මතභේදාත්මක සිව්වන දිනය අවසානයේ ඉන්දියාව ශක්තිමත් ස්ථානයක

1145
courtsey - AFP

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ කල්කාටා නුවර ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 4 වන දිනය වූ අද (19) දිනයේ දී ලෝකේශ් රාහුල් සහ ශිකර් ධවාන්ගේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරණ සබඳතාවත් සමඟ ඉන්දියානු කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ වීමට සමත් විය.

මැතිව්ස් – තිරිමාන්න සබඳතාවය ටෙස්ට් ජයක බලාපොරොත්තු දල්වයි!

දිල්රුවන් පෙරේරා සහ ලහිරු ගමගේ අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙමින් කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලීමත්…

ඒ අනුව ඉන්දියානු කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් අද දිනයේ අවසන් තරග වාර දෙකේ පාලනය ඔවුන් යටතට ගනිමින් වේගවත් පිතිකරණයක නිරත වූ අතර ඔවුන් දිනය නිමාවන විට 1ක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 171ක් වාර්තා කර ගනිමින් මේ වන විට තරමක හොඳ තත්වයක පසුවෙයි.

ශිකර් ධවාන් සිය ඉනිම සෙමෙන් ආරම්භ කොට පසුව ඉතා හොඳ පිතිකරණයක නිරත වූ අතර ඔහු සිය ශතකය ලබා ගැනීමට ලකුණු 6ක් පමණක් ඉතිරිව තිබිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඔහුගේ ආරම්භක පිතිකරණ සඟයා වූ ලෝකේශ් රාහුල් දිනය නිමාවන විට ලකුණු 73ක් ලබාගෙන නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේය. දිනය ආරම්භයේ රංගන හේරත්ගේ විශිෂ්ට ඉනිමේ ආධාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 294ක් ලබා ගැනීමට සමත් විය.

අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට තරගයේ පෙරමුණ ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණේ ලකුණු 7ක් පමණි. නිරෝෂන් දික්වැල්ල සමඟින් නායක දිනේෂ් චන්දිමාල් පිටියේ එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම වේගයෙන් ඉදිරියට රැගෙන යාමට උත්සාහ දැරූ අතර ඔවුන් දෙදෙනා පන්දු 84ක දී ලකුණු 62ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය. කෙසේ නමුත් දික්වැල්ල ලකුණු 35ක් ලබාගෙන හොඳින් පන්දුවට පහර දෙමින් සිටිය දී දෙවන ස්ලිප් ස්ථානයේ සිටි විරාත් කෝලි හට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යාමත් සමඟ එම සබඳතාවය බිඳ වැටුණි.

MAS යුනිචෙලා ප්‍රවීණයෝ ඩිමෝ යොවුන් ක්‍රීඩකයෝ අසරණ කරයි

ශ්‍රී ලාංකේය විස්සයි විස්ස තරග ඉතිහාසයේ අංක එකේ ක්‍රීඩකයන්ගෙන් සමන්විත MAS යුනිචෙලා කණ්ඩායම සමඟ යොවුන්…

අනතුරුව ඉන්දියානු පන්දු යවන්නන් හමුවේ පන්දු 10ක් තුළ 1ක් ලකුණක් පමණක් ලබාගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් බිඳ වැටුණු අතර ඒ අනුව නැවතත් තරගයේ පාලනය තමන් යටතට ගන්නට ඉන්දියානු කණ්ඩායම සමත් විය. එහි දී දික්වැල්ලගේ දැවී යාමෙන් පසුව බුවනේෂ්වර් කුමාර් යොමු කළ පන්දුවක් හමුවේ දසුන් ශානක දැවී ගිය අතර ඉන් අනතුරුව චන්දිමාල් ද කඩුල්ලෙන් ඉවතෙන් ඇදී ආ පන්දුවකට කඩුලු රකින්නා වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන්නට විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ඉක්මණින් සමාප්ත කිරීමට හැකිවනු ඇතැයි ඉන්දියානු පන්දු යවන්නන් අපේක්‍ෂා කළත් කඩුල්ලට පැමිණි රංගන හේරත් විසින් ඔවුන්ගේ එම අපේක්ෂාවන් සුනුවිසුණු කර දමන ලදි. අද දිනයේ උදෑසන සිට ඉතා හොඳින් පන්දු යවමින් සිටි ඉන්දීය වේගපන්දු යවන්නන් හට ඔහු නොබියව මුහුණ දුන් අතර එහි දී ඔහු රැස්කරගත් ලකුණු 67 ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් ඉනිමක් විය. ඔහුට අගනා සහයක් ලබා දුන් සුරංග ලක්මාල් ලකුණු 16ක් රැස්කර ගැනීමට සමත් වූ අතර ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව 9 වන කඩුල්ලට ලකුණු 46ක තීරණාත්මක සබඳතාවක් ගොඩනඟන්නට සමත් විය.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 294ක් ලබා සිටිය දී අවසන් කරන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 122ක් ඉදිරියෙන් පසුවන්නට විය. ඒ අනුව ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගළය පිටියට පිවිසියේ පළමු ඉනිමේ දී දියත් කළ දුර්වල පිතිකරණයත්, ඉහළ ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටීමේත් දැඩි පීඩනයත් සමඟය. කෙසේ නමුත් දින 4ක කාලයක් ක්‍රීඩා කළ පිටිය ඒ වන විට පිතිකරුවන්ට තරමක් හිතකර තත්වයකට හැරී තිබූ අතර ඒ හරහා ඉන්දියානු පිතිකරුවන්ට නැවතත් තරගයට අවතීර්ණ වන්නට මඟපෑදිණ. දෙවන ඉනිම ආරම්භයේ පටන් ඉන්දීය ආරම්භක පිතිකරු යුගළය හොඳින් පන්දුවට පහර දුන් අතර අනෙක් පසින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ද පන්දු යැවීම දුර්වල මට්ටමක පවතින්නට විය.

රාහුල් සහ ධවාන් නිදහසේ ලකුණු රැස්කර ගන්නට වූ අතර එහි දී දිස්වූයේ ඔවුන් පළමු ඉනිම ක්‍රීඩා කළ පිටියට හාත්පසින්ම වෙනස් පිටියක ක්‍රීඩා කරන ආකාරයක් ය. ඒ අනුව ඔවුන් පන්දුවාර 24ක් පමණක් ගතවද්දී ලකුණු 100 දක්වා ඉන්දීය දෙවන ඉනිම රැගෙන යන්නට සමත් විය. කෙසේ නමුත් දසුන් ශානක යොමු කළ පන්දුවක්, ලකුණු 94ක් රැස්කරගෙන සිටි ධවාන්ගේ පිත්තේ දැවටී කඩුලු රකින ක්‍රීඩකයා වෙත ඇඳී යාමත් සමඟ ඔවුන්ගේ ආරම්භක සබඳතාව බිඳ වැටුණු නමුත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා ඉන්දීය ඉනිම ස්ථාවර තත්වයකට රැගෙන ගොස් අවසන්ය. ඒ අනුව දිනය නිමා වන විට ඔවුන් කඩුලු 9ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 49ක් ඉදිරියෙන් පසුවිය.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටින අවස්ථාවේ දී දිල්රුවන් පෙරේරා දැවී ගිය විට ඔහු ඒ සම්බන්ධව ඉදිරිපත් කළ DRS සමාලෝචනය පිළිබඳ මතභේදාත්මක තත්වයක් ඇතිවිය. එම සිදුවීම විවිධ සමාජ මාධ්‍යයන් වාර්තා කර තිබුණේ එහි දී එම DRS සමාලෝචනය ක්‍රීඩක විවේකාගාරය වෙතින් සිදු කළ පණිවිඩයක් හරහා ලබාගත් බව පවසමිනි.

ක්‍රිකට් පිටිය උණුසුම් කරන තුන්කොන් සටනක් ලබන මාර්තුවේ

ඉන්දියාව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත “2018 නිදහස් කුසලාන…

කෙසේ නමුත් මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ සමාජ මාධ්‍යයන් ඔස්සේ විවිධ පාර්ශවයන් සිදු කරන ලබන කටකතා සහ උපකල්පනයන්හි සඳහන් වන පරිදි “ක්‍රීඩක විවේකාගාරය වෙතින් කිසිදු පණිවුඩයක්” දිරුවන් පෙරේරාගේ දැවී යාම සම්බන්ධයෙන් ඉදිරිපත් කර නොමැති බව වගකීමෙන් දන්වා සිටින බවයි.

එහි දී සිදු වූ සිදුවීම පැහැදිලි කරමින් එම ප්‍රකාශයේ සඳහන්ව තිබුණේ; එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම හට පැවති DRS සමාලෝචනයන් සංඛ්‍යාව අවසන් වී ඇති බව වරදවා වටහා ගනිමින් දිල්රුවන් ක්‍රීඩාගාරය වෙත හැරී යාමට කටයුතු කර ඇති බවත්, ඒ අවස්ථාවේ අනෙක් අන්තයේ පිතිකරු වූ රංගන හේරත් විසින් පිටියේ විනිසුරු වූ නයිජල් ලෝන් මහතාගෙන් කරුණු විමසීමේ දී ශ්‍රී ලංකාව හට සමාලෝචනයන් ඉතිරිව ඇති බව දැන ගැනීමට ලැබී ඇති බවත් ය. ඒ අනුව දිල්රුවන් සිය දැවී යාම පිළිබඳව සමාලෝචනයක් ඉදිරිපත් කර ඇත.

මනස්ගාත නැති හතුරුසිංහගේ ආගමනය අවැසිම හෝරාව

මේ සතියේ ක්‍රීඩා ලෝකය කැලඹූ ප්‍රධානතම ප්‍රවෘත්තිය බවට පත් වූයේ ඉතාලි පාපන්දු කණ්ඩායම 2018 ලෝක කුසලාන තරගාවලියට…

ක්‍රිකට් ආයතනය මඟින් නිකුත් කළ එම කරුණු පැහැදිලි කිරීමේ ප්‍රකාශයේ තවදුරටත් සඳහන්ව තිබුණේ; ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන සෑම ක්‍රීඩකයෙකු හා නිලධාරියෙකු විසින්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති සහ රෙගුලාසිවලට අනුගත වෙමින් කටයුතු කිරීමට පමණක් නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ ආධිපත්‍යය රැක ගනිමින් ජාත්‍යන්තරව පිළිගත් ආචාර ධර්ම හා මූලධර්මවලට අනුව කටයුතු කිරීමට බැඳී සිටින බව වැඩිදුරටත් අවධාරණය කර සිටින බවය.

ඉන්දියාව (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 172 (පන්දුවාර 59.3): චෙටෙස්වර් පුජාරා 52, ව්‍රිදිමන් සහා 29, මොහොමඩ් ශමී 24, රවින්ද්‍ර ජඩේජා 22, බුවනේශ්වර් කුමාර් 13, සුරංග ලක්මාල් 4/26, දිල්රුවන් පෙරේරා 2/19, දසුන් ශානක 2/36, ලහිරු ගමගේ 2/59.

ශ්‍රී ලංකාව (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 294 (පන්දුවාර 83.4): රංගන හේරත් 67, ඇන්ජෙලෝ මැතිව්ස් 52, ලහිරු තිරිමාන්න 51, නිරෝෂන් දික්වැල්ල 35, දිනේෂ් චන්දිමාල් 28, බුවනේශ්වර් කුමාර් 4/88, මොහොමඩ් ශාමි 4/100, උමේෂ් යාදෙව් 2/79.

ඉන්දියාව (දෙවන ඉනිම) –1ක් කඩුල්ලක් දැවී ලකුණු 171 (පන්දුවාර 39.3): ශිකර් ධවාන් 94, ලෝකේශ් රාහුල් 73*, චෙටෙස්වර් පුජාරා 02*, දසුන් ශානක 1/29.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න