ශ්‍රී ලංකා යෞවනයින්ට දිරිය දෙන්න මහේල කොදෙව් දේශයට

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

2539

ජනවාරි 1 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල පුහුණු උපදේශක තනතුරේ වැඩ භාර ගත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මේ මස 8 වැනිදා කොදෙව් දේශය බලා පිටත්ව යනවා.

ඒ එළඹෙන 19න් පහළ ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වීමටයි.

ආසියානු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 19න් පහළ ලෝක කුසලානය සඳහා සහභාගී වීම වෙනුවෙන් කොදෙව් දේශයට ගොස් තිබෙනවා. ඒ අනුව මහේල මේ මස 9 වැනි ඉරිදා PCR පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵල පැමිණි පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුල සඳහා එක්වීමට නියමිතයි.

පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහේලව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල පුහුණු උපදේශක තනතුරට පත් කළ බව දන්වා සිටියා. එම ගිවිසුම් ගත වසරක කාලය ඇතුළත ජාතික ක්‍රිකට් පිලේ සියලු ක්‍රියාකාරකම් මහේලගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන අතර, ක්‍රීඩකයන්ට සහ ඉහළ තාක්ෂණ මධ්‍යස්ථානයේ කළමනාකාර කණ්ඩායමට සියලු ආකාරයේ උපාය මාර්ගික සැලසුම් මඟින් දායකත්වය සපයනු ඇත.

14 වැනි වරට පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයක් සඳහා පැමිණ තිබෙන්නේ 2000 වසරේ දී පමණයි. මලින්ත ගජනායකගේ නායකත්වය යටතේ එම අවසන් මහා තරගයට පැමිණි සත්කාරක ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයට පත්වුනා.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකාව සමඟ ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් තරග වදිනවා.

මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩයන්,

  • A – බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය
  • B – ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, උගන්ඩාව
  • C – ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියා, සිම්බාබ්වේ
  • D – ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන,

  • ස්කොට්ලන්තය – ජනවාරි 14 – Guyana හිදී
  • ඕස්ට්‍රේලියාව – ජනවාරි 17 – Saint Kitts and Nevis හිදී
  • බටහිර ඉන්දීය කොදෙව් – ජනවාරි 21 – Saint Kitts and Nevis හිදී

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<