ක්‍රීඩාවේ ලොකුම කලකිරීම ගැන Hafeez කතා කරයි

11985

පාකිස්තානයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක Mohammad Hafeez තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඊයේ (03) නිවේදනය කළා.

මේ වන විට 41 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක Mohammad Hafeez පකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 55කට, එක්දින තරග 218කට සහ විස්සයි විස්ස තරග 119කට ක්‍රීඩා කර තිබෙනවා.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ Mohammad Hafeez මෙලෙස ජාත්‍යන්තර ක්‍රීඩාවට සමුදෙන්නේ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ වරදින් බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ පිළිබඳව Mohammad Hafeez සිය හඬ අවදි කර තිබුණා.

තම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් Mohammad Hafeez හෙළි කර තිබුණේ තම ක්‍රිකට් දිවියේ ලොකුම බලාපොරොත්තු සුන්වීම බවට පත්වුනේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) විසින් තරග පාවාදීමේ චෝදනාවට ලක්ව තරග තහනමට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයන්ට නැවත වරක් පාකිස්තානය නියෝජනය කිරීමට ඉඩදීම බවයි.

එවන් බරපතළ දූෂණ චෝදනා එල්ල වූ කිසිදු ක්‍රීඩකයෙකුට කිසිවිටෙක නැවත තම රටට ක්‍රීඩා කිරීමට ඉඩ නොතැබිය යුතු බව ඔහු අවධාරණය කර තිබුණා.

මට මගේ වෘත්තීය ජීවිතයේ ලොකුම බලාපොරොත්තු සුන්වීම සහ වේදනාව වුනේ මම සහ Azhar Ali මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගත් වෙලාවේ පාකිස්තාන ක්‍රිකට් ආයතන හැසිරුණ ආකාරය. ඔවුන් අපිට කෙළින්ම කිව්වා අපට ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැතිනම් ක්‍රීඩා කරන්න එපා කියලා. නමුත් අදාළ ක්‍රීඩකයා ක්‍රීඩා කරන බව අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා අපට කිව්වා”, Mohammad Hafeez පසුගිය දා ලාහෝරයේ වාර්තාකරුවන් අමතමින් පවසා සිටියා.

තමන් මෙලෙස විශ්‍රාම ගැනීමට ගත් තීරණයට පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Ramiz Raja විසින් සිදු කළ ප්‍රකාශය කිසිදු බලපෑමක් නොකළ බව ද Mohammad Hafeez පවසා තිබුණා. හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Ramiz විසින් Mohammad Hafeezට සහ Shoaib Malik හට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලෙස මීට පෙර උපදෙස් ලබා දී තිබුණා.

නැහැ ඔහුගේ කතාව ඒකට කිසිම බලපෑමක් කළේ නැහැ. මම 2019 ලෝක කුසලානයේ සිට මගේ විශ්‍රාම ගැනීම ගැන හිතන්න පටන් ගෙන තිබුණේ. නමුත් මගේ බිරිඳ සහ මගේ රසිකයින් මට දිගටම ක්‍රීඩා කරන්න උනන්දු කළා. ඒත් 2019 ඉඳන් මම ඒ ගැන හිතමින් හිටියේ.”

“Ramiz කිව්ව දේ ඔහු කිව්වේ ඔහුට හිතෙන විදිහට. එය ඔහුගේ මතය. මම හැමවෙලේම විවේචකයන්ට ගරු කරනවා. මගේ මාර්ගය වූනේ පිටියට ගිහින් ඔවුන්ට පිළිතුරු දෙන එක. මට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිසිවෙකු කෙරෙහි වෛරී හැඟීමක් නැහැ”, Mohammad Hafeez පවසා සිටියා. එමෙන්ම තමන් ජාත්‍යන්තර පිටියට සමුදෙන්නේ කිසිදු පසුතැවිල්ලකින් තොරව බවත් Mohammad Hafeez පවසා සිටියා.

මීට අමතරව තමග් ගත් මෙම තීරණය අන් අයට අනුගමනය කිරීමට ආදර්ශයක් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව Mohammad Hafeez පවසනවා. ක්‍රීඩකයන් සුන්දර ලෙස විශ්‍රාම ගත යුතු යැයි ඔහු පවසා සිටියා.

මම මෙම තීරණය ගත්තේ අන් අයට අනුගමනය කිරීමට පුළුවන් ධනාත්මක පූර්වාදර්ශයක් තැබීමට මට අවශ්‍ය වූ නිසා. ක්‍රීඩකයින් ගෞරවාන්විතව සහ නියම වේලාවට විශ්‍රාම ගන්න ඕනේ”, Mohammad Hafeez පවසා සිටියා.

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<