වේගපන්දුවෙන් විකුම් පෑ අසමසම ‘මැකෝ’

163

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු බලඇණියක සිටි උසින් අඩුම ක්‍රීඩකයා ඔහු වන්නට පුළුවන. ඔහුගේ උස යාන්තම් අඩි පහයි අඟල් නමයක් පමණ විය. නමුත් අවිවාදයෙන්ම කොදෙව් යකඩ රෑණේ සිටි විශිෂ්ටතම පන්දු කරුවාගේ විරුදාව ලැබෙන්නේ ඔහුටය. 

මැල්කම් ඩෙන්සිල් මාර්ෂල් නම් වේගපන්දුව අතට ගත් එතෙක් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාවට පහළ වූ සුවිශේෂීම වේග පන්දුකරුවාගේ කතාවයි මේ.  

තනි අතින් එංගලන්තය දමනය කළ හැටි.

එය 1984 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර එංගලන්තයේ දී පැවති සුප්‍රකට ‘බ්ලැක් වොෂ්’ නම් විරුදාවලිය ලැබූ තරගාවලියේ හෙඩිංග්ලි’හි පැවති තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයයි. එංගලන්ත කණ්ඩායමේ ක්‍රිස් බ්‍රෝඩ්ගේ පහරක් වළක්වන්නට ගිය මාර්ෂල්ගේ වම් අතේ මහපට ඇඟිල්ල තැන් දෙකකින් බිඳී ගියේ එදා ය.

හෙඩිංග්ලි, ලීඩ්ස් තරගයේ මැල්කම් මාර්ෂල්ගේ සහභාගීත්වය එතැනින් හමාර බව බොහෝ දෙනාට වැටහුණි. නමුත් ඒ සිතිවිල්ලට ආයුෂ පැවතියේ කොදෙව් පළමු ඉනිමේ නවවැනි කඩුල්ල බිඳ වැටෙන තෙක් පමණි. කොදෙව් ඉනිමේ නවවැනි කඩුල්ල බිඳ වැටෙන විට ලැරී ගෝමස් ශතකයකට ආසන්න වෙමින් සිටියේය. කැඩී බිඳී ගිය වමත වෙලාගෙන මාර්ෂල් කඩුල්ලට පැමිණියේ ක්‍රීඩා පිටියේ සිටි සැවොම පුදුම කරවමිනි.

ක්‍රිකට් ලොවම භීතියෙන් මුසපත් කළ ‘සුදු අකුණු සැරය’

අසීමිතව රග්බි ක්‍රීඩාවට පෙම් කළ ඔහු කිසිමදාක ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන්නට සිහින මැව්වේ නැත. නමුත් දෛවය ඒ …

බිඳුණු අතක් සහිතව පිටියට ගොස් ඔහු කළ වික්‍රමය මා ක්‍රිකට් පිටියේ දැක ඇති වික්‍රමාන්විතම ක්‍රියාවලින් එකක්. මට තවමත් මතකයේ තිබෙන්නේ හැමදෙනාම ඔහුට තවදුරටත් ක්‍රීඩා කිරීමට නොහැකියැයි කියූ අවස්ථාවක මට ඔහු මුණ ගැසුණා.

“ඔබ හිතනව ද ඔබට ක්‍රීඩා කරන්නට පුළුවන් කියා?” මම ඔහුගෙන් ඇසුවා.

“නායකතුමනි, ඔබට මා අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මම ක්‍රීඩා කරනවා.” ඔහුගේ පිළිතුර වුණා.

එවන් ශක්තිමත් බවක් වර්තමාන ක්‍රීඩකයෙකුගෙන් නම් කිසිම ලෙසකින් ඔබට දැක ගන්නට ලැබෙන්නේ නැහැ.”

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අද්විතීය නායකයා ක්ලයිව් ලොයිඩ් තම කණ්ඩායමේ සගයා ගැන කියන්නේ එහෙමය.

ඉන් නොනැවතුණ මාර්ෂල් එංගලන්ත ඉනිම සම්පූර්ණයෙන්ම විනාශය කරා ගෙන යමින් එංගලන්ත දෙවන ඉනිමේ කඩුලු හතක් දවා ගන්නට සමත් විය. ඉන් එක් කඩුල්ලක් මාර්ෂල් ලබා ගත්තේ ඔහුගේ පන්දුවක් හමුවේ පෙරලා පැමිණි උඩපන්දුවක් රැක ගැනීමෙනි.

“එය විශිෂ්ට පන්දු යැවීමක්. වෙනත් ක්‍රීඩකයෙක් නම් කෙළින්ම තරගයෙන් ඉවත් වෙනවා. ඔහු ලැරී ශතකය ලබා ගන්නා තෙක් කඩුල්ලේ රැඳී සිටියා. ඔහු තමන් නියෝජනය කරන කණ්ඩායම කුමක් වුවත් එය වෙනුවෙන් ඔහු සතු සියල්ල ලබා දීමට මැළිවුණේ නැහැ. 

ඔහුට තරගයේ ස්වභාවය හොඳින්ම කියවන්නට පුළුවන් කම තිබුණා”

ලොයිඩ් තවදුරටත් මාර්ෂල් ගැන මතකය ආවර්ජනය කරන්නේය.

අමිහිරිම අමිහිරි ආරම්භයක්

1958 වසරේ අප්‍රේල් මස 18 වෙනිදා බාර්බඩෝස්’හි, බ්‍රිජ්ටවුන්’ හීදී උපත ලද මාර්ෂල්ගේ පියා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මැල්කම්ට වයස අවුරුද්දක් වෙද්දී ඔහුගේ පියා රිය අනතුරක් හේතුවෙන් මිය ගිය අතර ඉන් පසු මැල්කම්ගේ භාරකාරීත්වය පැවරුණේ ඔහුගේ සීයාටය. මැල්කම්ට ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි මූලික අඩිතාලම වැටෙන්නේත් ඔහුගේ සීයා හරහාය.

මැල්කම් මාර්ෂල් ටෙස්ට් වරම් දිනා ගන්නේ 1978 වසරේ දෙසැම්බර් 15වෙනිදා ඉන්දියානු කණ්ඩායමට එරෙහිව බැංගලෝරයේ දී ය. මාර්ෂල්ට ඔහුගේ පළමු ටෙස්ට් අත්දැකීම එතරම් යහපත් එකක් වූයේ නැත. 

ක්‍රිකට් පිටියට පියඹා පැමිණි දකුණු අප්‍රිකානු පියාසැරියා

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ තරගයක් බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙමින් තිබුණි. තරගය…

සිය මංගල ටෙස්ට් තරගයේ පිතිකරණයට පැමිණි විසි හැවිරිදි මාර්ෂල්ට සිදු වුනේ වැරදි විනිසුරු තීරණයකට මුහුණ දී පිටියෙන් ඉවත් වන්නටය. භගවත් චන්ද්‍රසේකර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ මාර්ෂල් පන්දුව පිත්තේ වැදුණු බවට දිව්රමින්, හැඬූ කඳුළින් යුතුව ක්‍රීඩාගාරයට පිය මැන්නේය. මෙම තරගයේ දී සිය මංගල කඩුල්ල ලෙස චේතන් චව්හාන්ගේ කඩුල්ල දවා ගැනීමට මාර්ෂල් සමත් විය.

ඉන්දියානු තරගාවලියේ ඉතිරි තරග කිහිපයේ දී ද කැපී පෙනෙන යමක් කිරීමට තරුණ මාර්ෂල්ට හැකියාවක් ලැබුණේ නැත. නමුත් තරග තුනක දී යන්තමින් කඩුලු තුනක් දවා ගත් තරුණ මාර්ෂල් ගැන හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම අවදියෙන් සිටි බව ඔහු දැන සිටියේ නැත. 

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් සහ ජාත්‍යන්තරය ජය ගැනීම

1979 වසරේ හැම්ප්ෂයර් කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයා ලෙස එක්වූ මාර්ෂල් 1993 වසර තෙක් එහි රැඳී සිටියේය.

ක්‍රම ක්‍රමයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සිය ස්ථානය ස්ථාවර කර ගත් මාර්ෂල් 1983/84 සංචාරය වෙනුවෙන් ඉන්දියාවට පැමිණෙන විට වෙනස්ම ක්‍රීඩකයෙකු බවට පත්ව සිටියේය.

එවර ඉන්දීය සංචාරයේ දී ඉන්දීය කඩුලු 33කට වග කියූ මාර්ෂල් පිත්තෙන් ද උසස් දස්කම් දැක්වීමට සමත් විය. එම තරගාවලියේ කාන්පූර්’හී පැවති තරගයේ දී ලබා ගත් ලකුණු 92 මැල්කම් මාර්ෂල්ගේ ටෙස්ට් තරග දිවියේ වාර්තා කර ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

මැල්කම් මාර්ෂල්ගේ ක්‍රීඩා දිවියේ උසස්ම තලයක සිටිය දී දකුණු අප්‍රිකාව බලා යන තහනම් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමකට එක්වන්නට ඔහුට ඇරයුම් ලැබුණි. එසමයේ දකුණු අප්‍රිකානුවන්ට ජාත්‍යන්තර පිටිය තහනම් කලාපයක් වී තිබූ අතර අදාළ කණ්ඩායමට එක්වන්නට මාර්ෂල්ට ලැබුණු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියනයක් බව කියවේ. නමුත් මුදලට සිය ආත්මය හෝ කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව පාවා දෙන්නට ඔහු සූදානම් වූයේ නැත. 

“මම මුලින්ම ඔහුගේ පන්දුවකට මුහුණ දුන්නේ මා පළමු පෙළ තරග කිහිපයක් පමණක් ක්‍රීඩා කර තිබිය දී. එය ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ කණ්ඩායම් අතර තරගයක්. ඒ තරගයේ මා මුහුණ දුන් පළමු පන්දුව ලැබුණේ මාර්ෂල්ගෙන්. 

ඔහු දිව එන දසුනෙන්ම මා භීතියට පත්ව සිටියේ. මගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තා. පළමු පන්දුවෙන්ම මම කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියා.

අත් දෙකම ඔසවමින් කඩුල්ලක් දවා ගත් ප්‍රීතිය සමරමින් දිවයන මාර්ෂල් මා අසල නැවතුණා.

“ඔබේ අවාසනාව” ඔහු මගේ උරහිසට තට්ටුවක් දමමින් ප්‍රකාශ කළා. ඔහුගේ කීර්තිය දසත පැතිරී තිබුණේ. එය විශාල ප්‍රතිරූපයක්”

ක්‍රිකට් ලොව එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම පිතිකරුවෙකු වන බ්‍රයන් ලාරා මැල්කම් මාර්ෂල් ගැන මතකය ආවර්ජනය කරන්නේ එසේය.

පිතිකරුවන් සලිත කළ දරුණු පන්දු සහ ආයුධ ගබඩාව

1984 එංගලන්ත සංචාරයේ එජ්බැස්ටන්’හී පැවති ටෙස්ට් තරගයේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇන්ඩි ලොයිඩ්ගේ ටෙස්ට් දිවිය පැය භාගයකට පමණ සීමා කරන්නට මාර්ෂල් සමත් විය. 

මාර්ෂල්ගේ මෙන්ම ගානර්ගේ කෙටි පන්දු කිහිපයකට මුහුණ දුන් ලොයිඩ්ට මාර්ෂල්ගේ බවුන්සර් පන්දුවක් හිසේ වැදීම නිසා රෝහල් ගත වන්නට සිදු විය.

පන්දුව හිසේ වැදීම නිසා තමාගේ දකුණු ඇසේ පෙනීම මදක් හීනවන බව වටහා ගත් ලොයිඩ්ට දින කිහිපයක්ම රෝහලේ නැවතී සිටීමට සිදු විය.

1986 වසරේ එක්දින තරගයක් අතරතුර බවුන්සර් පන්දුවකින් එංගලන්ත නායක මයික් ගැටිංගේ නාසය බිඳ දැමීමට මාර්ෂල් සමත් විය. බිහිසුණු පන්දු යවන්නෙකුගේ ලේබලය මාර්ෂල්ගේ නාමය ඉදිරියෙන් කියවෙන්නට ඉකුත් සිදුවීම් දෙක මනා පිටිවහලක් විය.

මැල්කම් මාර්ෂල් පිතිකරුවන් අසරණ කළේ කෙටි පන්දුවලින් පමණක් නොවේ. ඔහු වේග පන්දුකරුවෙකුගේ ආයුධ ගබඩාවක තිබිය යුතු සියලුම අවි ආයුධවලින් හොඳින්ම සන්නද්ධව සිටියේය.

දෙපසට දෝලනය වන පන්දු, කෙටි පන්දු ඉහළ නිවර්ද්‍යතාවයකින් යවන්නට ඔහුට හැකියාව තිබුණේය. සියල්ලටම වඩා ඉතා ඉක්මනින් පිතිකරුවාගේ දුර්වලතා හඳුනා ගන්නට හැකි අද්විතීය ක්‍රිකට් මනසක් ඔහුට පිහිටා තිබුණේය.

ලෝකයේ ඕනෑම තණතිල්ලක, ඕනෑම දේශගුණික, කාලගුණික තත්ත්වයක් යටතේ ශූර ලෙස දස්කම් පාන්නට ඉහළ හැකියාවක් මාර්ෂල්ට තිබුණේය. සෙසු වේගපන්දු යවන්නන්ගේ පොකුරෙන් මිදී ගව් ගණනක් ඉදිරියෙන් සිටින්නට මාර්ෂල්ට හැකියාව ලැබුණේ ඒ නිසාය.

මැල්කම් මාර්ෂල්ගේ තරග දිවිය කෙටියෙන්

ටෙස්ට් තරග 81ක් වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළ මාර්ෂල් එහි දී කඩුලු 376ක් දවා ගත්තේය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් මුල්ම වරට කඩුලු 300 සීමාව ඉක්මවා ගිය වේගපන්දු යවන්නා වන්නේ ද මාර්ෂල්ය. කර්ට්නි වෝල්ෂ් අභිබවා යන්නට පෙර බටහිර ඉන්දියානුවෙකු සතුව තිබූ ටෙස්ට් කඩුලු වාර්තාව ද තිබුණේ මාර්ෂල් නමිනි.

ටෙස්ට් තරගවල දී පිත්තෙන් ලකුණු 1810ක් වාර්තා කළ මාර්ෂල් එහි දී අර්ධ ශතක 10ක් කොදෙව් කණ්ඩායමට එක් කළේය.

එක්දින ජාත්‍යන්තර තරගවල දී තරග 136ක දී කඩුලු 157ක් දවා ගත් මාර්ෂල් 1992 ලෝක කුසලානයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේය.

ක්‍රිකට් ගසන්නට නැවත දකුණු අප්‍රිකාව බලා

ජාත්‍යන්තර පිටියට සමුදීමෙන් අනතුරුව 1993 වසරේ සිට මාර්ෂල් දකුණු අප්‍රිකාවේ නටාල් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණේය.

දකුණු අප්‍රිකාවේ අංකුර වේගපන්දු යවන්නන්ගේ දියුණුව තකා මාර්ෂල්ගෙන් සිදු වූ සේවය අතිමහත්ය. කලක් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළ ෂෝන් පොලොක් තමන්ට මාර්ෂල්ගෙන් ලැබුණු මග පෙන්වීම සහ ගුරුහරුකම් ගැන කතා කරන්නේ මහ ඉහළින්ය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දැකුම්කළු සලකුණ මාක් වෝ

අනූව දශකයේ මුල දිනයක ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවුලක…

අඩු වයසින් මාර්ෂල් සොයා ආ මාරයා

1999 ලෝක කුසලාන තරගාවලිය අතරතුර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරමින් සිටි මාර්ෂල් හදිස්සියේ උදරයේ ඇතිවූ වේදනාකාරී තත්ත්වයක් නිසා බර්මිංහැම්’හි රෝහලකට ඇතුළත් කෙරෙන්නේය. 

පළමුවරට මැල්කම් මාර්ෂල් බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගයකින් පීඩා විඳින බව දැනගන්නට ලැබුණේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙද්දීය. වහා වහාම ප්‍රතිකාර සඳහා යොමුවුව ද ඉන් පලක් වූයේ නැත.

“මම හරිම ධනාත්මකව හිතන කෙනෙක් මම හිතනවා මට මේක සනීප කරගන්න පුළුවන් වෙයි කියා” අවසන් වරට කළ සම්මුඛ සාකච්ඡාවේ දී පවා මාර්ෂල්ගෙන් දැක ගත හැකි වූයේ ඔහුටම සුපුරුදු සටන්කාමී බවමය.

1999 වසරේ නොවැම්බර් 04 වෙනිදා අකාලයේ ජීවිත සටනට සමුදෙන විට මාර්ෂල්ගේ වයස අවුරුදු 41ක් වූවා පමණි. පිළිකා රෝගයේ දරුණු බව නිසාම මිය යන විට ඔහුගේ ශරිර බර යාන්තම් කිලෝග්‍රෑම් 25කට මදක් වැඩි වූවා පමණි.

අතිශයින්ම ගෞරවනීය සමුදීමක්

ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ අසමසම චරිතයක් වූ මාර්ෂල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙය වූ නායකයින් පස්දෙනෙකුගේ කර මතින් අවසන් ගමන් ගියේය. 2009 වසරේ දී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය ගෞරවනීය පුරාවෘත්ත ලැයිස්තුවට (ICC Cricket Hall of Fame) මැල්කම් මාර්ෂල් නාමයද එක් කර ගනු ලැබීය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<