“මට ලකුණු ලබාගන්න ලොකු ලෝබකමක් තිබුණා” – මාවන් අතපත්තු

757

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන Marvan Atapattu විසින් The Cricket Monthly සමඟ එක්වෙමින් ඔහුගේ ද්විත්ව ශතකයන්, පුහුණුකරුවෙකු ලෙස ඔහු අනුගමනය කරනු ලබන දර්ශනය සහ ඔහුගේ ක්‍රිකට් දිවිය පුරාවට අනෙක් විශිෂ්ට ක්‍රීඩකයින් සමඟ ඔහුගේ ඇති මතකයන් පිළිබඳව අදහස් දක්වා ඇත. 

“සනත් ජයසූරිය සමඟ පිතිකරණයේ යෙදෙන එක මට ගොඩක් ලේසි වුනා. මොකද ප්‍රතිවාදී කණ්ඩායම් හැමතිස්සේම ඔවුන්ගේ අවධානය යොමු කළේ සනත් ගැන. ඒ නිසා මාව දවා ගන්නවාට වඩා ඔවුන් උත්සාහ කළේ සනත්ව දවා ගන්න සහ ඔහුව සීමා කරන්න. මොකද සනත්ට ලොකු හැකියාවක් තිබ්බා ගොඩක් ඉක්මනින් ප්‍රතිවාදීන්ගෙන් තරගය උදුරගන්න. 

මම ඒ මගේ ද්විත්ව ශතකයන් වාර්තා කළේ කොහොමද කියලා හැරිලා බැලුවම ඒවාට හේතු කිහිපයක් ඉවහල් වුනා. පළවෙනි එක තමයි පිතිකරණය වගේම පිටිය තුළ කඩුල්ලේ ගත කරන කාලය හොඳ විනෝදයෙන් ගත කිරීම. අනිත් එක තමයි මගේ ලෝබකම. මොකද මම ජාතික කණ්ඩායමේ මගේ ක්‍රිකට් දිවිය ආරම්භ කරපු කාලේ මම අවස්ථාවන් ගොඩක දී ලකුණු නොලබාම දැවී ගිය නිසා පසුව යම්කිසි ආරම්භයක් ලබාගත්ත හැම අවස්ථාවක දී ම මට හිතුණා ඒකෙන් මම උපරිම ප්‍රයෝජනය ලබා ගන්න ඕන කියලා. 

ඕනම පුහුණුකරුවෙක්ට තමන්ගේ ප්‍රබලතාවන් වගේම දුර්වලතාවයන් ද තියෙනවා. ඒත් ක්‍රිකට් ගැන සලකලා බැලුවම මට ගොඩක්ම දේවල් ලබා දීලා තියෙන්නේ Tom Moody. ක්‍රිකට් සහ ඊට අදාළ උපායශීලීත්වය සලකලා බැලුවම හැම පුහුණුකරුවෙක්ටම ඔවුන්ට ආවේණික ප්‍රබලතාවන් තිබුණා. නමුත් කවුරු හරි ක්‍රීඩකයෙකුගෙන් තමන්ට ලබා ගන්න ඕන දේ ලබා ගන්න තිබ්බ හැකියාව අතින් ඔහු අනෙක් අයට වඩා ඉදිරියෙන් ඉන්නවා. 

මගේ ක්‍රීඩා දිවිය අවසන් කරද්දී ටෙස්ට් තරග 90ක දී මගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය තිබුණේ 40යි. ඉදිරිපෙළ පිතිකරුවෙක් විදිහට මගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ගොඩක් හොඳ එකක් නෙමෙයි. අද වගේ බැලුවොත් සාමාන්‍යයෙන් 50ට වැඩි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් තමයි ඉලක්කය වෙන්නේ. නමුත් මම ද්විත්ව ශතක 6ක් වාර්තා කරගත්තත් අන්තිමට මගේ සාමාන්‍ය වුනේ 40. ඒ මම ගොඩක් අවස්ථාවන් වලදී අඩු ලකුණු සංඛ්‍යාවන් ලබා ගත්ත නිසා. 

මම හොඳින් ක්‍රීඩා කරගෙන යද්දී මට තවත් ලකුණු වාර්තා කරගන්න ලොකු ලෝබකමක් ආවා. ඔබ හොඳ රිද්මයක ඉන්නවා නම් සහ ඒ දවස තමන්ගේ කියලා විශ්වාසයක් තියෙනවා නම් එතකොට ඔබ ඒකෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න ඕනේ. 

මගේ වාසනාවකට වගේ පාකිස්තානයට එරෙහිව මම වාර්තා කර ගත්ත ලකුණු 207 ඉනිම අපි ක්‍රීඩා කළේ ගොඩක් අමාරු තණතිල්ලක නෙමෙයි. ඔව්, Waqar Younis, Wasim Akram සහ Mushtaq Ahmed වගේ ප්‍රබල පන්දු යවන්නන් පාකිස්තාන කණ්ඩායමේ හිටියා තමයි. ඒත් ඒ තණතිල්ල පිතිකරණ පාරාදීසයක්. මම හිතන්නේ නැහැ ඔවුන් තණකොළ පොඩ්ඩක්වත් එදා ඒ තණතිල්ලේ දකින්න ඇති කියලා.

මම හිතන්නේ නැහැ මගේ ක්‍රීඩා ශෛලිය අද මේ තියෙන කිසිම පන්දුවාර 20 තරගාවලියකට ගැළපෙයි කියලා. එහෙනම් මම ක්‍රීඩා කරන විදිහ ගොඩක් කම්මැලි වෙන්න තිබුණා. 

ක්‍රීඩකයෙකු විදිහට වුනත් නැත්නම් පුහුණුකරුවෙකු විදිහට වුනත් ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඔබ යම්කිසි තලයකට ආවට පස්සේ ඔබට කණ්ඩායමට ලබා දෙන්න පුළුවන් දෙයක් තමයි ඔබ සතු අත්දැකීම්. මම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණුකරුවෙකු විදිහට කටයුතු කරපු කාලේ මට ඒ අත්දැකීම ලබාගන්න පුළුවන් වුනා. තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වගේ ක්‍රීඩකයෝ ඉන්න කොට මහේල වගේ ක්‍රීඩකයෙක්ට ඔහු පිතිකරණයේ යෙදෙන්න ඕන කොහොමද කියලා කියන එක ගොඩක් අමාරු දෙයක්. නමුත් හැමවෙලේම ඔවුන් එක්ක අපේ අත්දැකීම්, අතීතේ සිදු වුන සිදුවීම් වගේ දේවල් ගැන කතා කරලා ඒ අභියෝග අපි ජය ගත්තේ කොහොමද කියලා කතා කරන්න පුළුවන්. 

සනත් සහ මම එන්නේ එකම ප්‍රදේශයක ඉඳලා. ඒ අපි දෙන්නම දකුණේ. අපි දෙන්නා අවුරුදු 13 ඉඳන් හොඳට අඳුරනවා. 

අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, සහ චමින්ද වාස් වගේ ක්‍රීඩකයින් එක්ක එකට ක්‍රීඩා කරන්න ලැබීම මං ලබපු ලොකුම වාසනාවක්. ඔවුන් හැමතිස්සේම වගේ ඔවුන්ගේ අත්දැකීම් අනෙක් ක්‍රීඩකයෝ එක්ක බෙදා හදා ගත්තා. අපි ලොකු කාලයක් පුරාවට එකට ක්‍රීඩා කරපු කණ්ඩායමක්. මම හිතනවා ක්‍රීඩාලෝලීන්ටත් ඔවුන් ඔවුන්ගේ කණ්ඩායම හොඳට දන්නවා නම් ඒක ගොඩක් හොඳයි කියලා. අපේ ඒ කණ්ඩායම රටේ ජනතාව බලාපොරොත්තු තියාගෙන හිටපු හොඳ එකමුතු කණ්ඩායමක්. ඉතින් අපිට ඒ කාලේ හොඳින් ක්‍රීඩා කරන්න හැකි වුනා. 

ඔබ ලකුණු ලබාගන්න එක හැමවෙලේම ස්ථිර දෙයක් නෙමෙයි. පිතිකරුවෙක් විදිහට ඔබට ස්ථිර අසමත් වීම් මිසක් සාර්ථකත්වය නෙමෙයි.

ඉහළම තලයේ ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියන්නේ අනිත් ඔක්කොටම වඩා ලොකු පීඩනයක්. ඔබට එරෙහිව ක්‍රීඩා කරන කණ්ඩායමෙන් පමණක් නෙමෙයි, අනිත් හැමඅතින්මත් ඒ පීඩනය ඔබට එල්ල වෙනවා. ඒ ක්‍රිකට් ආයතනයෙන් වෙන්න පුළුවන්, මාධ්‍යවලින් වෙන්න පුළුවන්. පුහුණුකරුවෙක්ට සිද්ධ වෙනවා ඒ හැමදෙයක්ම දරාගෙන ක්‍රීඩා කරන කණ්ඩායමට ඒවගෙන් ඕන නැති දේවල් ලබා නොදී ඉන්න. 

මම විශ්වාස කරන්නේ නැහැ පුහුණුකරුවෙක් කණ්ඩායමක් තුළ සම්පූර්ණ වෙනසක් ඇති කරනවා කියලා. ඉහළම තලයේ දී පුහුණුකරුවෙක්ට පුළුවන් දායක වෙන්න යම්කිසි ක්‍රීඩකයෙකුගේ උපරිම දක්‍ෂතාවන් එළියට ගන්න. නමුත් ඔහු නෙමෙයි වෙනස ඇති කරන්නේ. උදාහරණයක් ඉන්න විදිහට ලෝකේ ඉන්න හොඳම පුහුණුකරුවට ලෝකේ ඉන්න දුර්වලම කණ්ඩායම පුහුණු කරන්න දුන්නට ඔහුට බැහැ පසු දිනයේ දී ම ඔවුන්ව ලෝකේ ඉන්න හොඳම කණ්ඩායම බවට පත්කරන්න. ඒ වගේම යම්කිසි කෙනෙක් හොඳයි නම් ඔහු පසු දිනයේ දීම අනිත් අතට නරක කෙනෙක් වෙන්නේ නැහැ. ඒක දෙවිදිහටම අදාළයි.

මම ක්‍රිකට් ක්‍රීඩා කළේ මම ඒ ක්‍රීඩාවට කැමති නිසා. නැත්නම් ආරම්භයේ දී ලකුණු නොලබා පස් වතාවක්ම දැවී ගිය මට ඒ විදිහට අවුරුදු ගාණක් ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නැහැ. 

අද අපි දකින ක්‍රිකට් ක්‍රීඩාව මීට දශක 2-3කට කලින් තිබ්බ ක්‍රිකට් ක්‍රීඩාවට වඩා වෙනස්. අද එක තරගයක් විතරක් කැමරා 30ක් පමණ යොදාගෙන හැම කෝණයකින් ම ආවරණය කෙරෙනවා. හැම දෙයක්ම පටිගත වෙනවා. ඒ වගේම ඒ කමිටුව, මේ කමිටුව කියා කියා කමිටු ගොඩක් තියෙනවා. 

ඔබ ඉහළම තලයට ආවට පස්සේ ඔබ කණ්ඩායමට සහ ඒ පද්ධතියට ඇතුළත් වෙද්දී ඔබට යම්කිසි මානසික ශක්තියක් ලබා දීම අවශ්‍ය වෙනවා. ඒක ගොඩක් වෙලාවට සිදු කරන්නේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්.

අර්ජුන රණතුංග කියන්නේ නායකත්වයටම ඉපදුණ පුද්ගලයෙක්. මම දන්නේ නැහැ ඔහු කණ්ඩායමට නායකත්වය දුන්න සහ කණ්ඩායම කළමනාකරණය කරපු ආකාරයත් එක්ක වර්තමානයේ නම් ඔහු කොහොම රැඳී සිටියි ද කියලා. නමුත් ඔහු නියම නායකයෙක්. ඔහු ඔහුගේ දක්‍ෂතාවලින් සහ තරග අවසන් කරමින් තමයි අනෙක් ඇයගේ ගෞරවය දිනා ගත්තේ. ඒ කාලේ සමහර විට Javed Miandadට පස්සේ හිටපු හොඳම තරග අවසන් කරන්නා තමයි ඔහු. 

සමහර රටවල්වල දී ගමන් කරද්දී අපිට ඒ සැහැල්ලුව ලැබෙනවා. ඒ ඒ මිනිස්සු, ඔවුන්ගේ මිත්‍රශීලීකම සහ ආගන්තුක සත්කාර වගේ දේවල් එක්ක. ඒකෙන් කියවෙන්නේ නැහැ අනිත් රටවල්වල අපි අමාරුවෙන් හිටියා කියලා. නමුත් සංස්කෘතිය එතැන දී යම්කිසි වෙනසක් සිදු කරනවා. ඒ වගේම තණතිල්ලත් (සිනහ වෙමින්). උදාහරණයක් විදිහට Mohali වල තණතිල්ල දැක්කම අපිට හිතෙනවා අපිට ඕන මේක තමයි කියලා. ඒ වගේ තණතිල්ලක කිසිදු අපහසුතාවයක් නැතුව කෙළින් හොඳට ‘drive’ පහරක් වුනත් එල්ල කරන්න පුළුවන්.

Dav Whatmore කියන්නේ මට ගොඩක් වටින උපදෙස් දුන්න, මාත් එක්ක කතා කරමින් මට තිබ්බ පීඩනය නිදහස් කරපු මගේ පිතිකරණය දියුණු කරගන්න උදව් කරපු පුහුණුකරුවෙක්. මගේ ක්‍රිකට් දිවියේ අනෙක් හැම පුහුණුකරුවෙක් වගේම ඔහු යටතේත් ක්‍රීඩා කරන්න ලැබීම මං ලබපු ලොකු වාසනාවක්. 

මම සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරද්දී Davගේ දෙවැනියා විදිහට තමයි කටයුතු කළේ. මට හිතෙන විදිහට අපේ ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ තියෙන සංස්කෘතිය අනෙක් රටවල්වලට වඩා වෙනස්. ඒ කාලේ දී සිම්බාබ්වේ කණ්ඩායම දක්‍ෂතා අතර සිටියේ නැහැ. අපේ කලාපයේ රටවල්වල වගේ කණ්ඩායම් හැඟීම කියන එකත් එච්චර හොඳට ඔවුන්ගේ වැඩ කළේ නැහැ. මම එහේ දී මම ඊට කලින් වැඩ කරපු අනෙක් කණ්ඩායම්වල තියෙන දේවල් දැක්කේ නැහැ. 

සංගක්කාරට අවශ්‍ය නම් Graeme Swann හමුවේ ‘sweep’ පහරක් එල්ල කරන්න ඔහු ‘nets’ වලදී හැම පිට දඟපන්දු යවන්නෙක් හමුවේම ‘sweep’ පහරවල් එල්ල කරනවා. එතකොට ඒක හරහා ඔහුට මූලික අවබෝධයක් ලැබෙනවා ඔහුගේ කකුල හරියටම පිහිටන්න ඕන කොහේද සහ පහර එල්ල කරද්දී හරියටම ඔහුගේ පිත්ත පහළට එන්න ඕන කොහොමද කියලා. 

මගේ කාලේ මම මුහුණ දුන්න හොඳම දඟපන්දු යවන්නා Shane Warne. ඒ වගේම තවත් පිට දඟපන්දු යවන්න කිහිප දෙනෙක්ම හමුවේ ක්‍රීඩා කිරීම මට අපහසු වුනා. මම පිට දඟපන්දු යවන්නන්ට මුහුණ දෙන්න එච්චර කැමති පිතිකරුවෙක් නෙමෙයි. Harbhajan Singhගේ සිට Saqlain Mushtaq දක්වා පන්දු යවන්නන් හමුවේ මගේ පිතිකරණ වාර්තා තුළින් ඒ බව පැහැදිලි වෙන්නේ.  

මගේ කාලේ හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩක් කල් එකට ක්‍රීඩා කළා. ඒක සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, රොෂාන්, අරවින්ද, අර්ජුන සහ මගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. ඕන කෙනෙක් දන්නවා ඒ කණ්ඩායම. ඕන නම් ඔබ ඉන්දියානු ජාතිකයෙකුගෙන් අහන්න ඒ කාලේ අපේ හිටපු කණ්ඩායම. ඔහු කියයි නම් ටික. අද අපි දකින කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ 3-5 දෙනෙක් විතර ගොඩක් වෙලාවට ඊළඟ තරගයේ දී කණ්ඩායමේ නැහැ. මට විශ්වාසයි ඒක ඒ ක්‍රීඩකයින්ටත් ගොඩක් අමාරු දෙයක් කියලා. ඒක ක්‍රීඩාලෝලීන්ටත් අමාරු දෙයක් (සිනහ වෙමින්) සහ හිටපු ක්‍රීඩකයින්ට පවා බලන් ඉන්න අමාරු දෙයක්.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ මම පැහැදිලිවම සිදු කරන්න හිටපු දෙයක් තමයි මගේ පවුල සමඟ කාලය ගත කරන එක ඒක තමයි දැන් මම කරන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයින් විදිහට ගොඩක් වෙලාවට ගෙදරින් පිට තමයි ඉන්න වෙන්නේ. නිතරම හෝටල්වල සහ ගුවන් යානාවල රටින් රටට යමින්. නමුත් ගෙදර ඉන්න එක, ගෙදර රියදුරා විදිහට කටයුතු කරන එක, පවුලේ අයව වාහනේ ගිහින් දාන එක වගේම ගිහින් ගන්න එක සහ මගේ දුවෙකුට දවල් කෑම එක අරන් යන එක වගේ දේවල් තුළින් මම අනිත් හැමදේකටම වඩා ලොකු විනෝදයක් ලබනවා. 

මට ඕන නැහැ කවුරුත් මට අහංකාරයි කියනවා අහන්න. සමාජ ජීවිතය අතින් මම මුත්තයියා මුරලිදරන් කෙනෙක් නෙමෙයි. මුරලි ඒ අතිනුත් සැබෑම වීරයෙක්. ඔහු නිකන්ම ගිහින් මිනිස්සු එක්ක කතා කරාවි. නමුත් මට ඒකට උත්සාහයක් දරන්න වෙනවා. ඒ විදිහට එච්චර සමාජශීලී නොවෙන එක හොඳ දෙයක් නෙමෙයි. මම මගේ දරුවන්ට එහෙම වෙන්න අවවාද කරන්නේ නැහැ. 

අපි 90 දශකයේ දී දැක්ක ඒ ක්‍රීඩාවට තිබ්බ ළැදියාව, හැඟීම සහ අභිමානය අද දකින්න ලැබෙන්නේ නැහැ. ලෝකය පුරාවට ගොඩක් ලීග් තරගාවලි තියෙන පසුබිමක ඔබේ පක්‍ෂපාතීත්වය තියෙන්නේ කොහේද? ඒ Mumbai Indians සතුව ද? නැත්නම් ශ්‍රී ලංකාව සතුව ද? ඒක හැමවෙලේම හරිම ප්‍රශ්න සහගතයි නේද? හරියට ඒක නිකන් පාපන්දු ක්‍රීඩකයෙකුගේ වගේ. 

තවත් කියවන්න;

දිනය අවසානයේ ඔබට මිතුරන් සිටිය යුතුමයි. වැඩිපුර ඉන්නවා නම් ඒක වඩාත් හොඳයි. ඔබට තීරණය කරන්න පුළුවන් ඔබ මිතුරන් සමඟ කරන්නේ මොනවා ද සහ ඔබ ආශ්‍රය කරන්නේ කවුද කියලා. ඒ තෝරාගැනීම ඕනෙම වෙලේක ඔබ සතුව තියෙනවා. නමුත් ඔබට මිතුරන් සිටිය යුතුමයි. 

තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කරන කොට උදාහරණයක් විදිහට ඉන්දියාවට එරෙහිව වගේ නම් ක්‍රීඩා කරන්නේ ඔබ තුළ පොඩ්ඩක් අධිමානයක් තිබිය යුතුයි. නමුත් ඔබ ඒ සමහරක් ක්‍රීඩකයින් සමඟ වෙනත් පන්දුවාර 20 තරගාවලියක එක කණ්ඩායමේ ක්‍රීඩා කරනවා නම් ඒ තරගකාරීත්වය ස්වාභාවිකවම එන්නේ නැහැ නේද? මොකද එතකොට ඔබ මගේ මිතුරෙක්. ඒකට ක්‍රීඩකයින්ට වැරැද්ද පවරන්න බැහැ. ඔව්, ක්‍රිකට් ක්‍රීඩාවට වෙනසක් අවශ්‍ය වෙලා තිබුණා තමයි. පන්දුවාර 20 තරග, පන්දුවාර 10 තරග මේ හැමදෙයක්ම හොඳයි. නමුත් ඒවා හරහා අපිට නැතිවෙච්ච එක දෙයක් මේක.

2007 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට කලින් ඉන්දියාවේ දී තිබ්බ තරග 6කින් සමන්විත තරගාවලියක දී චාමර සිල්වාට අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරන්න අවස්ථාව හදලා දෙන්න මට පිතිකරණය ආරම්භ කරන්න කියලා කිව්වා. ඔහු එහි දී Visakhapatnam හිදී ශතකයක් වාර්තා කරගත්තා. පස්සේ අපි ලෝක කුසලානයට ගියා. එතකොට තිබ්බ පුහුණු තරගයක දීත් මට උපුල් තරංග සමඟ තරගයක් ආරම්භ කරන්න කිව්වා. ඔහු එහි දී ශතකයක් වාර්තා කරගන්න ගොඩක් ආසන්නයටත් ආවා. ඉතින් කොහොම හරි චාමරට තමන්ගේ ස්ථානය දුන්න මට අවස්ථාව නැති වෙලා ගියා. 

මම හිතනවා 2006 දී ලෝක කුසලානය සඳහා කණ්ඩායම තෝරන්න මම කළමනාකාරිත්වය සමඟ කටයුතු කළාට පස්සේ ඔවුන් මට සාධාරණයක් ඉටු කළේ නැහැ කියලා. කවුරුත් මට ඇවිත් කතා කළේ නැහැ. මම හිතන්නේ ඔවුන්ට මම එළියේ ඉන්නේ ඇයි කියන එකට හේතුවක් දෙන්න බැරිවුණා. මම විශ්වාස කරනවා ඇවිත් මට කතා කරන්න තරම් ඔවුන්ට ධෛර්යයක් තිබුණේ නැහැ කියලා.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<