යොවුන් ලෝක කුසලානයට ගිය ඇෆ්ගනිස්තානයේ 4ක් එංගලන්තයෙන් නවතී

12206

පසුගිය දා කැරිබියන් දූපත් හිදී නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සිව්දෙනෙකු නැවත ඇෆ්ගනිස්ථානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව සිය කණ්ඩායම් සගයන් සමඟ නැවත ඇෆ්ගනිස්ථානයට නොපැමිණ එක්සත් රාජධානියේ රැඳී සිටින බව ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් ඔවුන්ගේ තාවකාලික වීසා බලපත්‍ර පෙබරවාරි 8 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණා. ඔවුන් සිව්දෙනා දැනට ලන්ඩනයේ සිටින බව ESPNcricinfo වෙබ් අඩවිය විසින් තහවුරු කළා.

මෙම සිව්දෙනාට එක් ක්‍රීඩකයෙකු ඇතුළත් වන අතර සෙසු සාමාජිකයන් කණ්ඩායමේ සහය කාර්‍යමණ්ඩලයේ තිදෙනකු වනවා. ඔවුන් එක්සත් රාජධානියේ සරණාගතභාවය අපේක්ෂා කරන බව ද NDTV විසින් සඳහන් කර තිබුණා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය (ACB) මෙම සිදුවීම පිළිබඳව තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සිය ඉතිහාසයේ සාර්ථකම ලෝක කුසලානය බවට පත්කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුනා. ඔවුන් සිව්වැනි ස්ථානය ලබා ගනිමින් තරගාවලිය නිමා කළ අතර එය 2020ට වඩා ස්ථාන තුනක වර්ධනයක්.

ඇෆ්ගනිස්ථානය සිය තරගාවලිය නිමා වීමෙන් අනතුරුව පසුගිය සෙනසුරාදා (05) නැවත ඇෆ්ගනිස්ථානය වෙත පැමිණීම සඳහා Antigua හි ගුවන්තොටුපලින් පිටත්ව තිබුණා. ඉන් අනතුරුව ඔවුන් තාවකාලික වීසා පදනම මත ඇෆ්ගනිස්ථානය වෙත යාම සඳහා Heathrow ගුවන්තොටුපලට පැමිණ තිබුණා. ඒ ඉරිදා (6) උදෑසනයි.

පසුව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා කාබුල් වෙත ගුවන් යානයකින් පැමිණීමට සැලසුම් කර තිබුණා. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පිළිගැනීම සඳහා එරට ක්‍රිකට් ආයතනය විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.

කෙසේ වෙතත් කණ්ඩායමේ පුහුණුකරුවන්, සහායක කාර්ය මණ්ඩලය ඇතුළු ඇෆ්ගනිස්තාන සංචිතයේ ක්‍රීඩකයන් Heathrow ගුවන්තොටුපලින් පිටත් වන අතර ක්‍රීඩකයෙකු සහ සහය කාර්‍යමණ්ඩලයේ තිදෙනෙකු එය ප්‍රතික්ෂේප කර Heathrow ගුවන්තොටුපලේ රැඳී සිට තිබෙනවා.

එක්සත් රාජධානි රජයේ නීති රීති අනුව පුද්ගලයෙකුට තාවකාලික වීසා බලපත්‍රයක් මත පැය 48කට වඩා වැඩි කාලයක් රට තුළ රැඳී සිටිය නොහැකි වනවා. ඒ අනුව Heathrow හි රැඳී සිටි සිව්දෙනාගේ තාවකාලික වීසා බලපත්‍ර අඟහරුවාදා (08) අවසන් වනවා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා කැරිබියන් දූපත් වෙත පැමිණීම ද ප්‍රමාද වී තිබූ අතර ඔවුන්ට ලෝක කුසලානය අහිමි වීමේ අවදානමක් ද ඇතිව තිබුණා.

ලෝක කුසලාන තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක Raees Ahmadzai මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ ඔවුන් සිව්දෙනා ඔවුන්ගේ තීරණය පිළිබඳව නැවත සිතා බලා නැවත ඔවුන්ගේ මව් රටට පැමිණෙනු ඇති බවයි. Ahmadzai ඔවුන්ට පෞද්ගලිකව කතා කර තත්වය පැහැදිලි කළ බවත් පවසා සිටියා.

මම ඔවුන්ට කතා කළා. ඔවුන්ට මගේ පණිවිඩ ලැබුණා. නමුත් ඔවුන් තවමත් මට ප්‍රතිචාර දැක්වූයේ නැහැ”, ESPNcricinfo වෙත අදහස් දක්වමින් Ahmadzai පවසා සිටියා.

මම ඔවුන්ට කිව්වා ඇෆ්ගනිස්ථානයට ඔවුන්ව අවශ්‍යයි කියලා. ක්‍රීඩාව සහ ක්‍රිකට් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් බොහෝ දේ කර තිබෙනවා. ලෝක කුසලානයේ දී අපට හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. ඒක ඉතාමත් පුදුමයි”, Ahmadzai පවසා සිටියා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ඇෆ්ගනිස්ථාන රජය පරාජය කරමින් තලේබාන් සංවිධානය බලයට පත්වුනා. එහි දී ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති, නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ සිවිල් වැසියන් ඇතුළු 100,000කට වැඩි ඇෆ්ගන් ජාතිකයන් පිරිසක් රට හැර ගොස් තිබුණා. එහි දී ඔවුන්ට සරණාගත බව ලබා දීමට රටවල් කීපයක් ඉදිරිපත් වී තිබුණා.

සමහර විට අපිට එන චිත්තාවේග එක්ක ඒ වගේ ක්ෂණික තීරණ ගන්න හිතෙන්න පුළුවන්. නමුත් පසුව ඔබ කරපු දේ ගැන නැවත හිතද්දී ඒ ගැන පසුතැවීමක් එන්න පුළුවන්. මම විශ්වාස කරනවා ඔවුන් ආපසු ඒවි කියලා. එය ඔවුන්ගේ පුද්ගලික තීරණයක්. මම මේ අයව දන්නවා. ඔවුන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් වෙනුවෙන් අවශ්‍ය ගොඩක් දක්ෂ අය.”

මේ සිව්දෙනා ආපසු ඇෆ්ගනිස්ථානයට නොපැමිණීමට තීරණය කළහොත් එය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට කිසිදු බලපෑමක් නොකරන බව Ahmadzai පවසා සිටියා.

ඔවුන් නැවත එන්නේ නැත්නම් ඒකෙන් අපේ ක්‍රිකට්වලට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒත් එයාලට හැමදාම වරදකාරී හැඟීමක් ඉතිරි වේවි.”

ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව ජීවමානව පවතීවි. රටේ අවිනිශ්චිතභාවයක් සහ අස්ථාවරත්වයක් තිබුනත්, අපි ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය පවත්වා ගන්න සමත් වුනා. මම විශ්වාස කරනවා ක්‍රීඩාවේ අනාගතය දීප්තිමත්ව පවතිනවා කියලා. අපි පසුගිය ලෝක කුසලානයේ හත්වැනි ස්ථානයට ආවා. මේ අවුරුද්දේ සිව්වැනි තැනට ආවා.

කැරිබියන් දූපත්වල දී අපිට ගොඩක් ශක්තියක් සහ සහයෝගයක් ලැබුණා. මහේල ජයවර්ධන ඇතුළු විරුද්ධ කණ්ඩායම් පවා අපිට ප්‍රශංසා කළා. ඔවුන් අපිට කිව්වා අවුරුදු 19න් පහළ මේ වගේ දක්‍ෂ ක්‍රීඩකයන් දැකීම පුදුම සහගතයි කියලා. ඒ වගේම ඔයාලා දවසක ඉහළට එයි කියලා ඔවුන් කිව්වා. ඒක මේ තරුණ ක්‍රීඩකයන්ට ලොකු ශක්තියක්.”

ESPN Cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<