‍රීඩා වල ස්වර්ණමය යුගය 60/70 දශක වලින් අවසන් විය. එහෙත් අතීතයෙහි සිටි ක්‍රීඩා විරුවන් ගැන සිහි කිරීම සතුට උපදවයි.

“රංජිත් විජේකෝන්” නාමය ඇතැම් විට ඔබ කිසිදා නොඇසූ නමක් විය හැකිය. එහෙත් ඒ ශ්‍රී ලංකාවේ ඉපිද, ආසියානු ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා වී, ලෝක හොකී කණ්ඩායමත් නියෝජනය කළ අයෙකුගේ නමයි. ඒ ඉතිහාසය අප විසින් දත යුතුමය.

“හොකී” යැයි කියන විට ලොව සාමාන්‍ය සම්මතයේ දී නම් සිහිවන්නේ අයිස් හොකී ක්‍රීඩාවයි. එබැවින් අප විසින් කතා කරන, හිරු රැස් හොඳින් වැටෙන පරිසරයන් යටතේ ක්‍රීඩා කළ හැකි හොකී ක්‍රීඩාව “ෆීල්ඩ් හොකී” ක්‍රීඩාව නම් වෙයි. පහසුව පිණිස ඊට හොකී යැයි කියන්නෙමු.

Courtesy – Mapio.net Courtesy – Mapio.net Caption – ශ්‍රී ලංකාවේ හොඳම ස්වභාවික හොකී ක්‍රීඩාංගණය වී තිබූ මාතලේ එඩ්වර්ඩ් පාක් ක්‍රීඩාංගණය

“ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවේ තොටිල්ල” ලෙස හැඳින්වෙන මාතලේ පුරවරයේ ඉපිද, මාතලේ විජය විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ රංජිත්, තෙවැනි වසරේ සිට මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් විය. හොකී ක්‍රීඩාව සම්බන්ධව ප්‍රසිද්ධියක් උසුලන මාතලේ විජේකෝන් පරපුරේ සාමාජිකයෙකු ලෙස 1958, 1959 සහ 1960 වර්ෂවල දී පාසල් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම නියෝජනය කළ ඔහු තමන්ගේ දස්කම් ඉහළින්ම සනාථ කළේය.

පාසල් කණ්ඩායමේ නායකත්වය ද දැරූ රංජිත් 1960 දී පාසල් ක්‍රීඩකයෙකු වශයෙන් සිටිය දී ම මාතලේ දිස්ත්‍රික් හොකී කණ්ඩායමට තේරී පත්විය. 1968 දී ඔහු විසින් එහි නායකත්වය දැරීය.

1960 දී යෞවනයෙකු ලෙස ජාතික කණ්ඩායමට ද ඇතුළත් වීමේ භාග්‍යය ලද රංජිත් 1974 දක්වා ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු ලෙස දස්කම් පෑවේය. ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කළ වර්ෂ 14ක කාලය ඇතුළත තෙවරක් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ අවස්ථාව ඔහුට හිමි විය. ඒ, 1962 ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර දී පැවති ආසියානු ක්‍රීඩා උළෙල සහ 1966, 1970 වසරවල දී තායිලන්තයේ බැංකොක් නුවර දී පැවති ආසියානු ක්‍රීඩා උළෙලවල දීයි.

ඉන් 1966 සහ 1970 වර්ෂවල දී ආසියානු හොකී කණ්ඩායම නියෝජනය කිරීමේ වරම ඔහුට ලැබුණි. එය ශ්‍රී ලාංකිකයෙකුට ලැබෙන අතිශය දුලබ අවස්ථාවක් වන අතර මෙතෙක් එවැන්නක් කළ අන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු ගැන සඳහනක් නැත.

1962දී කණ්ඩායම් 9ක් අතරින් 7 වැනි ස්ථානයත්, 1966දී කණ්ඩායම් 8ක් අතරින් 5 වැනි ස්ථානයත්, 1970 දී කණ්ඩායම් 8ක් අතරින් 6වැනි ස්ථානයත් ලබා ගැනීමට රංජිත් ක්‍රීඩා කළ සිලෝන් කණ්ඩායම සමත් විය.

වැදගත්ම කරුණ වන්නේ රංජිත් විජේකෝන් 1974 දී ලෝක හොකී කණ්ඩායමට තේරීපත්වීමයි. ආසියානු ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ද වී ඇති ඔහු ලෝක කණ්ඩායම නියෝජනය කිරීමේ දුලබ අවස්ථාව තමන් සතුකර ගත්තේය. ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතලොස්සෙන් ලෝක කණ්ඩායමට තේරී පත්වුණු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ගැන අපට වැඩිපුර අසන්නට ලැබුණ ද, ලොව වටා සෑම කලාපයකම ජනප්‍රිය ක්‍රීඩාවක් වන හොකී ක්‍රීඩාවෙන් එවැනි සන්ධිස්ථානයක් පසුකිරීම දුලබ කරුණකි.

එකල ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාව කෙතරම් මට්ටමක වීද යත්, ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කරන ලද්දේ පිළිවෙළින් ඉන්දියානු සහ පාකිස්තානු පුහුණුකරුවන් වූ J. සිං සහ මොහමඩ් ටාසිෆ් විසිනි.

එමෙන්ම ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ඉන්දියානු ක්‍රීඩක V. J. පීටර් වැන්නන්ගෙන් ගුරුහරුකම් ලැබීමට පවා රංජිත් වාසනාවන්ත විය. ලෝක කුසලාන තරගාවලිය ද නියෝජනය කළ ඉන්දියානු Right inside forward ක්‍රීඩක පීටර්, රංජිත්ගේ ප්‍රියතම ජාත්‍යන්තර ක්‍රීඩකයායි. ඔහු පෞද්ගලිකවම රංජිත් හට උපක්‍රමික කරුණු තෑගි කළ බව සඳහන් ය. රංජිත් ද Right inside forward ක්‍රීඩකයෙකි.

Courtesy – stick2hockey
Caption – 1966 ආසියානු හොකී කුසලාන දිනූ ඉන්දියානු කණ්ඩායම. V.J.පීටර්ව රතු පැහැයෙන් විශේෂ කොට ඇත.

ඔහුගේ සහෝදරියන් තිදෙනා සහ සහෝදරයන් දෙදෙනා ද ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම නියෝජනය කළ අය විය. නම්වලින්, හර්බට්, ඩග්ලස්, චන්ද්‍රා, මානෙල්, සුජාතා සොයුරු සොයුරියන් එකම ක්‍රීඩාවකින් ජාතික කණ්ඩායම් නියෝජනය කිරීම විශේෂ සිදුවීමක් නොවන්නේ ද? මේ අතුරින් හර්බට් විජේකෝන් ක්‍රීඩා රැසක විශේෂ දස්කම් පෑ අයෙකු වන බැවින් ඔහු ගැන වෙනත් ලිපියකින් සොයා බැලීම වටියි.

රංජිත් විජේකෝන් රාජ්‍ය සේවයට බැඳීමෙන් පසු රාජ්‍ය සේවා හොකී කණ්ඩායම ද නියෝජනය කළේය. 1971 සිට 1974 දක්වා රාජ්‍ය සේවා හොකී කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඔහුයි.

එමෙන්ම 1972දී ජනරජයක් වන්නට පෙර සිලෝන් ලෙස හැඳින්වූ ප්‍රෞඪ රාජ්‍යයක් වූ කාලයේ දී ද, ශ්‍රී ලංකාව ලෙස නම් වෙනස් කර ගත් පසු ද ජාතික හොකී කණ්ඩායමේ රංජිත් විජේකෝන් නාමය බැබළුණි. සිලෝන් කණ්ඩායමේත්, ශ්‍රී ලංකා කණ්ඩායමේත් ඔහු වැදගත් පුරුකක් විය. ඔහු විසින් වාර්තා කර ඇති ජාත්‍යන්තර ගෝල ගණන 53ක් යැයි සඳහන් වේ.

කියවා බලන්නට එතරම් වාර්තා රහිත වූවද, රංජිත් විජේකෝන් වැනි ලෝක ප්‍රකට වූ ශ්‍රී ලංකා ක්‍රීඩා විරුවන් ගැන සොයා බැලීමේ වැදගත්කම තහවුරු කරනු වස් මෙවැනි ලිපි ප්‍රසිද්ධ කළ යුතුය. වත්මන් හොකී ක්‍රීඩකයන්ට තමන් පැවත එන්නේ කුමන ආකාරයේ විකුම් පෑ පරපුරකින් දැයි දැනුවත් වීමට ද ඔවුන් මෙය අවස්ථාවක් කර ගනු ඇතැයි සිතමි.

විජේකෝන් පවුලේ කැපී පෙනෙන හොකී ක්‍රීඩකයා ලෙස රංජිත් විජේකෝන් ගැන සටහන් තබන අතර එම පරපුරේ හොකී දස්කම් තවත් පුළුල් ව විහිද ඇති බැව් ද සටහන් කළ හැකිය. රංජිත්ගේ බිරිඳ, පුෂ්පා විජේකෝන් ද ජාතික හොකී ක්‍රීඩිකාවකි. ඔවුන්ගේ දියණියන් දෙදෙනා වූ නිලූකා සහ නදීරා ද ජාතික හොකී ක්‍රීඩිකාවන් ය. හොකී ක්‍රීඩාව ඔවුන්ගේ ජාන තුළ තැන්පත්ව ඇති බැව් පැහැදිලි කරන්නට තවත් කරුණු අනවශ්‍ය ය.

ඉතිහාසය ප්‍රෞඪ ය. ඒ ප්‍රෞඪ ඉතිහාසය මෙතැන් සිට වසර 2500කට එහා දී පමණක් නොව, 1948 නිදහස ලැබූ පසු ද, 1972 ජනරජයක් වූ පසු ද එක ලෙස ප්‍රෞඪ ය. ඒ රංජිත් විජේකෝන් වැන්නවුන්ගේ සුපිරි දස්කම් නිසා ය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් නිදහසින් පසු ද වැජඹුණේ එලෙස ය.

එතැනින් පසුව සිදු වූ බොහෝ සමාජ පෙරළිවලින් පසුව අපට ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. ඒ ස්වල්පයෙන් රංජිත් විජේකෝන් වැන්නන් නිර්මාණය වේවි ද යන සැකය ඇතත්, යහපත් බලාපොරොත්තු කිසිදා නොමැකිය යුතුය.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<