චමින්ද වාස්‌ ලෝක කුසලානයෙන් පසු පුහුණුකරු තනතුරට සමුදෙයි

130

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය අවසන් වීමෙන් පසු සිය ධුරයෙන් සමුගන්නා බවත් ඉදිරියේදී යළිත් ශ්‍රී ලංකාවේ වේග පන්දු පුහුණුකරු ලෙස කිසිදිනක කටයුතු කිරීමට අදහසක්‌ නැති බවත් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්‌ ‘දිවයින’ සමග කළ සාකච්ඡාවකදී පවසා සිටියේය.

වසර දෙකක කොන්ත්‍රාත් කාලයක්‌ සඳහා ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස පත්වූ චමින්ද වාස්‌ගේ අදාළ සේවා කාලය මෙවර ලෝක කුසලාන අවසන් වීමත් සමග නිමාවට පත්වේ. යළිත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කිරීමට අවස්‌ථාව ලදහොත් භාරගන්නේද යන්න කළ විමසීමේදී එවැනි අදහසක්‌ නැති බව වාස්‌ පවසා සිටියේය.

“මගේ එකම බලාපොරොත්තු මෙවර ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනා ගනු දැකීමයි. 96 දී අපි ජයග්‍රහණය කළා. මේ පාරත් කණ්‌ඩායම ජයග්‍රහණය කරවන්න මගේ රාජකාරිය මම උපරිමයෙන් කරනවා. මගේ කොන්ත්‍රාත් කාලය මේ ලෝක කුසලානයෙන් පසුව අවසන්. කොහොම වුණත් මම නැවතත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස කවදාවත් සේවය කරන එකක්‌ නැහැ.”

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 111 කදී කඩුලු 355 ක්‌ද එක්‌දින තරග 322 කදී කඩුලු 400 ක්‌ දවා ගනිමින් මුරලිදරන්ට පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ සුපිරිම පන්දු යවන්නා බවට පත්ව තිබෙන වාස්‌ ශ්‍රී ලංකාව විදේශයකදී දිනු පළමු ටෙස්‌ට්‌ තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඒ මීට දශක පෙර නවසීලන්තයේදීය. කෙසේ වෙතත් යළිත් ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරය ලබා නොගැනීමට හේතුව කුමක්‌දැයි ‘දිවයින’ වාස්‌ගෙන් කරන ලද විමසීමේදී,

“ශ්‍රී ලංකාව මේ දිනවල සුපුරුදු රිද්මයට පැමිණෙමින් ලෝක කුසලාන තරගාවලියට හොඳින් අවතීර්ණ වෙලා ඉන්නෙ. කොහොම වුණත් මගේ රාජකාරිය ගැන මම පෞද්ගලිකව සතුටින් නෙමෙයි ඉන්නෙ. ප්‍රශ්ණ තියෙනවා. ඒ සියලු ප්‍රශ්න ලෝක කුසලාන අවසන් වෙලා ශ්‍රී ලංකාවට ගිය ගමන් මම මාධ්‍ය ඔස්‌සේ පවසනවා.” යනුවෙන් පැවසීය.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවට සමුදීමෙන් පසුව නවසීලන්ත වේග පන්දු පුහුණුකරුවන්ගේ උපදේශක ලෙස වාස්‌ මාස දෙකක පමණ කාලයක්‌ සේවය කළේය. ඒ 2013 වසරේ නවසීලන්ත කණ්‌ඩායම ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුරදීය. අනතුරුව චම්පක රාමනායකගෙන් පසුව ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස්‌ව පත්කරන ලදී.

“මම රටට සේවය කරන්න ගොඩක්‌ ආශාවෙන් බලා සිටියා. ඒ අවස්‌ථාව ලැබිල මගේ දේ මම හරියට කළා. ඒත් මට දැන ගන්න ලැබුණා සමහරු මගේ කැපවීම මදියි කියනවලු. අවුරුදු ගාණක්‌ මම ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට කරපු දේ බැලුවහම මගේ කැපවීම ගැන පැහැදිලිව පෙනෙනවා. කැපවීම නැති කෙනෙකුට එච්චර ලොකු ක්‍රිකට්‌ එකක්‌ ගහන්න අමාරුයි. හිතේ සතුටින් වැඩ කරන්න බැරිනම් හොඳම දේ අයින් වෙලා යන එක.” යනුවෙන් වාස්‌ වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් චමින්ද වාස්‌ යනු ලෝකයම පිළිගත් වේග පන්දු යවන්නෙකි. ඔහුගේ අත්දැකීම් වලින් වෙනත් රටක්‌ ප්‍රයෝජන ගැනීමට බලා සිටින්නේදැයි කරන ලද විමසීමකදී, “ඇත්තටම ඔව්. මට ආරාධනා කිහිපයක්‌ම ඇවිල්ල තියෙනවා. ඒත් මම ආසියාවේ රටක වේග පන්දු පුහුණුකරු ලෙස සේවය කරන්නෙ නැහැ කියල කියන්න ඕන. ලෝක කුසලානයෙන් පස්‌සෙ මගේ තීරණය දැන ගන්න ලැබෙයි.” යනුවෙන් පැවසීය.

වත්මන් ලොව සිටින හොඳම වේග පන්දු බලඇණිය ශ්‍රී ලංකාව සතුව සිටින බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට වේග පන්දු යවන්නන්ගේ නියගයක්‌ නොමැති බවත් සඳහන් කළ වාස්‌ තවත් බොහෝ දේ පැවසීය. ඒ සියලු තොරතුරු ලබන 8 වැනිදා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ තුළින් පළවේ.