“ඉන්දියාවට 2020 T20 ලෝක කුසලානය පවත්වන්න පුළුවන්”

71

දකුණු ආසියානු උප මහාද්වීපයේ කොරෝනා වයිරස් අර්බුදය ලිහිල් වුවහොත් ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එහි පැවැත්වීම වෙනුවට එම තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට හැකි බව ඉන්දීය හිටපු පිතිකරු සුනිල් ගවස්කාර් පවසා ඇත. 

ඉන්දීය-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියට විකල්ප සොයයි

ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට්…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ 2021 විස්සයි විස්ස ලෝක කුසලාන සංස්කරණය සඳහා සත්කාරකත්වය ඉන්දියාවට හිමිව ඇත. ගවස්කාර් යෝජනා කර සිටින්නේ ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලිය හුවමාරු කර ගැනීමට ය. මෙම කොරෝනා වයිරසය හේතුවෙන් සියලු ඕස්ට්‍රේලියා නොවන පුරවැසියන්ට පවා රට තුළට ඇතුළු වීම තහනම් කර ඇත. මේ නිසා මෙම වසරේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම ඉන්දියාවට සිදු කළ හැකි බව ගවස්කාර්ගේ මතයයි. 

ඕස්ට්‍රේලියාව ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වා ලෝක කුසලානය පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ තරගාවලිය පැවැත්වීම සඳහා “සියලු විකල්ප ගවේෂණය කරන” බවයි.

“අපි කවුරුත් දන්නා පරිදි, ඕස්ට්‍රේලියාව විදේශිකයින්ට රට තුළට ඇතුළු වීම තහනම් කරලා තියෙන්නේ. තරගාවලිය ඔක්තෝබර් මැද භාගයේ දී ආරම්භ වෙනවා. ඒත් මේ තියන තත්ත්වය එක්ක මේ මොහොතේ ඒ හැකියාව දුෂ්කර බව පෙනෙනවා” යැයි ගවස්කාර් India Today වෙත පැවසීය.

“2021 ඒ කියන්නේ ලබන වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවේ පැවැත්වීමට සැලසුම් කරලා තියනවා. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එකඟතාවකට එන්න පුළුවන් නම් තරගාවලි දෙක හුවමාරු කරගන්න හැකියාව තියනවා. එවිට ඉන්දියාවේ COVID-19 වසංගත තත්වය අඩුවුවොත් වුවහොත් ඔවුන්ට සත්කාරකත්වය සපයන්න පුළුවන්.” 

“එය මෙම වසරේ ඔක්තෝබර්-නොවැම්බර් මාසයේ ඉන්දියාවේ දීත්, 2021 වසරේ ඔක්තෝබර්-නොවැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාවේදීත් පැවැත්විය හැකියි.” 

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය මාර්තු මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද, ඉන්දියාව රට වසාදැමීමකට යොමු වීම නිසා එය අප්‍රේල් මස 15 වැනිදා දක්වා කල්දැමීමට සිදු විය. එහෙත් ඉන්දියාව තවදුරටත් වසාදැමීමට එරට අග්‍රාමාත්‍යවරයා තීරණය කිරීමත් සමඟින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දැමීමට සංවිධායකයන්ට සිදු විය. 

T20 ලෝක කුසලානයට විකල්ප සොයයි

පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් තරග සියල්ල අවලංගු…

විස්සයි විස්ස ලෝක කුසලානය මෙවර ඉන්දියාවේ පවත්වන්නේ නම් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෝක කුසලානයට පෙර පැවැත්විය හැකි බව ගවස්කාර් මහතා පැවසීය.

“තරගාවලි හුවමාරුව එලෙස සිදුවුවහොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෝක කුසලානයට පෙර පවත්වන්න පුළුවන්. ඒකෙන් ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් පුහුණුවක් ලැබේවි” ගවස්කාර් පැවසීය. 

මෙම කොරෝනා වයිරසය ලොව පුරා පැතිර යාමත් සමඟින් එය ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කිරීමෙන් අනතුරුව ලොව පුරා සියලු තරග අවලංගු කිරීමට සිදු විය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තම ගෝලීය ක්‍රිකට් දින දර්ශනය පිළිබඳව ඉහළ පෙළේ ජාතික මණ්ඩල 15ක ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ මෙම සතියේ දී විශේෂ සාකච්ඡාවක් සිදු කිරීමට නියමිතය.

මීට පෙර වසර දෙකකට එක් වරක් පවත්වන තරගාවලියක් වූ විස්සයි විස්ස ලෝක කුසලානය 2020 හා 2021 වසර දෙකේ දී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කළේ ශූරයින්ගේ කුසලාන තරගාවලිය වැඩිදියුණු කිරීම නිසාවෙනි. 

ඉන්දියාව මේ වන විට කොරෝනා වයිරසය නිසා දැඩි බලපෑමකට ලක්ව තිබෙන අතර එරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20,400 ඉක්මවා ගොස් ඇත. එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 650කට අධිකය. 

මේ අතර ඕස්ට්‍රේලියාවෙන් කොරෝනා ආසාධිතයන් 6500කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 74කි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<