දෙවන වසරටත් ශූරතාවය සාන්ත තෝමස් විද්‍යාලයට

443
S.Thomas schools rugby 7s title winner

නවීන් හේනකන්කානම්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම අන්තර් පාසල් සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉසිපතන විද්‍යාලය ලකුණු 19-14ක් ලෙස පරාජයට පත්කරමින් අඛණ්ඩව දෙවන වසරටත් තරගාවලියේ ශූරතාවය ඔවුන් සතුකර ගන්නට සමත් විය.

පාසල් කණ්ඩායම් 8ක් අපරාජිතයි

වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (01) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී සහ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී…

කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම වසරේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ පසුගිය වසරේ දී ද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් දෙකම වීම විශේෂත්වයකි.

අර්ධ පූර්ව අවසන් තරගයේ දී සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 17-12ක් ලෙසත්, අවසන් පූර්ව තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 21-14ක් පරාජයට පත්කරමින් තෝමස් විද්‍යාලයීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර අනෙක් පසින් ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී සාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 24-19ක් ලෙසත්, අවසන් පූර්ව තරගයේ දී කිංස්වුඩ් විද්‍යාලය ලකුණු 19-14ක් ලෙසත් පරාජයට පත්කරමිනි.  

ඒ අනුව අවසන් මහා තරගය ප. ව. 5.30ට ආරම්භ වූ අතර තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගන්නට පසුගිය වසරේ ශූරයින් වූ තෝමස් ක්‍රීඩකයින් සමත් විය. ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම විසින් පළමු අර්ධයේ කටයුතු ආරම්භ කළ අතර තරගයේ පළමු මිනිත්තුව තුළ දී හොඳින් ක්‍රීඩා කරන්නට ඔවුන් සමත් විය. කෙසේ නමුත් ඔවුන්ගෙන් පන්දුව ලබා ගත් තෝමස් කණ්ඩායමේ ඩියෝන් ඩයස් උත්සාහක දිනුම් කලාපය වෙත පන්දුව රැගෙන යමින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද ඔහු සාර්ථක කර ගත්තේ ය. (STC 07 – IC 00)

ඔවුන් ලබා ගත් දෙවන උත්සාහක දිනුමට ද ඔහු සිය දායකත්වය ලබා දුන් අතර මෙම අවස්ථාවේ දී පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් උත්සාහක දිනුම වාර්තා කර ගත්තේ මයෝන් ජයවර්ධන විසිනි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට ඔවුන් සමත් විය. (STC 14 – IC 00)

පළමු අර්ධයේ අවසානයට පෙර ලකුණු පරතරය ලකුණු 07ක් දක්වා අඩු කර ගන්නට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වූයේ නදීෂ් චමින්ද විසින් පන්දුව වේගයෙන් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යාමෙන් අනතුරුව එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගැනීමත් සමඟයි.

පළමු අර්ධය: සාන්ත තෝමස් විද්‍යාලය 14 – 07 ඉසිපතන විද්‍යාලය

තරගයේ ජයග්‍රහණය ලබා ගන්නට නම් ඉසිපතන ක්‍රීඩකයින්ට ඉක්මනින් ලකුණු ලබාගැනීමට අවශ්‍යව තිබූ නමුත් තෝමස් ක්‍රීඩකයින් ඊට අවස්ථාවක් දුන්නේ නැත. ඔවුන් දෙවන අර්ධයේ මිනිත්තු කිහිපයක් ගතවෙද්දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේ තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමිනි. ඒ අනුව මෙම උත්සාහක දිනුම වාර්තා කර ගත්තේ කණ්ඩායම් නායක නවීන් හේනකන්කානම්ගේ විසිනි. (STC 19 – IC 07)

ඉසිපතන ක්‍රීඩකයින් තරගයේ අවසානය දක්වාම හොඳ සටනක් ලබා දුන්නත් තරගය ජයග්‍රහණය කරන්නට එය ප්‍රමාණවත් නොවීය. තරගයේ අවසාන මිනිත්තු කිහිපය තුළ දී ඔවුන් ලබා ගත් උත්සාහක දිනුම සහ එහි දී සාර්ථක කර ගත් ප්‍රවර්තන අවස්ථාව තෝමස් ක්‍රීඩකයින්ගෙන් ජයග්‍රහණය උදුරා ගන්නට සමත් වූයේ නැත. ඒ අනුව අඛණ්ඩව දෙවන වසරටත් අන්තර් පාසල් සත්සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරන්නට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

දෙවන අර්ධය: සාන්ත තෝමස් විද්‍යාලය 19 – 14 ඉසිපතන විද්‍යාලය

පළඟ ශූරතාවය

සාන්ත පීතර විද්‍යාලය 24 – 12 විද්‍යා විද්‍යාලය

මෙම තරග වාරය කුසලානයක් සමඟ අවසන් කරන්නට දියත් ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම සමත් වූයේ පළඟ ශූරතාවය සඳහා පැවති අවසන් මහා තරගයේ දී විද්‍යා විද්‍යාලය පරාජයට පත්කිරීමත් සමඟයි. පසුගිය වසරේ තරගාවලියේ දී ද පළඟ ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ මෙම කණ්ඩායම් දෙකම වන අතර එහි දී ජයග්‍රහණය වාර්තා කර ගත්තේ විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම යි.

බඳුන ශූරතාවය

සාන්ත ජෝසප් විද්‍යාලය 26 – වෙස්ලි විද්‍යාලය

පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියේ ශූරයින් බවට පත්වූ සාන්ත ජෝසප් විද්‍යාලයට මෙම තරගාවලියේ දී බඳුන ශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. පළමු වටයේ දී ඔවුන් සාන්ත තෝමස් විද්‍යාලය හමුවේ පරාජයට පත්වීම නිසා ශූරතා කුසලානය සඳහා වන තරගයෙන් ඉවත් විය.

ඒ අනුව මෙම අවසන් මහා තරගයේ පළමු අර්ධයේ දී වෙස්ලි ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කළ නමුත් ප්‍රබල ජෝසප් කණ්ඩායම පරාජයට පත්කරන්නට එය ප්‍රමාණවත් වූයේ නැත.

පළිහ ශූරතාවය

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය 19 – 12 මොරටු මහා විද්‍යාලය

තරගයේ පළමු අර්ධයේ පසුපසින් සිටි පිළියන්දල මාධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම දෙවන අර්ධයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කරමින් මොරටු මහා විද්‍යාලය පරාජයට පත්කළ අතර ඒ අනුව ඔවුන් තරගාවලියේ පළිහ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

ThePapare.com වෙත අදහස් දක්වමින් සාන්ත තෝමස් විද්‍යාලයේ නායක නවීන් හේනකන්කානම්ගේ ප්‍රකාශ කළේ,

“අපි තරගය ක්‍රීඩා කළේ සාමාන්‍ය විදිහට. අපි පීඩනයක් ගත්තේ නැහැ. මම ක්‍රීඩකයින්ට කිව්වේ මූලික දේවල් අනුගමනය කරමින් තරගය ක්‍රීඩා කරන්න කියලා. අවසානයේ දී හොඳ තරගයකින් අනතුරුව තරගය ජය ගන්න අපට හැකිවුනා. ඒක ලොකු සතුටක්. අපිට ලීග් තරගාවලිය අතරතුර ගොඩක් අපහසුතා වලට මුහුණ දෙන්න සිදුවුණා. ක්‍රීඩකයින් ඉවත් වෙලා ගිය නිසා අපි ක්‍රීඩා කළේ අලුත් ක්‍රීඩකයින්ගෙන්. කෙසේ නමුත් අඛණ්ඩව දෙවන වසරටත් මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගන්න හැකි වීම ලොකු දෙයක්. මේකේ සියලුම ගෞරවය අයිති විය යුත්තේ මගේ කණ්ඩායමට. ඔවුන් ඉතාම හොඳින් ක්‍රීඩා කළා.”

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<