Ballon d’Or ආකෘතිය වෙනස් වෙයි

249
Ballon d'Or football award revamps format

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට ලබා දෙන සම්මානය ලෙස සැලකෙන Ballon d’Or සම්මානය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ ආකෘතිය වෙනස් කිරීමට තීරණය කළ බව එහි සංවිධායකයින් වන ප්‍රංශ පාපන්දු සඟරාව ප්‍රකාශ කළා.

පෙර වසරක කාලයක් තුළ දැක්වූ දස්කම් මත ලබා දුන් මෙම සම්මානය මීට පසු එක් තරග වාරයක දී දක්වන දස්කම් මත ලබා දීමට තීරණය කර ඇති අතර මීට අමතරව පෙර 170ක් සිටි විනිශ්චය මණ්ඩලය 100ක් දක්වා පහත දැමීමට ද තීරණය කර තිබෙනවා.

එහි කාන්තා සම්මානය තෝරාගැනීමට යොදා ගන්නා මාධ්‍යවේදීන් සංඛ්‍යාව ද 50ක් බවට පත්කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

මෙම වෙනස්කම් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රංශ පාපන්දු සඟරාවේ ප්‍රධානී Pascal Ferre ප්‍රකාශ කළේ, මෙමගින් නව ජවයක් මීට ලබා දීමට අවස්ථාව හිමිවන බවයි.

“තරගවාර දෙකක් මත පදනම්ව තීරණ ගැනීමට වඩා මෙය වඩාත් පැහැදිලි දෙයක් වෙයි. ඒ වගේම Ballon d’Or කියන්නේ තනි පුද්ගලයෙකුගේ දස්කම් මත ඒ පුද්ගලයාට ලබා දෙන තනි සම්මානයක්”, යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මීළඟ Ballon d’Or සම්මානය සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ ලබා දීමට එහි සංවිධායකයින් බලාපොරොත්තුවෙන් පසුවන අතර ඔවුන් ඒ සඳහා 2022 කාන්තා යූරෝ කුසලානයෙන් අවසන් වන තරග වාරයේ දස්කම් සලකා බලනු ඇත.

එමෙන්ම මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානය පැවැත්වෙන කාලසීමාව 2022 තරග වාරයට අයත් නොවන නිසාවෙන් එහි දස්කම් දක්වන ක්‍රීඩකයින්ට 2023 සම්මාන උළෙල තෙක් බලාසිටීමට සිදු වනු ඇත.

එමෙන්ම මෙම සම්මානය වෙනත් සම්මානයන්ට සමාන වීම වැළැක්වීමට මෙම වෙනස්කම් සිදු කළ බව සඳහන් වන අතර තවද මෙම වෙනස්කම්, ගියවර සම්මානය සුපිරි ක්‍රීඩක Lionel Messi හට හිමිවීමෙන් අනතුරුව නැගුණු චෝදනාවන්ට පිළිතුරු ලෙස ද සිදු කර ඇති බව වාර්තා වනවා.

මතබේදයකට තුඩු දුන් එම සම්මානය එවකට සිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ Robert Lewandowski හට හිමි විය යුතු බව බොහෝ නිරීක්ෂකයන්ගේ මතය වුනා.

Times of India ඇසුරිනි

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<