තිස් අවුරුදු UFC ලෝකය වෙනස් කළ හැටි

384
Evolvement of the UFC

ආරම්භයේ දී ඔවුහු සෑම දෙසින්ම පැමිණියහ. තරගයක් වෙනුවෙන් සටන්කරුවෙකුට ගෙවූ මුදල ඇමරිකානු ඩොලර් 1000කි.

එය මේ වන විට එය ලොව ජනප්‍රියම සටන් ක්‍රීඩා ඉසව්වලින් එකකි. අවදානම ගැන සැලකුවහොත් 100%ක අවදානමක් ඇති ත්‍රාසජනක ක්‍රීඩාවකි. UFC, නැතහොත් Ultimate Fighting Championship අද පවතින තත්වයට පැමිණීමට පෙර මාරාන්තික මෙන්ම ජුගුප්සාජනක විය.

වේදිකාව අටාස්‍රයකි. සපා කෑම සහ ඇස්වලට ඇනීම තහනම් වුවත්, වෘෂණ කෝෂවලට හැරෙන්නට අන් ඕනෑම ශරීරාංගයකට පහර දීමේ අයිතිය ක්‍රීඩකයන් සතු විය. සටන්කරුවෙකුට වැලමිටින් ප්‍රතිවාදියාගේ හිස් මුදුන පැලීමට වුව හැකි විය. බෙල්ලෙහි පසුපසට වැලමිටි ඇනුම් කළ හැකි විය. හිසින් හිසට පහර දිය හැකි විය. බිම වැටී සිටින ප්‍රතිවාදියෙකුට වුව දණින් ඇනීමට හැකි විය. දණින් වැටී සිටින ප්‍රතිවාදියෙකුගේ හිසට පා පහරවල් එල්ල කළ හැකි විය.

පළමු UFC රාත්‍රියේ දී සටන් වැදුණු Zane Frasier (සේන් ෆ්‍රේසියර් – R) සහ Kevin Rosier (කෙවින් රෝසියර් – L)

මේ සියල්ලට අමතරව, එකල සටන්කරුවන් අත් වැසුම් භාවිත නොකළේය. එනම් සටන්කරුවන්ගේ මුහුණුවල පතිත වුනේ අවම වශයෙන් වෙළුම් පටි වලින් වත් ආවරණය නොවූ මිටිකළ අත් ය. ඒ අවදානමෙහි ප්‍රමාණය ජීවිතයක් වුව විය හැකිව තිබුණි. එහෙත් ඒ අවදානම ද දෙගුණ කළේ එකල සටන්කරුවන්ගේ බර පන්ති පිළිබඳ එතරම් අවධානයක් නොදැක්වීමයි.

ආරම්භයේ දී සුමෝ ක්‍රීඩකයින්, බොක්සිං ක්‍රීඩකයින්, කරාටේ ශූරයන්, මල්ලව පොර ක්‍රීඩකයන්, වීදි සටන්කරුවන් පවා එය නියෝජනය කළේය. ඇතැම් විට කායවර්ධන මධ්‍යස්ථානයේ වැඩි කාලයක් ගත කළ පුෂ්ටිමත්, හැඩිදැඩි තරුණයෙකු වීම පමණක් තරග රාත්‍රියකට සහභාගී වීමට ප්‍රමාණවත් විය. ජයග්‍රහණය කරන්නාට ලැබුණු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 50,000ක් විය.

එතෙක් වෘත්තීය බොක්සිං ක්‍රීඩාව විසින් දිනාගෙන තිබුණු “සටන් ක්‍රීඩා මූල්‍යමය ආධිපත්‍යයට” වසර කිහිපයක් තුළ දී යම් අයුරකින් අභියෝග කරන්නට UFC තරග සංවිධායකයන්ට හැකි විය.

ලොව සටන් ක්‍රීඩා අතරින් හොඳම සටන් ක්‍රීඩාව කුමක්දැයි යන ගැටලුව වසර ගණනාවක් තිබූ ගැටලුවකි. එමෙන්ම සටන් කලාවක කෙළ පැමිණි ක්‍රීඩකයන් වෙනත් සටන් කලාවක කෙළ පැමිණියන් සමඟ උරෙනුර ගැටීම සිදු නොවූවකි. UFC යනු ප්‍රේක්ෂකයන්ට විවිධ සටන් කලා වල ශක්තීන් සහ දුර්වලතා උරගා බැලීමට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

සාමාන්‍යයෙන් එක් සටන් ක්‍රීඩාවක සුරුවෙකු වූ පමණින් 100%ක් සම්පූර්ණ සටන්කරුවෙකු වීමට නොහැකිය. පළමු UFC සටන් රාත්‍රිය ඒ පිළිබඳ සාක්ෂියක් විය. එතැන් සිට සියලු සටන් කලා මිශ්‍ර කොට තැනූ මිශ්‍ර සටන් කලා, නැතහොත් MMA (Mixed Martial Arts) යන විෂය පුළුල් විය. ඒ පිළිබඳ විශේෂ ගෞරව හිමි විය යුත්තන් ඇත.

Art Davie (ආට් ඩේවි) සහ Rorian Gracie (රෝරියන් ග්‍රාසි) 1993 නොවැම්බර් 12 වැනිදා තැබුවේ දැවැන්ත යුගයක පළමු පියවරයි. ඔවුනට අවශ්‍ය වුනේ සජීව සටනක දී වඩාත් සඵලදායි සටන් ශෛලිය කුමක් දැයි අත්හදා බැලීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් විසින් තැනූ වේදිකාව Ultimate Fighting Championship (UFC) නම් විය.

පළමු UFC රාත්‍රියේ දී සටන් වැදුණු Gary Goodridge (ගැරී ගුඩ්රිජ් – R) සහ John Campetella (ජෝන් කැම්පටෙලා – L)

එතැන් සිට තිස් අවුරුද්දක් ගෙවී ගොසින් ය. 2023 වසරේ දී UFC විසින් එහි 30 වැනි උපන්දිනය සමරනු ලබයි. වයස අවුරුදු 30 යනු, මිනිසෙකු ජීවිතාද්දැකීම් තුළින් පරිණත වීම ආරම්භ වන වසර යැයි කිව හැකිය. එහෙත් තිස් අවුරුදු UFC මිනිසා නිර්මාණය කරන කාලයේ දී ඩේවි සහ ග්‍රාසි එතරම් දුර නොසිතන්නට ඇති.

තමන් ඊට අදහස ඇති කර ගත්තේ Pankration (පැන්ක්‍රේෂන්) නම් පුරාණ ග්‍රීක සටන් ක්‍රීඩා උළෙලෙන් බව ආට් ඩේවි පවසා ඇත. සපා කෑම සහ ඇස් උගුල්ලා දැමීම හැර ඕනෑම උපක්‍රමයක් එහි දී නීත්‍යනුකූල විය.

වසර 1041කට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියූ එම උළෙල රෝම අධිරාජ්‍යය විසින් තහනම් කරනු ලැබිණි. එහෙත් එවන් අතීතයක් ගැන 1993 නොවැම්බර් 22 වැනිදා

ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ McNichols Sports Arena වෙත පැමිණි කිසිවෙකුට අදහසක් නොතිබෙන්නට ඇත.

1996 දී UFC තරගයක් නරඹමින් ඇමරිකානු සෙනෙට් සභික John McCain (ජෝන් මැකේන්) පැවසුවේ එය “මිනිස් කුකුල් පොරයක්” බවයි. ඒ වන විට UFC වලට පිළිගත් ක්‍රීඩා ආයතනයක් හෝ අවසරයක් නොතිබුණි. බර පන්ති නැත. ඇඳුම් පැලඳුම් ගැන නිසි ප්‍රමිතියක් ද නොතිබූ අතර එක දිගට රැඳී සිටින අනුග්‍රාහකයන් ද නොසිටියේය. ජෝන් මැකේන් ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුකාරවරු 50 දෙනාටම ලිපි යවමින් ඉල්ලා සිටියේ UFC තම තමන්ගේ ප්‍රාන්ත තුළ තහනම් කරන ලෙසයි.

ඒ හේතුවෙන් UFC වලට ලැබුණු මාධ්‍ය ඉඩකඩ සීමා විය. මුදල් ගෙවා නැරඹිය යුතු කේබල් රූපවාහිනී වලින් UFC සම්පූර්ණයෙන්ම ඉවත් විය. ප්‍රාන්ත 36ක් UFC තහනම් කළ අතර නිව්යෝක් නුවර දී පැවැත්වීමට නියමිතව තිබූ UFC 12 තරග රාත්‍රිය දා නිව්යෝක් වල ද UFC තහනම් විය. ප්‍රවර්ධකයන්ට බලවත් පරිශ්‍රමයක් යොදා එම ඉසව්ව ඇලබාමා ප්‍රාන්තය වෙත රැගෙන යන්නට සිදු විය.

වටපිටාවෙන් ලැබුණු ඒකාකාරී පීඩනය මත UFC අධෛර්ය වූවා නොව, ධෛර්යමත් විය. ක්‍රීඩාව හා සම්බන්ධ බලධාරි ආයතන සමඟින් එකඟතා ඇති කරගන්නට UFC සංවිධායකයන් කටයුතු කළේය. බර පන්ති නියම විය.

UFC 14 වන විට බර පන්ති නියම වීමට අමතරව ප්‍රමිතිගත අත් වැසුම් භාවිතය පැමිණි අතර හිසකෙස් ඇදීම, ඉකිලි වලට පහර දීම, හිසින් හිසට පහර දීම, බිම වැටී සිටින ප්‍රතිවාදියෙකුට පා පහර එල්ල කිරීම තහනම් විය. UFC 21 සිට මිනිත්තු 5 බැගින් වූ වට 3ක් ලෙස තරග පැවැත්වීම ආරම්භ විය.

2000 වසරේ දී ජාත්‍යන්තර මිශ්‍ර සටන් කලා බලධාරීන්ගෙන් පූර්ණ අවසරය ලැබුණු අතර නිව් ජර්සි ප්‍රාන්ත මලල ක්‍රීඩා පාලනාධිකාරිය විසින් UFC සඳහා පූර්ණ අවසරය ලැබී UFC 28 වන විට එය ක්‍රීඩා ඉසව්වක් වශයෙන් පිළිගැනීමට පත්විය. එහෙත් එක් ගැටලුවක් පැන නැගිණි.

කලක් පුරා පාලනාධිකාරීන් සමඟ පොර බදන්නට සිදු වී තිබීම නිසා ඒ වන විට UFC මූල්‍ය වශයෙන් බංකොලොත් වෙමින් තිබුණි. වත්මන් UFC සභාපති Dana White (ඩානා වයිට්) ප්‍රමුඛ Dana White Enterprises ඒ වන විට ලොව ජනප්‍රිය මිශ්‍ර සටන් කලා සටන්කරුවන් වූ Tito Ortiz (ටිටෝ ඔර්ටිස්z) සහ Chuck Liddell (චක් ලිඩෙල්) යන දෙදෙනාගේ කළමනාකාරිත්වය දරන අතරම තවත් සුළු ව්‍යාපාර කිහිපයක නියැලෙමින් සිටියේය. ඔහු කඩාවැටෙමින් තිබූ UFC පිළිබඳ සිය දෑස් යොමු කළේ ඒ කාලයේ දීයි.

UFC සභාපති ඩානා වයිට්

හිටපු නෙවාඩා මලල ක්‍රීඩා කොමිසාරිස්වරයෙකු වන තම මිතුරු Lorenzo Fertita (ලොරෙන්සෝ ෆර්ටිටා)ව ඇමතූ ඩානා ඔහුට ඒ කාර්යය භාර දුන්නේය. මාසයක් වැනි කාලයක දී ඩොලර් මිලියන 2ක පමණ මුදලකට UFC මිල දී ගැනීමට ඔවුන් සමත් විය. ඩානා සභාපති විය.

එතැනින් පසුව බිහි වූයේ UFC හි සටන්කරුවන් තරු වූ යුගයයි. Mark Coleman (මාක් කෝල්මන්), Andrei Arlovski (අන්ද්‍රේ ආර්ලොව්ස්කි), Tito Ortiz, Chuck Lidell, Randy Couture (රැන්ඩි කුටූර්), Wanderlei Silva (වැන්ඩර්ලෙයි සිල්වා) ආදී සටන්කරුවන් ඒ යුගය නිමැවූවන් ය.

එතැන් සිට මිශ්‍ර සටන් කලා ක්‍රීඩාවම දියුණු විය. වීදි සටන් හැකියාව පමණක් තරග රාත්‍රීන් වල සටන් වැදීමට ප්‍රමාණවත් නොවීය. මුෂ්ටි සටන්, පා සටන්, මල්ලව පොර සටන්, බිම හිඳ කරන සටන් යන සියලු අංශ ගැන අවධානය යොමු කිරීම ශ්‍රේෂ්ඨ සටන්කරුවෙකු වන්නට නම් අත්‍යාවශ්‍ය විය. තරගකාරීත්වය ඉහළ යැමත් සමඟ මුළු ක්‍රීඩාවම ඉහළ ගියේය. ක්‍රීඩාව ඉහළ යත්ම ව්‍යාපාර සහ මූල්‍ය තත්වය ද ඉහළ ගියේය.

කාන්තාවන්ට UFC වේදිකාව විවෘත කිරීම ද ඩානා වයිට්ගේ ව්‍යාපාරික සැලසුම් වල වැදගත් අංගයක් විය. 1997 දී Becky Levi (බෙකී ලීවී) සහ Betty Faganගේ (බෙටී ෆැගන්) සටනින් ආරම්භ වූ කාන්තා UFC තරග එතරම් ජනප්‍රිය නොවූවත් ඩානාගේ පාලනය යටතේ අවස්ථාව ලද Gina Carano (ජීනා කරානෝ), Cris Cyborg (ක්‍රිස් සයිබෝර්ග්), Miesha Tate (මීෂා ටේට්), Cat Zingano (කැට් සින්ගානෝ) ජනප්‍රියත්වයට පත්විය.

එහි හැරවුම් ලක්ෂ්‍යය Ronda Rouseyගේ (රොන්ඩා රෞසි) පැමිණීමයි. ඇගේ දස්කම් වලට වඩා ඇයව ප්‍රවර්ධනය කිරීම මඟින් ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට ඩානා සමත් විය.

Anderson Silva (ඇන්ඩර්සන් සිල්වා), Georges St. Pierre (ජෝජ් සෙන්ට් පියේර්) වැනි වෘත්තීය ක්‍රීඩකයන් එක්ව වේගයෙන් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන අතර අනෙකුත් වෘත්තීය ක්‍රීඩා සෑම එකක්ම මෙන් මිශ්‍ර සටන් කලා වලට ද දක්ෂ පුහුණුකරුවන්, අභ්‍යාසකවරුන්, පෝෂණවේදීන්, මනෝ වෛද්‍යවරුන් සහ කළමනාකරුවන් අවශ්‍ය විය. එබැවින් එය මිශ්‍ර සටන් ක්‍රීඩාවේ සෑම අංගයක්ම ඉහළට එසවූවේය.

UFC කළ වෙනස නිසා මේ වන විට නිවේදකයන් සහ සටන් විස්තර විචාරකයන් ද ඉදිරියට පැමිණීමේ ප්‍රවණතාවක් ඇත. Bruce Buffer (බෲස් බෆර්), Joe Rogan (ජෝ රෝගන්) පිළිවෙළින් ලොව ජනප්‍රිය නිවේදකයෙකු සහ විස්තර විචාරකයෙකු වේ. ජෝ රෝගන්ගේ වචනවලින්ම කිවහොත්, “බොක්සිං යනු යනු මුෂ්ටි ප්‍රහාර එල්ල කිරීමේ කලාවයි. මිශ්‍ර සටන් කලා යනු සටන් කිරීමේ කලාවයි”.

සියලු සටන් ක්‍රීඩා අතරින් මුදල් උතුරන ක්‍රීඩාව තවමත් වෘත්තීය බොක්සිං ක්‍රීඩාවයි. එහෙත් UFC, බොක්සිං ක්‍රීඩාව මෙන්ම මූල්‍යමය ශක්තිය ගොඩනගාගනිමින් සිටියි. ප්‍රාසාංගික මල්ලවපොර (WWE) ඉක්මවා යමින් සිටියි. සියලු සටන් ක්‍රීඩා එකම වේදිකාවක දක්වන්නට අවශ්‍ය වටාපිටාව සකසමින් සිටියි.

මේ වන විට බොක්සිං ක්‍රීඩාවට ඇති මූලිකම සටන ඇත්තේ UFC සමඟිනි. Conor McGregor (කොනර් මැක්ග්‍රෙගර්) වැනි මිශ්‍ර සටන් කරුවන්ට Floyd Mayweather (ෆ්ලොයිඩ් මේවෙදර්) වැනි බොක්සිං ක්‍රීඩකයන්ට එරෙහිව මුදල් පිරුණු සටන් වල නියැලිය හැකි මට්ටමට UFC පැමිණ ඇත.

Floyd Mayweather (ෆ්ලොයිඩ් මේවෙදර් – L) සහ Conor McGregor (කොනර් මැක්ග්‍රෙගර් – R) අතර බොක්සිං සටන.

මේ වන විට බොක්සිං ක්‍රීඩකයන්ට තරම් ම නොවූවත් UFC ක්‍රීඩකයන්ට ගෙවන වැටුප් සහ ත්‍යාග මුදල් ද නොකඩවා ඉහළ යමින් පවතින අතර ලොව සෑම අස්සක් මුල්ලක් නෑරම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවීම ද දක්නට ලැබේ. එය ක්‍රීඩාවක් වශයෙන් දියුණු විය හැකි උපරිම මට්ටමට ළඟා වී සිටියි. Punching (මුෂ්ටි පහරවල්), Kicking (පා පහරවල්), Grappling (පොර බැදීම්), Takedown (බිම හෙළීම්), Submission (ශරීර ගැට දැමීම්) යන සටන් ක්‍රීඩා වල සියලු මූලිකාංග නවීන වූයේ UFC වල තල්ලුවෙනි.

මෙතැනින් ඉදිරියට UFC කෙතරම් දුරකට වෙනස් වේවිදැයි අපි නොදනිමු. එහෙත් එය ලොව ප්‍රබල ක්‍රීඩා ඉසව්වක් ලෙස තව තවත් ජනප්‍රිය වනු ඇති බව නම් නිසැක ය.

අවසන් වශයෙන් කිව හැක්කේ, ලොව සටන් ක්‍රීඩා අතුරින් හොඳම සටන් ක්‍රීඩාව එකක් වනවාට වඩා, සියලු සටන් ක්‍රීඩා වල එකතුවක් වීම බලවත් බව ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<