ශ්‍රී ලංකා ඉන්දීය තරගාවලිය ගැන තවත් අනාවැකියක්

ශ්‍රී ලංකා ඉන්දීය තරගාවලිය 2021

289

ශ්‍රී ලංකා ඉන්දීය එක්දින තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ විශ්වාසය තවත් වැඩි වනු ඇතැයි හිටපු ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියෙකු වූ MSK Prasad පවසා තිබෙනවා.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සඳහා සූදානම් වන අතරතුර නවක සහ දෙවන පෙළ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකා තරගාවලිය සඳහා සහභාගී වනවා.  

එහි දී ක්‍රීඩකයන් කීපදෙනෙකු ටෙස්ට් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර තිබෙනවා. ඒ යම් ක්‍රීඩකයෙකුට ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වීමට නොහැකි වුවහොත් ඇති වන අපහසුතාවය මඟහරවා ගැනීම සඳහායි.

ශ්‍රී ලංකා ඉන්දීය තරගාවලිය පිළිබඳව MSK Prasad පසුගිය දා ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ Mumbai Indians නියෝජනය කරන Suryakumar Yadav ශ්‍රී ලංකා තරගාවලිය තුල කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් වනු ඇති බවයි.

ශ්‍රී ලංකා ඉන්දීය තරගාවලිය සඳහා එක්දින තරග 3ක්  සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වනවා. තරගාවලිය ජූලි 13 වැනිදා මෙර‍ට දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය කණ්ඩායමට තරුණ ක්‍රීඩකයන් වන Suryakumar Yadav, Ishan Krishan මෙන්ම Sanju Samson ද ඇතුළත් වනවා. ඔවුන් පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. 

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් Avesh Khan අතිරේක ක්‍රීඩකයෙක් ලෙස එංගලන්ත සංචාරය සඳහා ද නම් කර තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වමින් MSK Prasad පවසා සිටියේ ඔහුට තරගාවලි දෙකම අහිමිවුවහොත් එය මහත් අවාසනාවක් බවයි.

“Suryakumar Yadav ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා තරගාවලිය තුල මම දකින විදිහට ඔහු ප්‍රබල සාධකයක් වේවි. ඒ වගේම Ishan Krishan සහ Sanju Samson හටත් හොඳ අවස්ථාවක් තියනවා දස්කම් අතරට එන්න.”

“ඒ වගේම මම ආසාවෙන් බලාගෙන ඉන්නවා Avesh Khan මේ කණ්ඩායමට ඇතුළත් වේවි කියලා. ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වන්න සමත් වුනා. ඔහුට මේ තරගාවලි දෙකම අහිමි වුනොත් ඒක අවාසනාවක්” Sportstar වෙත අදහස් දක්වමින් MSK Prasad පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල සිටින නව පරපුරේ ක්‍රීඩකයන් සහ මීට වසර ගණනාවකට පෙර සිටි ක්‍රීඩකයන් අතර කැපීපෙනෙන වෙනස්කම් කීපයක් ඇති බවත් MSK Prasad මෙහි දී පවසා සිටියා.

“වත්මන් ක්‍රීඩාව සහ අපේ කාලයේ තිබුණ ක්‍රීඩාව ගත්තම ලොකු වෙනසක් මම දකිනවා. ක්‍රීඩකයන්ගේ දක්ශතාවය එතරම් වෙනසක් නැති වුනත් තරගය කෙරෙහි ඔවුන්ගේ තියන විශ්වාසය සහ නිර්භීත බව අපේ කාලයට වඩා වෙනස්. අපිට වඩා පස්ගුණයක් විතර ඔවුන් විශ්වාසයෙන් ක්‍රීඩා කරනවා.” 

“උදාහරණයකට ගත්තොත් Suryakumar Yadav ඔහුගේ පළවෙනි විස්සයි විස්ස තරගයේ ඔහු මුහුණ දුන්න පළවෙනි පන්දුවටම හයේ පහරක් එල්ල කළා. ඒ ලෝකේ හොඳම පන්දු යවන්නෙක්ට. ඒ වගේම Ishan Krishan ඔහුගේ පළමු ඉනිමේම ඉතාමත් ප්‍රබල ඉනිමක් ක්‍රීඩා කළා එංගලන්තයට එරෙහිව.” 

“මේ තරුණ කණ්ඩායම ශ්‍රී ලංකා තරගාවලිය ජයග්‍රහණය කළොත් මම ඒ ගැන පුදුම වෙන්නේ නැහැ” MSK Prasad පවසා සිටියා.

MSK Prasad 2016 වසරේ සිට 2020 වසර දක්වා ඉන්දීය ජාතික කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම සහභාගී වූයේ ද ඔහු යටතේයි. ඔහුගේ නිල කාලය පසුගිය වසරේ මාර්තු මාසයේ දී අවසන් වූ අතර වත්මන් ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානියා වන්නේ Chetan Sharma යි.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 

  • ජූලි 13 – පළමු එක්දින තරගය – කොළඹ දී
  • ජූලි 16 – දෙවැනි එක්දින තරගය – කොළඹ දී
  • ජූලි 19 – තෙවැනි එක්දින තරගය – කොළඹ දී
  • ජූලි 22 – පළමු විස්සයි විස්ස තරගය – කොළඹ දී
  • ජූලි 24 – දෙවැනි විස්සයි විස්ස තරගය – කොළඹ දී
  • ජූලි 27 – තෙවැනි විස්සයි විස්ස තරගය – කොළඹ දී

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<