ක්‍රිකට් විනිසුරුවරයෙක් වූ ටී ටේස්ටර් – රැන්මෝ මාටිනස්

493

හිස් අවකාශයක් හැඩ වෙන්නෙ ඊට මොන මොනවා හෝ එකතු වූ පසුවයි. ජීවිතයත් ඒ වගේ. හැබැයි ඒ එකතු වෙන දේවල්වලට වටිනාකමක් තියෙන්න ඕන. නැත්නම් ඊට නිවැරදි පෙළගැස්මක් තියෙන්න ඕන.

අපි හැමෝගෙම ජීවිතවල මොන මොනව හෝ පෙළ ගැහිල තියෙනවා. ඒ පෙළ ගැහීම්වල තැනින් තැනින් එකතු කරගත් දේවල් අපි මෙසේ ThePapare.com මත දිග අරින්න සූදානම්. ඒ සඳහා අපෙන් ඇරයුම් ලැබෙන්නේ 2017 ඩයලොග් ක්‍රිකට් සම්මාන රාත්‍රියේ දී වසරේ දක්ෂතම ක්‍රිකට් විනිසුරුවරයා වූ රැන්මෝ මාටිනස් මහතා යි.

ලැබූ සම්මානෙන්ම කතාව පටන් ගනිමු..?  ‍

මෙය මගේ ජීවිතයේ ලැබූ විශාල ම ජයග්‍රහණයක්. ඇත්තටම ඒ වෙනුවෙන් ඇත්තේ පුදුමාකර සතුටක්. ක්‍රිකට් පිටියේ වූ වෙහෙස මහන්සියට ලැබූ මේ සම්මානය මට ආශීර්වාදයක්. මෙම සම්මානය මට ලැබෙන්නේ මමත් සමඟ අනෙක් අන්තයෙන් හිටගෙන සිටි විනිසුරුවරයාගෙන් ලැබූ සහයෝගය නිසයි. ඒ නිසා මේ අවස්ථාවේ විශේෂයෙන්ම ඔවුන්ට ස්තූති කළ යුතුයි.

ඔබගේ ළමා විය ගත වෙන්නේ කුමන ආකාරයෙන් ද?

මගේ තාත්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. අම්මා ලේක්හවුස් එකේ. අපි පදිංචි වෙලා හිටියේ නැදිමාල – දෙහිවල. ගේ පේන මානයේ ක්‍රීඩාංගණයක් තිබුණා. අපේ වැඩේම ක්‍රිකට් ගහන එක. පාසල් ගියේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට. තාත්තා වැඩ කළේ නාරාහේන්පිට. උදේ වැඩට යන ගමන් අපිව පාසලට ගිහිල්ල දාල නැවත කෑම විවේකයේ දී ගෙදර එක්ක යනවා. මේ නිසා තාත්තට හැමදාම හැතැප්ම ගාණක් බයිසකල් පදින්න වුනා.  

ඔබේ ක්‍රිකට් දිවිය ආරම්භ වෙන්නේ කොතැනින් ද?

ක්‍රිකට් ගහන වයස එද්දි මම හොඳ ක්‍රිකට් පිස්සෙක්. නිතරම ඉතිං ක්‍රිකට්ම තමයි. මේ නිසා මට අවුරුදු 11 වෙද්දිම තාත්ත මාව ක්‍රිකට් පුහුණුවීම්වලට යවනවා. ඒත් මට වයස අවුරුදු 13න් පහළ සාන්ත පීතර කණ්ඩායමේ කිසිම තරගයක් ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නැහැ. ඔය අතරේ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඩැරල් විමලරත්න සර් එනවා. මම වේගපන්දු යවන්නෙක්. ඔහු මාව නෙට් ප්‍රැක්ටිස් එකට දැම්මා. 13න් පහළ කණ්ඩායමේ ප්ලේස් එකක් නොලැබුණ මට වයස අවුරුදු 15න් පහළ ඩිවිෂන් වන් ටීම් එකට තේරෙනවා. එතන තමයි මගේ ක්‍රිකට් ආරම්භය වෙන්නේ. ඒ වසරේම අපිට වයස අවුරුදු 15න් පහළ අනුශූරයන් වෙන්නත් පුළුවන් වුනා.

එතැනින් පස්සේ ඔබේ ක්‍රිකට් දිවිය ගලා යන්නේ කොහොම ද?

වයස අවුරුදු 17න් පහළ උප නායකයා වෙනවා. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට අවුරුදු 3ක් ක්‍රීඩා කරනවා. 1986 කණ්ඩායමේ කැප්ටන් වෙනවා. ඊට කලින් අවුරුද්දෙ මම ඔබ්සර්වර් සම්මාන උළෙලේ දී දක්ෂතම පන්දු යවන්නා වෙනවා. ඒ නිසාම වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නත් වරම් ලැබෙනවා. ඒ රොෂාන් මහානාමගේ නායකත්වය යටතේ. ඊට පස්සෙ අවුරුදු 23න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන්න තේරෙනවා. ඒත් ආබාධයක් හේතුවෙන් එම සංචාරය මග හැරෙනවා. පළමු පෙළ ක්‍රීඩා කරන්නෙ මීගමුව සහ සෙබසතියන්නයිට් ක්‍රිකට් සමාජවලට. වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියට හෙප්තුල්ලාබෝයිස් ආයතනයට ක්‍රීඩා කරනවා.

ක්‍රිකට් දිවියේ අමතක නොවන මතකය මොකක් ද?

මම පාසලේ නායකයා වූ වසරේ දී අපි කොකාකෝලා කුසලානයේ අවසන් මහා තරගයට තේරෙනවා. අනෙක් කණ්ඩායම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය. මේ වෙද්දි අපි තමයි නමක් දිනාගෙන හිටි කණ්ඩායම වුනේ. හැමෝම බලාපොරොත්තු වෙලා හිටියේ අපි ලේසියෙන්ම තරගය දිනයි කියලයි. ඒත් අපිට දිනන්න බැරි වුනා. මේක ලොකු ලැජ්ජාවක් විදිහට බොහෝ දෙනෙක් දැක්කා. පත්තරවලත් අපේ පරාජය ලොකුවට ගියා. මේ නිසා අපි කාලයක් යනකම් ග්‍රවුන්ඩ්වලට බැස්සෙත් නිකං කොන් වෙලා වගේ. ඇත්තටම අදටත් ඒ සිදුවීම මතක් වෙද්දි පුංචි කනස්සල්ලක් සිතට දැනෙනවා.

ක්‍රිකට්වලට ගෙදරින් ලැබුණ සහයෝගය කොහොම ද?

ඉතාම හොඳ සහයෝගයක් ලැබුණා. පාසල් කණ්ඩායමේ සිටි බොහෝ දෙනෙක් යමක් කමක් තියෙන අය. අපි ඒ තත්ත්වෙ හිටියෙ නැහැ. පාසල් ගියේ තාත්තගෙ පා පැදියෙන්. නමුත් අපි අපේ නැති බැරිකම පෙන්නන්න ගියේ නැහැ. මට මතකයි තාත්තා මගේ හැම තරගයක්ම නරඹන්න එනවා. ඒ ඇවිත් පැත්තකට වෙලා තමයි තරගය නරඹන්නේ. බිග්මැච් එකට කලින් තියෙන රැස්වීමට ගෙදර අය එක්ක යන්න වෙනවා. එදා තමයි විදුහල්පතිතුමා අපේ තත්ත්වය දැන ගත්තේ. මම හිතන්නෙ සාන්ත පීතර විද්‍යාල ඉතිහාසයේ ක්‍රිකට් නායකයා වුන දුප්පත්ම කෙනා මම වෙන්න ඇති.

තාත්ත ඔබේ ක්‍රිකට් දිවියට විශාල පිටිවහලක් වූ චරිතයක් ලෙසයි අපිට හැඟෙන්නෙ?

තාත්තා බොහොම නිහඬ චරිතයක්. කවදාවත් තරගයක් පරාජය වුනා කියල බණින්නෙ නැහැ. අඩුම තරමින් පරාජය වුණේ ඇයි කියලවත් අහන්නෙ නැහැ. එදාට තාත්ත මට තරගය ගැන, අපේ වැරදි ගැන හිතන්න ඉඩ ලබා දෙනවා. තරගය පරාජය වුනත් එදාට තාත්තගෙන් කන්න අයිස් ක්‍රීම් එකක් හරි ලැබෙනවා. හැබැයි තරගයක් දිනපු දවසට තාත්ත ටිකක් දොඩමළු වෙනවා. එදාට තාත්තගෙන් ලැබෙන උපදෙස් ඉතාම වටිනවා. හැබැයි ඉතිං පරාජය වුනහම ලැබෙන අයිස් ක්‍රීම් එක දිනපු දවසට නැහැ.  

ඔබේ පාසල් කාලය..?

අපි ඉතාම විනයක් අනුව හැදුණේ. පාසලේ දී වගේම නිවසේදීත් විනය මූලික වුනා. මේ නිසා මගේ පාසල් කාලය ඉතා ආදර්ශමත්ව ගෙවුණා.

ඔබේ මුල්ම රැකියාව වෙන්නේ කුමක් ද?

හෙප්තුල්ලාබෝයිස් සමාගමේ සහකාර ටී ටේස්ටර් පදවියක්. මට ඒ රැකියාව ලැබෙන්නේ ක්‍රිකට් නිසාමයි. රස්සාවත් කරගෙන ක්‍රිකට් ගහන්නත් ලැබෙන නිසා මම ඉතාම කැමැත්තෙන් රස්සාව කළා. ඒ නිසාම වෙන්න ඇති මම මගේ මුල්ම රස්සාවට අදටත් ආදරේ.

ඔබ ක්‍රිකට් විනිසුරුවෙක් වෙන්නේ?

මම වැඩ කළ හෙප්තුල්ලා බෝයිස් කම්පැනි එක වහනවා. මේ නිසා කරපු රස්සාව නැති වෙනවා. ඒ අතර දවසක් කේ.ටී . ෆ්‍රැන්සිස් සර් හමුවෙනවා. ඔහුම තමයි මේ අම්පයරින් සීන් එක ඔලුවට දාන්නෙ. රස්සාවක් නැති මට මේක වැදගත් වුනා. අම්පයරින් කර කර ඉන්න අතරේ නැවත රස්සාව ලැබෙනවා. ඔය අතරෙ රස්සාව ද අම්පයරින් ද කියන තෝරා ගැනීම එනවා. මම දෙකක් නැතිව අම්පයරින් තෝර ගන්නවා. මම හිතනවා මම ඒ ගත්ත තීරණය හරි කියලා. මේ වෙද්දි මම ටෙස්ට් තරග 8ක්, එක්දින ජාත්‍යන්තර තරග 44ක් සහ විස්සයි 20 ජාත්‍යන්තර තරග 11ක් කරල තියෙනවා.

ක්‍රිකට් විනිසුරු දිවියේ ඔබේ ආදර්ශමත් චරිත මොනව ද?

ක්‍රිකට් විනිසුරු දිවියට මඟ පෑදු කේ. ටී. ෆ්‍රැන්සිස් සර් පළමු වැනියා වෙනවා. ඊට පසුව ක්‍රිකට් විනිසුරු පුෂ්පරාජා මහතා. ඔහු විශාල ලෙස මාව දැනුවත් කළා. ඒ වගේම තමයි පීටර් මැනුවෙල් මහතා. ඔහු සහ අපේ තාත්තා එකම අදහස් ඇති අය. තාත්තා වගේම පීටර් සර්ටත් පිහිටලා තියෙන්නේ එකම ගති ගුණ. තරගයක දී වරදක් කරල තියෙනවා නම් ඒ ගැන කවදාවත් මගෙන් එහෙම වුණේ ඇයි කියල අහල නැහැ. ඒක මටම හිතට අරගෙන විසඳගන්න ඉඩ දුන්නා. ඒ වගේම තමයි කඩුල්ල පිටුපස හරියට හිටගෙන ඉන්න පවා කියල දුන්නෙ පීටර් සර්.

කොහොමද ගෙදර ජීවිතය?

ඉතාම හොඳින් අවබෝධයෙන් ජීවත් වෙනවා. මගේ බිරිඳ මට නෑකමින් ඥාති සහෝදරියක් වෙනවා. පවුලේ ළඟම හිතවතුන්. නිතර දෙවේලෙ හමුවෙනවා. අපි අතර තදබල බැදීමක් ඇති වුනා. මේක ගෙවල්වලට කියා ගන්න බැරිව හිටියේ. නමුත් අපි දන්නවා මේ සම්බන්ධය ගැන කීවත් දෙපැත්තෙන් කිසිම අකමැත්තක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒත් මේක කියාගන්න බැරිව ඉන්න කොට කොහොම හරි මේක දැනගෙනද දන්නෙත් නැහැ ගෙවල්වලින්ම යෝජනාව ආවා. දැන් අපි බැඳල ලබන අවුරුද්දට අවුරුදු 25ක් වෙනවා. මට අවුරුදු 21ක පුතෙක් ඉන්නවා. එයා පරිගණක අංශයෙන් උසස් අධ්‍යාපනය ලබනවා.

ක්‍රිකට් විනිසුරු දිවියට බිරිඳගෙන් ලැබෙන සහයෝගය මොන වගේ ද?

ඇය නැත්නම් මට තරගයක් කරන්න තියා ග්‍රවුන්ඩ් එකට යන්නවත් ලැබෙන්නේ නැහැ. මම පාවිච්චි කරන ලේන්සුවේ සිටම ඇය තමයි සියල්ල රැස් කරල දෙන්නේ. අඩුම තරමින් මට මගේ බෑග් එකවත් පැක් කර ගන්න බැහැ. මම වෙනුවෙන් එයා එහෙම උදව් කරත් එයා කවදාවත් ක්‍රිකට් මැච් එකක්වත් නරඹල නැතිව ඇති. ඇය රග්බි ප්‍රේක්ෂිකාවක්.

පුතා ක්‍රිකට් පැත්තට යොමු වුණේ නැද්ද?

එයත් අම්ම වගේ තමයි. ක්‍රිකට් ගැන කතා කරන පැත්තකවත් ඉන්නෙ නැහැ. එයා කැමති කාර් රේසිං වලට.

ඔබ ක්‍රිකට් විනිසුරුවෙක් නොවුණා නම්…?

අනිවාර්යයෙන්ම ටී ටේස්ටර් අංශයෙන් ඉහළටම යන්න තිබුණා. මම ඒ රැකියාවට ක්‍රිකට් තරමටම ආසා කළා. නමුත් ඒ රැකියාව මම අතහැරල දැම්මේ ක්‍රිකට් නිසා. යම් විදිහකින් මම ක්‍රිකට්වලට යොමු නොවුණා නම් ඒ අංශෙන් ඉහළටම යන්න තිබුණා.

ආරංචියි ඉතා හොඳ මිතුරු සංගමයක් තිබෙනවා කියලා?

ඇත්තටම මම නිතරම ඉන්නෙ මිතුරන් සමඟ. ඔවුන්ගේ සමාගම මම ඉතාම ප්‍රිය කරනවා. අපි නියෝජනය කරන වෘත්තීය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ (PCU) සිටින අය සමඟ මාසයකට සැරයක් දෙකක් අනිවාර්යයෙන්ම කොහේ හෝ සංචාරයක යෙදෙනවා.

ඔබේ අනාගත බලාපොරොත්තුව..?

මගේ අනාගත බලාපොරොත්තු ගොඩ නැගෙන්නේ ක්‍රිකට් විනිසුරු දිවියෙන් විශ්‍රාම ගියට පස්සෙ. ඒ වෙනකම් මෙහෙම ගලායන ජීවිතයට මම ආසයි. කවද හරි දවසක විශ්‍රාම ගිය දවසක දී ඉතා පිටිසර පළාතකට වෙලා කාලය ගත කරන්න තමයි බලාපොරොත්තුව.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<