ගේට්වේ අඛණ්ඩව තෙවැනි වරටත් කුසලානය ජය ගනී

Neville De Alwis සහ Ralph Alles අභියෝගතා කුසලානය

223

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති Neville De Alwis – Ralph Alles අභියෝගතා පාපන්දු තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට ගේට්වේ විද්‍යාලය සමත් වුනා. ඒ ගෝල 2-1ක් ලෙසින්. තරගය පැවැත්වුණේ රත්මලාන ගේට්වේ විද්‍යාල ක්‍රීඩාංගණයේ දීයි.

මෙවර Neville De Alwis – Ralph Alles අභියෝගතා කුසලානය පැවැත්වුණේ තුන්වැනි වරටයි. පළමු තරග දෙකම ජයග්‍රහණය කිරීමට ගේට්වේ විද්‍යාලය සමත්ව තිබීම විශේෂත්වයක්.

පළමු තරගයේ දී ගෝල 5-1ක් ලෙස ගේට්වේ ජයග්‍රහණය වාර්තා කළ අතර දෙවැනි තරගයේ දී ඔවුන් ගෝල 1-0ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සාන්ත තෝමස් කණ්ඩායමේ රකේශ් රත්නසිංහම් හට අවස්ථාව හිමි වුනත්, එය සාර්ථක කර ගැනීමට ඔහුට හැකියාව ලැබුණේ නැහැ.

ඉන් මිනිත්තු කීපයකට පසු සමුණු කග්ගොඩාආරච්චි හට ද ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමි වුනා. ඔහුට නිදහස් පහරක් එල්ල කිරීමට අවස්ථාව ලැබුණ ද එය ද ගෝලයක් බවට පරිවර්තනය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

තරගයේ 16 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ගේට්වේ කණ්ඩායම සමත් වුනා. සමිතු ජයසිංහ විසින් ලබා දුන් පන්දුව සාන්ත තෝමස් ගෝල රකින්නා වූ ශ්‍රේස්ත ඇන්තෝනිස් පහසුවෙන් පරාජය කරමින් ගෝලයක් බවට පරිවර්තනය කිරීමට ගේට්වේ කණ්ඩායම සමත් වුනා.

ගේට්වේ කණ්ඩායමට පහසු ගෝලයක් වාර්තා කිරීමට තවත් අවස්ථාවක් හිමි වුවත්, එවර එය සාර්ථකව ව්‍යර්ථ කිරීමට සාන්ත තෝමස් ගෝල රකින්නා සමත් වුනා.

තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර ලකුණු තත්වය සමකිරීමට සාන්ත තෝමස් කණ්ඩායමට අවස්ථාව හිමි වුනා. එහි දී නායක නිවේන් නානායක්කාර විසින් එල්ල කළ අලංකාර පා පහර ගෝල සීමාව පසුකර යාමට සමත් වුනේ නැහැ.

පළමු අර්ධයේ දී තවත් ගෝලයක් වාර්තා කිරීමට ගේට්වේ කණ්ඩායම උත්සාහ කළ ද, සාන්ත තෝමස් ගෝල රකින්නාගේ දස්කම් හමුවේ එය ද ව්‍යර්ථ වුනා.

පළමු අර්ධය: ගේට්වේ විද්‍යාලය 1 – 0 සාන්ත තෝමස් විද්‍යාලය

දෙවැනි අර්ධයේ දී ගෝලයක් වාර්තා කිරීමට සාන්ත තෝමස් කණ්ඩායමේ රකේෂ් රත්නසිංහම් හට අවස්ථාව හිමි වුවත්, එය සාර්ථක කර ගැනීමට ඔහුට හැකියාව ලැබුණේ නැහැ. සමිතු ජයසිංහ තරමක් දුර සිට ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කළ ද පන්දුව ගෝල කණුවේ වැදි ඉවතට යොමු වුනේ අවාසනාවන්ත අයුරින්.

තරගයේ 59 වැනි මිනිත්තුවේ දී දිගු කාලයක් නිහඬව තිබූ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සාන්ත තෝමස් කණ්ඩායම සමත් වුනා. එහි දී මහිත් පෙරේරා විසින් එල්ල කළ පන්දුව ගේට්වේ නායක ඇලන් ප්‍රනාන්දුගේ හිසේ වැදී තම ගෝලය තුළට යොමු වුනා. ඒ අනුව තරගයේ ලකුණු තත්වය සමකිරීමට සාන්ත තෝමස් කණ්ඩායම සමත් වුනා.

ඉන් මිනිත්තු කිහිපයකින් පසු නැවතත් තරගයේ පෙරමුණ ගැනීමට ගේට්වේ කණ්ඩායම සමත් වුනා. එහි දී සමුණු කග්ගොඩාආරච්චි ගේ ප්‍රබල දස්කම් කැපී පෙනුණා.

සාන්ත තෝමස් කණ්ඩායම ද නැවත තරගය සමකිරීමට ප්‍රබල උත්සාහයක නිරත වුනා. ඔවුන්ට ගෝලයක් ලබාගැනීමේ ආසන්න අවස්ථාවක් හිමි වුනත් එය සාර්ථකව ව්‍යර්ථ කිරීමට ගේට්වේ ගෝල රකින ක්‍රීඩක ඉන්ෆාස් ඉක්බාල් සමත් වුනා.

තරගය නිමා වුනේ ගෝල 2-1ක් ලෙස ගේට්වේ කණ්ඩායමට තුන්වැනි ජයග්‍රහණයත් හිමිකර දෙමින්.

අවසන් ගෝල තත්වය: ගේට්වේ විද්‍යාලය 2-1 සාන්ත තෝමස් විද්‍යාලය

  • දක්ෂතම ගෝල රකින්නා – ඉන්ෆාස් ඉක්බාල්
  • වටිනාම ක්‍රීඩකයා – සමුණු කග්ගොඩාආරච්චි

සෙසු තරග

  • ආදි සිසු තරගය: ගේට්වේ විද්‍යාලය 2(3)-2(1) සාන්ත තෝමස් විද්‍යාලය
  • කාන්තා තරගය: ගේට්වේ විද්‍යාලය 2-0 සාන්ත තෝමස් විද්‍යාලය
  • 16න් පහළ තරගය: ගේට්වේ විද්‍යාලය 2-3 සාන්ත තෝමස් විද්‍යාලය

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<