වෙළඳ සේවා 20-20 කිරුල කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට

849
Commercial Credit - MCA Singer T20 Champions

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම MAS යුනිචෙලා කණ්ඩායම සමඟින් පසුගිය සති අන්තයේ තරඟ වැදුනේ, වෙළඳ සේවා පළමු කාණ්ඩයේ පිළිමලුන් පිටු දැකීමේ එක්දින තරඟාවලියේ කිරුල සඳහායි. එහිදී ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත වූ MAS යුනිචෙලා කණ්ඩායම පහසු ජයක් වාර්තා කරන්නට සමත් විය.

ඊට සතියකට පසු අද (30) දිනයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම එම පරාජයේ වාඩුව ගන්නට සමත් වූයේ වෙළඳ සේවා පළමු කාණ්ඩයේ පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී MAS යුනිචෙලා කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමිනුයි.

පසුගිය ලිපි: කොමර්ෂල් ක්‍රෙඩිට් හා MAS යුනිචෙලා අවසන් තරඟයට

කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී කාසියේ වාසිය දිනා ගත් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම තීරණය කලේ පළමුවෙන් පන්දු යැවීමටයි. පිතිකරුවන්ට යෝග්‍ය ලෙස දිස්වූ තණතිල්ලේ වාසිය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් MAS යුනිචෙලා ක්‍රීඩකයින්, පළමු පන්දු වාර 4 තුල ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 41ක්. රමිත් රඹුක්වැල්ල සහ රශ්මික ඕපාත මේ ආරම්භක සබඳතාවට දායක විය.

කෙසේ වෙතත් මෙම ආරම්භක සබඳතාව බිඳ වැටීමෙන් අනතුරුව තරගයේ ග්‍රහණය සම්පූර්ණයෙන්ම නතු වූයේ කොමර්ෂල් ක්‍රෙඩිට් දඟ පන්දු යවන්නන්ටයි. වමත් දඟ පන්දු යවන ක්‍රීඩක චතුරංග ද සිල්වා කඩුලු 3ක් දවා ගනිද්දී, ඔහුට අගනා සහයක් ලබා දුන් මලින්ද පුෂ්පකුමාර සහ ප්‍රනීත් විජේසේන කඩුලු 2 බැගින් දවා ගන්නට සමත් විය.

MAS යුනිචෙලා කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසන් වන තෙක් හෝ තම ඉනිම ගොඩ නැඟීමට නොහැකි වූ අතර ඔවුන්ගේ ඉනිම ලකුණු 112කට සීමා විය.

ලකුණු 28ක් සමඟින් MAS යුනිචෙලා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ රමිත රඹුක්වැල්ල පන්දුවෙන්ද කඩුලු 3කින් දායකත්වය ලබා දුන්නේ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම අත පොවන මානයේ තිබූ කුසලානය අහිමි වීමේ අවදානමක්ද මතු කරමිනුයි. කෙසේ වෙතත් අශාන් ප්‍රියන්ජන් ලකුණු 26ක් රැස් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යාමට සමත් විය.

චතුරංග ද සිල්වා ද අගනා ලකුණු 22ක් ලබා ගන්නට සමත් විය. මේ අනුව කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම අවසන් මහා තරගය ජය ගත්තේ තවත් පන්දු 14ක් සහ කඩුලු 5ක් ඉතිරි කරමිනුයි.

ලකුණු පුවරුව

MAS යුනිචෙලා සියල්ලන් දැවී -112 (18.4) : රමිත රඹුක්වැල්ල – 28, චතුරංග ද සිල්වා – 3/22, ප්‍රනීත් විජේසේන – 2/08, මලින්ද පුෂ්පකුමාර –  2/16

කොමර්ෂල් ක්‍රෙඩිට් – 115/5 (17.4) : අශාන් ප්‍රියන්ජන් – 26, චතුරංග ද සිල්වා – 22, රමිත රඹුක්වැල්ල – 3/27

කඩුලු 5ක ජයක් සමඟින් වෙළඳ සේවා පළමු කාණ්ඩයේ විස්සයි විස්ස තරගාවලියේ ශූරතාව කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට