පූරන්ව රැකගන්න හෝල්ඩර්ගෙන් පොරොන්දුවක්

13940

නිමා වූ කොදෙව් ශ්‍රී ලංකා තරගය ප්‍රේක්ෂකයන්ට කලකට අමතක නොවන තරගයක් බවට පත්කිරීමට කණ්ඩායම් දෙකම සමත් විය. ශතක ලාභීන් දෙදෙනෙකු බිහි කළ එම තරගය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ ලබා ගත් තුන්වැනි ජයග්‍රහණය ලෙස සටහන් විය. 

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල ශතකයක් වාර්තා කළ නිකලස් පූරන් කාගෙත් අවධානය දිනා ගැනීමට සමත් විය. නිකලස් පූරන්ව අත්නොහැර බලා ගන්නා බවට කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පොරොන්දු වී ඇත. ඒ නිකලස් තම මංගල ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දීයි. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැරදි දිනයක දී වැඩපෙන්වයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ……

ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ගිලිහී ගිය කණ්ඩායම් දෙකක් වුවද, ඊයේ (01) පැවති තරගය කණ්ඩායම් දෙකම ප්‍රබල ලෙස සටන් වදින බවක් දක්නට ලැබුණි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුල දී කඩුලු 6ක් දැවී ලකුණු 338 ක් වාර්තා කළේ අවිශ්ක ප්‍රනාන්දුගේ මංගල එක්දින ශතකයත් සමඟිනි. 

නිකලස් පූරන් හා ෆාබියන් ඇලන් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ආ අතර ඔවුන් එම තරගය ජයග්‍රහණය කළේ නම් එය ලෝක කුසලාන තරගයක හඹාගොස් ජයග්‍රහණය කල වැඩිම ලකුණු සංඛ්‍යාව වනු ඇත. ෆාබියන් ඇලන් දැවී යන විට ඔහු පන්දු 31ක් තුල දී ලකුණු 51ක් වාර්තා කර තිබුණි. කොදෙව් කණ්ඩායම තරගය පරාජය වූයේ ලකුණු 23කිනි. 

කොදෙව් කණ්ඩායම ලැබූ මෙම පරාජය ඔවුන් නොකඩවා ලැබූ හත්වැනි පරාජයයි. නමුත් ඔවුන් ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දුන් පළමු තරගයේ දී පාකිස්තානය හමුවේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. 

“කවුරුහරි මාව හැප්පුවා” පූරන්ගේ අනපේක්ෂිත මතකය

නිකලස් පූරන්ව නොදන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු……

කෙසේ වෙතත් තරගය පරාජය වුවත් යම් සුබවාදී බලාපොරොත්තුවක් ඇති බව නිකලස් පිළිබඳව අදහස් දක්වමින් ජේසන් හෝල්ඩර් පවසා සිටියා. 

“නිකලස් අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. ඔහු පහසුවන්ම පහර දුන්නා. ඔහු දක්වපු දක්ෂතාවයන් අපි ඔහුගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා. අපිට අවශ්‍ය ඔහු තවත් දියුණු වෙනවා දකින්න. අපි ඔහුව තෝරාගත්තේ හේතුවක් ඇතුව. අපි ඔහුට සම්පූර්ණ සහය දුන්නා ඔහුගේ නිදහස අරන් ක්‍රීඩා කරන්න. ඔහු තවමත් ළාබාල ක්‍රීඩකයෙක්. ඔහු අතින් වැරදි සිදු වේවි. ඒත් ඔහු ඒ වැරදි හදාගන්න එක තමයි වටින්නේ. ” 

නිකලස්ගේ ලකුණු 118 පන්දු 103ක් තුල වාර්තා වූ අතර එය හතරේ පහර 11කින් හා හයේ පහර 4කින් වර්ණවත් වී තිබුණි. 

“අපි අපිට පුළුවන් උපරිමයෙන් පූරන්ව බලාගන්නවා. මම ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා ඔහුගෙන්. ඔහුට දක්ෂතාවය තියෙනවා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන්න ඔහුට හැකියාව තියනවා. ඕනෑම පහරක් එල්ල කරන්න පුළුවන්.” 

සචින් හා කෝලි පසුකරමින් අවිශ්ක ඉදිරියට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ………..

කොදෙව් කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ලෝක කුසලාන දෙකෙහිම හිමිකරුවන් විය. ඒ 1975 හා 1979 වසරවල දී ය. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට පැමිණි අවස්ථාවන් කීපයක්ම දක්නට ලැබුනත් ජයග්‍රහණය කිරීමට ඔවුන්ට අවස්ථාව නොලැබිණි. ඕස්ට්‍රේලියා තරගය හා නවසීලන්ත තරගය එයට හොඳම උදාහරණ වේ. 

“ලොකු කලකිරීමක් තියනවා අපි තරග කීපයක දී ම ජයග්‍රහණය ළඟටම ඇවිල්ලා පරාජය වුන එක ගැන. අපි හොඳ සටනක් දුන්නා කියලා හිතනවා තරගාවලිය පුරාම. තනි ක්‍රීඩකයන්ගේ දක්ෂතා තමයි අපි කණ්ඩායමේ දැක්කේ. ඒ ගැන ආඩම්බරයි.” හෝල්ඩර් පවසා සිටියා. 

නිකලස් පූරන් මේ දක්වා ලෝක කුසලානයේ ක්‍රීඩා කළ තරග 8 දී ලකුණු 309ක් ලබා ගැනීමට සමත්ව ඇත. ඒ කොදෙව් කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත්වෙමිනි. 

කොදෙව් කණ්ඩායම මීළඟ තරගය සඳහා ඇෆ්ගනිස්තානය සමඟින් එළඹෙන ජූලි මස 4 වැනිදා තරග වැදීමට නියමිතයි. ඇෆ්ගනිස්තානය මෙවර ලෝක කුසලානයේ එකදු තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට සමත්ව නැත. 

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<