ශ්‍රී ලංකා – සිම්බාබ්වේ කාලසටහන නිකුත් වෙයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

7206
SL v Zim

සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර සංවිධානය කෙරෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ජනවාරි 16 වැනිදා සිට 21 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි 10 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර 2023 ලෝක කුසලාන සුපර් ලීගයේ (2020–2023 ICC Cricket World Cup Super League) කොටසක් ලෙස පැවැත්වෙන තරගාවලියේ තරග සියල්ල දිවා/රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතයි.

එය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් 8, 2023 ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. ශ්‍රී ලංකාව දැනට එහි 6 වැනි ස්ථානයේ පසුවන අතර සිම්බාබ්වේ කණ්ඩායම 13 වැනි ස්ථානයේ පසුවනවා.

සිම්බාබ්වේ කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2017 වසරේ දී වන අතර ඒ එක්දින තරග 5කින් යුත් තරගාවලියක් සඳහායි. ගාල්ලේ සහ හම්බන්තොට දී පැවැත්වුණු එම තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට සිම්බාබ්වේ සමත් වුනා.

“සිම්බාබ්වේ තරගාවලියේ එක්දින තරග 3ට අමතරව විස්සයි විස්ස තරග 3ක් පවත්වන්න අපි උත්සාහ කළා, නමුත් අවාසනාවකට අපිට එය කරගන්න බැරි වුනේ, ඕස්ට්‍රේලියානු තරගාවලිය ආරම්භ වීමට දින 14කට පමණ පෙර ඕස්ට්‍රේලියාවට යාමට සිදු විය හැකි නිසා, ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති නිසයි”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පසුගිය දා පැවසුවා.

ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග 5කින් සමන්විත තරගාවලියක් සඳහා පෙබරවාරි මුල් සතියේ දී ඕස්ට්‍රේලියාව බලා පිටව යාමට නියමිත අතර එම තරගාවලිය පෙබරවාරි 11 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඉන්පසුව පෙබරවාරි මාසය අවසානයේ දී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරග දෙකක් සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව බලා යාමට ද සූදානමින් සිටිනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජනවාරි 16
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 18
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 21

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<