පිපෙන්නට දඟලන ශ්‍රී සුමංගලෝදයේ ක්‍රිකට් පොඩ්ඩෝ

1365
Kalahe Sri Sumangalodaya

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව සේ ම වැඩිම පිරිසක් නිරත වන ක්‍රීඩාව ද වන්නේ ක්‍රිකට් ය. කොළඹ සේ ම ඈත හද්දා පිටිසර ද එහි වෙනසක් නැත. අප මේ පරිසර ක්‍රිකට් වෙනස ගැන කතා කළ ද නගරබදව පවතින ඇතැම් පාසල්වල ද අදටත් ක්‍රිකට් ක්‍රීඩාව නැත. ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර ගත නොහැකිව වන ළතැවිල්ල ගැන කිසිදු සටහනක් ද නැත. එසේ සටහන් නොමැති තැනක, ඉතා දුෂ්කර ව ඇරඹි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයග්‍රාහී ගමනක් ගිය පාසලක් ගැන ThePapare.com තබන සටහනකි මේ.

කඩුලු පැනීමෙන් රට දිනවීමට බලාපොරොත්තු වන ශෙෂාන්

ඕනෑම ක්‍රීඩාවක දී වගේම මලල ක්‍රීඩා කෙළිබිමත් වඩාත් කතා බහට ලක්වෙන්නේ එහි..

දකුණු ලක අග නගරය ක්‍රිකට් තෝතැන්නකි. එක් පසෙකින් ගාලු කොටු පවුරත්, තවත් පසෙකින් මෝඩ ඇලෙන් මායිම් වන සමනළ උයනත්, ඊට මුහුණලා ඇති වරාය පිවිසුම් මුහුදු තීරයත් සහ කොළඹ මාතර දෙදිසාවට දිවෙන ගාලු පාරටත් මැදිව පිහිටි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාලු ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයකගේ ක්‍රිකට් තිඹිරි ගෙය වේ.  එහි පහස ලැබුවෝ රිච්මන්ඩ්, මහින්ද, සාන්ත ඇලෝසියස් සහ විද්‍යාලෝක වැනි නගරය ආශ්‍රිතව පැවති පාසල්වල ක්‍රිකට් ක්‍රීඩකයෝ ය.

නගරය අහිමි බහුතරයක් වූ ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රිකට් අල්ලා ගන්නේ යාන්තමිනි. ඔවුන්ට හරි හැටියට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ක්‍රීඩාංගණයක් නොමැත. අවශ්‍ය පහසුකම් නොමැත. මේ හේතුව මත ඇතැමුන්ගෙන්  අමාරුවෙන් අල්ලා ගත් ක්‍රිකට් ක්‍රීඩාව ද ඉබේම අතහැරේ. යන්තමින් හෝ ක්‍රීඩාව අල්ලා ගෙන සිටින්නේ ඒ කෙරෙහි ඇති ඇල්මක් සහ ඇම්මක් ඇති අය ය.

ගාල්ල, කළහේ ශ්‍රී සුමංගලෝදය ද්විතීක විද්‍යාලය සිටිනුයේ මේ ක්‍රිකට් ඇල්මේ උච්චස්ථානයේ ය. ඔවුන්ට තිබෙන්නේ යැයි පැවසීමට දේකුත් නැත. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් නම් ඔවුන්ගේ දක්ෂතා උපරිමයේ ය.

කොළඹ සිට පැමිණ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පසුකර මාතර දෙසට යන විට හමුවන මාගාල්ල හන්දියෙන් වමට හැරී සැතපුම් තුන හතරක් පමණ ගිය තැන ශ්‍රී සුමංගලෝදය ද්විතීයික විද්‍යාලය හමුවේ. එහි ඉතිහාසය වසර ශතකයක් දුරට පැතිර ගිය ද ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය ලෙස සටහන් වන්නේ 2017 වසරයි.

“විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ යුතුයි කියන පළමු බීජය වැඩුණේ විදුහල්පති ගාමිණී ශාන්ත මහතා තුළ ය. ඔහු මේ සම්බන්ධයෙන් ඒ වන විට කිහිප දෙනෙක්ගෙන්ම විමසා තිබුණා. නමුත් කුමන හෝ හේතුවක් මුල් වෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය දිනෙන් දින ප්‍රමාද වුනා. නමුත් එතුමාගෙ බලාපොරොත්තුව ඒ ලෙසින්ම දලු ලා වැඩුණා. ඒ අතර තමයි ගාල්ලගේ මහතා හමුවෙන්නේ.“ ශ්‍රී සුමංගලෝදය විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්ය තුෂාර ද සිල්වා මහතා ශ්‍රී සුමංගලෝදයේ ක්‍රිකට් ප්‍රසූතිය ගැන පැවසුවේය.

ශ්‍රී සුමංගලෝදයේ ක්‍රිකට් ආරම්භ කිරීමේ පුරෝගාමියා වර්තමාන විදුහල්පති ගාමිණි ශාන්ත මහතා බැව් ඒ අනුව පැහැදිලි වේ. ඊට ජීවය දෙන්නේ ගාල්ල ප්‍රදේශයේම සිටින රෝහණ ප්‍රියන්ත ගාල්ලගේ මහතා ය. ඔහු ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු ශ්‍රී සුමංගලෝදයේ ක්‍රිකට් ක්‍රීඩාවට අත තබන්නේ පාසල් බිමේ ඈත කොනක පැති විකට්ටුවක් තම වියදමින් සාදා දෙමිනි.

කොළඹ කොලීජි දණ ගැස්වූ කළුතර ටෙනිස් පොඩ්ඩෝ

ටෙනිස් යනු අධිරාජ්‍යවාදී ක්‍රීඩාවකි. එසේත් නැත්නම් සුද්දන්ගේ ක්‍රීඩාවකි..

“ගාල්ලගේ මහතා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ වගේම උද්යෝගිමත් ක්‍රීඩාලෝලියෙක්. ඔහු ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් වෙහෙසෙන කෙනෙක්. කිසිදු ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සෑම දෙයක් ගැනම අවධානයෙන් ඉන්නේ. ඔහු ආයෝජනය කළ දේ හරි හැටි පරිභෝජනය වෙනවා ද කියල සොයා බලනවා. ඔහු සුමංගලෝදයේ ක්‍රිකට් වෙනුවෙන් කළ ආයෝජනය අද අපතේ ගිහිල්ල නැහැ කියන විශ්වාසයේ අපි සිටිනවා. ඇත්තටම මේ ජයග්‍රහණ ඉතාම සුවිශේෂී. මොකද අපි තවමත් හරියටම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරල වෙන්නේ මාස 3ක පමණ කාලයක්.“ ශ්‍රී සුමංගලෝදයේ ක්‍රිකට් පුහුණුකරු ධනුෂ්ක සංජීව සමරකෝන් මහතා පැවැසුවේ ය.

විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන සමරකෝන් මහතා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 13න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තෙවැනි කොටසේ තරගාවලියට සහභාගී වෙන ශ්‍රී සුමංගලෝදය ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ වන විට දෙවැනි කොටස නියෝජනය කිරීමට ද සුදුසුකම් ලබා ඇත. ඒ පළමු වටයේ දී තරග 4කට සහභාගී වෙමිනි.

ඔවුන් සහභාගී වූ තරග අතුරින් ගිංතොට මහා විද්‍යාලයීය කණ්ඩායම සහ හිනිදුම විද්‍යාරාජ විද්‍යාලයට එරෙහිව පැවති තරග වැඩි වාසි ලබා ගනිමින් නොවිසඳුන තරග ලෙසත්, ගාල්ල මහින්ද විද්‍යාලයීය බී කණ්ඩායමට සහ ඕපාත ශ්‍රී රාහුල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණත් ලබා ගනිමින් එම කාණ්ඩයෙන් අපරාජිතව පෙරළිකාර කණ්ඩායම සේ වැජඹෙති.

මේ වසරේ ජුනි මාසයේ ඇරඹි ශ්‍රී සුමංගලෝදය, ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර මාස කිහිපයක ඇවෑමෙන් වයස අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයෙන් මේ තරමින් පෙරළියක් කිරීමට දක්ෂතා දැක්වීම කෙරෙහි පාසල් ප්‍රජාව සිටිනුයේ ද අපරිමිත වූ සතුටකිනි. මේ සතුට තවත් දෙගුණ තෙගුණ වන්නේ මේ සෑම ජයග්‍රහණයක් පිටුපසම ඔවුන්ගේ කැපවීම ද ඇතිල්ලි ඇති නිසා ය.

“අපි ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ බොහොම සීරු මාරුවට. විද්‍යාලයීය විදුහල්පතිතුමා වගේම ක්‍රීඩා භාර ආචාර්ය නයන කුමාර මහතා ද මේ අසීරු කාර්ය සාර්ථක කර ගැනීමට විශාල කැපවීමක් කළා. ඒ වගේම ගාල්ලගේ මහතා අපිට අසීරූ වූ සෑම අවස්ථාවකම නිර්ලෝභීව අපේ අවශ්‍යතාවන් ඉෂ්ට කළා. මේ සියල්ල යම් ප්‍රමාණයකින් ලැබෙද්දී පුහුණුකරු සමරකෝන් මහතා විශාල ලෙස තමන්ගේ කාලය කැප කරමින් ළමුන්ව මේ තත්ත්වයට ගෙනාවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සෑම දරුවෙක්ගේම මාපියන් මේ වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. ඒ වගේම විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය සහ අනෙකුත් අයත් මේ වෙනුවෙන් දැක්වූ සහයෝගය අපමණයි. මේ සියලු දෙනාගේ ආශිර්වාදයත්, ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවත් නිසා අපිට මේ වගේ තැනකට එන්න පුළුවන් වුනා. මේ ජයග්‍රහණය මෙතැනින් තවත් ඉදිරියට ගෙන යන්න ඕන. මම විශ්වාස කරනවා අපිට ඒ දේ කරන්න පුළුවන් වෙයි.”  ක්‍රිකට් භාර ආචාර්ය තුෂාර ද සිල්වා මහතා පැවසුවේ ය.

“ජුනි මාසයේ දී ක්‍රිකට් ආරම්භ කළාට අපිට ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වලට එන්න තවත් මාස දෙකක් පමණ ගියා. ඒ ක්‍රිකට් ගැන ඔවුන් දන්නා දේ වඩාත් ක්‍රමිකව හැඩ ගස්වන්න. ඒ වගේම තිබෙන ක්‍රීඩාංගණය ක්‍රිකට් ක්‍රීඩාව කිරීමට සුදුසු ආකාරයට සකසා ගන්න. මේ වෙනුවෙන් අපට බොහෝ දෙනෙක් උදව් කළා. ඒ සියලුම දෙනා වෙනුවෙන් මේ කණ්ඩායම තවත් ඉදිරියට ගෙන යෑමයි මගේ බලාපොරොත්තුව.“  පුහුණුකරු සමරකෝන් මහතා පැවසුවේ ය.

ශ්‍රී සුමංගලෝදය විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම මේ පැමිණි ගමනේ දී වරින් වර පැමිණ සහයෝගය දැක්වූ දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරුවන් සේ කටයුතු කරන නිලංක හඳුන්ගේ සහ අමිල පෙරේරා මහත්වරුන්ගෙන් ලත් සහයෝගය ද ස්තූතියෙන් යුතුව සිහිපත් කිරීමට සමරකෝන් මහතා අමතක කළේ නැත.

ඉතාම විශ්වාසවන්ත පිතිකරුවන් සහ පන්දු යවන්නන්ගෙන් සමන්විත ශ්‍රී සුමංගලෝදය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සේ ම කඩුලු රැකීමේ වගකීම ද හිමිව ඇත්තේ ඩිල්ශාන් කාවින්ද වෙත ය. උප නායකත්වය යසිරු රංගන වෙත පැවරී ඇත. ඔවුන් දෙදෙනා සමඟ කණ්ඩායමේ දක්ෂතා දක්වන්නෝ බොහෝ ය.

වාර්තා පිට වාර්තා බිඳ දමන පුංචි කැකුළ; රුවන්සා වීරක්කොඩි

පසුගිය සිකුරාදා (10) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී අවසන් වූ ශ්‍රීමත් ජෝන් ටාබට්..

ඒ අතුරිනුත් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන නිම්සර ගුණසේකරට කණ්ඩායමේ හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයකි. ඊට අමතරව පිතිකරුවන් සේ දුලීප නෙත්මිණ සහ ගිම්හාන් මධුශංක ද කැපී පෙණෙන දක්ෂතා දක්වමින් කණ්ඩායම ජයග්‍රාහී මාවත දක්වා ගෙන යයි. කණ්ඩායමේ විශ්වාසවන්තම පන්දු යවන්නා වී ඇත්තේ දකුණත් පිට දඟපන්දු යවන සදීෂ සංදීප ය. දකුණතින් මද වේගපන්දු යවන උෂාන් සචින්තට ද කණ්ඩායමේ සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. මොවුන් සමඟින් පිති හරඹයේත්, පන්දු යැවීමේ හරඹයේත්, පන්දු රැකීමේ හරඹයේත් පමණක් නොව ඕනෑම දේකට ඔට්ටු කණ්ඩායමක් ශ්‍රී සුමංගලෝදය විද්‍යාලය සතු බවය පැවසෙන්නේ.

මොවුන්ගේ ක්‍රීඩාංගණය ඝන බොරැල්ලෙන් ගහණ ය. කුමන පැත්තක සිට බැලුව ද ක්‍රීඩාංගණය දිස් වෙන්නේ දුඹුරු පැහැයෙනි. නමුත් එය ඔවුන්ට ලෝකයේ තිබෙන හොඳම ක්‍රීඩාංගණය ය.

ඔවුන්ගේ ලෝකයම ක්‍රිකට් ය. කතා බහ ද ගමන බිමන ද ක්‍රිකට් ය. ක්‍රීඩාංගණය සැකසීම ද ක්‍රිකට්ම යැයි ඔවුන්ගේ නිගමනයයි. තරගයක දී සේ ම පුහුණුවීම්වල දී ද මේ සියල්ලෝම කඩිමුඩියේ වැඩ ය. ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් නොවේ දෙමාපියන් ද හරි හරියට වැඩ ය. ලණු පැදුර එළීම, ඒ මත සීමා මායිම් කිරීම, ක්‍රීඩාංගණයේ සීමාවන් ලකුණු කිරීම යන මේ සියලු දේ සිදු කෙරෙනුයේ මේ සියල්ලන්ගෙනි.

ඒ ඔවුන්ගේ ලෝකයේ ක්‍රිකට් තිබෙන තැන ය. “සුපිරි “ තත්ත්වයන් කෙසේ වෙතත් “හොඳ“ ක්‍රීඩාංගණ හෝ පහසුකම් ඔවුන්ගේ ලෝකයට අවැසි නැත. අවශ්‍ය ක්‍රිකට්ම පමණි. ක්‍රිකට් ඇත්නම් ඔවුන්ට ඊට වඩා දෙයක් නැත.

ක්‍රිකට් විනිසුරුවරයෙක් වූ ටී ටේස්ටර් – රැන්මෝ මාටිනස්

හිස් අවකාශයක් හැඩ වෙන්නෙ ඊට මොන මොනවා හෝ එකතු වූ පසුවයි. ජීවිතයත් ඒ වගේ…

“අපිට ඊළඟට ලොකු ඉස්කෝල එක්ක සෙල්ලම් කරන්න වෙයි කියල සර්ල කිව්වා. අපිට දිනන්න පුළුවන් වෙයි කියලත් කිව්වා. ඒකට දැනට වඩා හොඳට මහන්සි වෙලා පුහුණු වෙන්න ඕන. අපි ඔක්කෝම එකතු වෙලා ඊළඟ තරග දිනන්න ඕන. දිනල අන්තිම වටයට ඇවිත් කප් එක දිනන්නත් ඕන.“ මේ නායක ඩිල්ශාන් කාවින්දගේ අදහස ය.

ඔවුන්ගේ ඒ අහිංසක බලාපොරොත්තුව ඉෂ්ට වේවා යි, ThePapare.com කණ්ඩායමේ ද සුබ පැතුම්.

ශ්‍රී සුමංගලෝදය ද්වීතීයික විද්‍යාලයීය ක්‍රිකට් සංචිතය

ඩිල්ශාන් කාවින්ද (නායක), යසිරු රංගන (උප නායක), නිම්සර ගුණසේකර, ගිම්හාන් මධුශංක, ඉරේෂ් උදයංග, උෂාන් සචින්ත, කවිඳු සංජන, කවිඳු ලක්ෂිත, දුලීප නෙත්මිණ, නවීර දේශප්‍රිය, තරුෂ ඩිල්ශාන්, චමිඳු ගිම්හාන්, අශේන් නිසල්, තරිඳු නවෝද්‍ය, භාතිය යසස්, සදීෂ සංදීප, තෂ්මිල දනුජය, කවීෂ නෙත්මන්, සුමල් දේවන්ත, සංජු සමීර

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<