ජනාධිපති කුසලාන පාපන්දු – අවසන් තරගයට පෙර දැක්මක්

766
President’s Cup 2017

2017 ජනාධිපති කුසලාන අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ලබන 22 වැනිදා (හෙට) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතයි. පසුගිය වසරේ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධාන කල වයස අවුරුදු 19න් පහල තරගාවලියේ පළමු කාණ්ඩයේ 3 වන ස්ථානය සඳහා තරග වැදුණු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සහ කොළඹ හමීඩ් අල් හුසේනි විද්‍යාලය මෙම තරගාවලියේ ශූරතාව සඳහා යලිත් එකිනෙකා සමගින් තරග වදිනු ඇත.

පසුගිය වසර තුල විශිෂ්ට තරග රටාවක නිරත වුවද, ශූරතා හිඟයකට මුහුණ දුන් මාරිස්ටෙලා ක්‍රීඩකයන් මේ වසර ආරම්භයේදීම ශූරතාවක් දිනා ගැනීමේ බලා පොරොත්තුවෙන් පසු වෙද්දී, පසුගිය වසරේ ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ ශූරයන් සහ මෙම තරගාවලියේ හිටපු ශූරයන් වන හමීඩ් අල් හුසේනි කණ්ඩායම, පෙරකී 3 වන ස්ථානය සඳහා වූ සටනේ පරාජයේ වාඩුව ගැනීමේ අභිලාශය ඇතිව මෙම තරගයට එක් වෙයි.

මාරිස්ටෙලා සහ හමීඩ් විදුහල් අවසන් මහා තරගයට

ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග වලින් මාරිස්ටෙලාවන් ගෝල 04-02ක් ලෙසත්, හමීඩ් අල් හුසෙයිනි විදුහල…

අවසන් තරගය සඳහා පැමිණි ගමන් මග.

හමීඩ් අල් හුසේනි විද්‍යාලය

සත්කාරක කණ්ඩායමට මෙම තරගාවලියේ මෙතෙක් දුරක් එතරම් අභියෝගයකින් තොරව ඉදිරියට පැමිණීමේ අවස්ථාව ලැබුනේ අවසන් පූර්ව තරගයේදී පුත්තලම සහිරා විද්‍යාලයට ගෝල 6-0ක දැවැන්ත පරාජයක් සහ අර්ධ අවසන්ක පූර්ව තරගයේදී කොළඹ නාලන්ද විද්‍යාලයට ගෝල 4 – 0ක පරාජයක් අත් කර දෙමිනුයි.

තරගාවලිය තුල ඔවුන් මුහුණ දුන් එකම අභියෝගාත්මක තරගය පළමු වටයේදී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව පැවති අතර එහිදී ගෝල 2 -1ක් ලෙස තියුණු ජයක් ලබන්නට ඔවුන්ට හැකිවිය.

පෙර තරග ප්‍රතිඵල

  • පුත්තලම සහිරා විද්‍යාලයට එරෙහිව (6 – 0)
  • කොළඹ නාලන්ද විද්‍යාලයට එරෙහිව (4 – 0)
  • කොටහේන ශා. බෙනඩික් විද්‍යාලයට එරෙහිව (2 – 1)

මාරිස්ටෙලා විද්‍යාලය

මීගමුව ක්‍රීඩකයන්ගේ ගමන් මග දෙස හැරී බැලීමේදී ඔවුන්ට අර්ධ අවසන් පූර්ව තරගයේදී මෙන්ම අවසන් පූර්ව තරගයේදී ද ප්‍රබල අභියෝග වලට මුහුණ දීමට සිදු විය. බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරගය ගෝල 1 -1ක් ලෙස අවසන් වූ අතර මාරිස්ට් ක්‍රීඩකයන් එම තරගය ජය ගත්තේ දඬුවම් පහර 3 – 2ක් ලෙසයි. අවසන් පූර්ව තරගයේදී ඔවුන් හමුවේ කඳාන ද මැසිනෝද් විද්‍යාලය ගෝල 4 – 2ක් ලෙස පරාජය විය.

මාරිස්ටෙලා විද්‍යාලයට පහසු ප්‍රතිවාදීන් ලෙස වර්ග කල හැකි කණ්ඩායමක් හමුවුනේ පළමු වටයේදී පමණයි. එහිදී කොළඹ තර්ස්ටන් විද්‍යාලය ගෝල 5 – 0ක් ලෙස අන්ත පරාජයකට ලක් කරන්නට ඔවුන්ට හැකියාව ලැබුණි.

පසුගිය තරග ප්‍රතිඵල

  • කඳාන ද මැසිනොද් විද්‍යාලයට එරෙහිව  (4-2)
  • බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව  (3 (1) – 2 (1) )
  • කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව  (5-0)

මැසිනෝඩ්, හමීඩියා, සහිරා සහ මාරිස්ටෙලා අවසන් පූර්ව වටයට

හමීඩ් අල් හුසේයිනි විද්‍යාලයේ 80 වැනි කණ්ඩායම විසින් සංවිධානය කරන ජනාධිපති කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ…

ප්‍රධාන ක්‍රීඩකයන්

මාරිස්ටෙලා විද්‍යාලය

නායක අංජන ගුණවර්ධන පසුගිය වසර පුරාවටමත් මාරිස්ට් කණ්ඩායමේ සාර්ථකත්වයේ පෙරගමන්කරු විය. කණ්ඩායමට අවශ්‍යම මොහොතේ තම සේවය ලබා දීම ඔහුගේ ප්‍රධාන ගුණාංගයක් වන අතර මෙම තරගාවලියේ පැවති තරග 3 තුලදී ගෝල 2ක් වාර්තා කර ඇති ඔහු තවත් ගෝල කිහිපයක් සමගින් තම කණ්ඩායම ශූරතාව වෙත ගෙන යන්නට බලාපොරොත්තුවෙන් පසුවනු ඇත.

නිදහස් පහර (Free Kicks) එල්ල කිරීමේ විශේෂඥයෙකු වන තත්සර ප්‍රනාන්දු අවසන් පූර්ව තරගයේදී ගෝල 2ක් වාර්තා කිරීමට සමත් විය. එම ගෝල දෙකම නිදහස් පහර දෙකක් ගෝලය වෙත කෙලින්ම යොමු කරමින් ලබාගත් ඒවා වීම විශේෂත්වයකි. එබැවින් ප්‍රතිවාදීන් මාරිස්ටෙලා ගෝල සීමාව අසලදී නිදහස් පහරක් ලබා නොදී සිටීම පිලිබඳව වඩාත් සැලකිලිමත් වනු ඇත.

ගෝල රකින ක්‍රීඩක උමේෂ් සංජය ද මාරිස්ටෙලා කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවකි. තරගයේ තීරණය සඳහා දඬුවම් පහර යොදා ගැනීමට සිදු වුවහොත් ඔහුගේ වටිනාකම තවත් වැඩි වන්නේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ද, සාන්ත පීතර විද්‍යාලයේ දඬුවම් පහර 2ක් වලක්වන්නට ඔහු සමත් වීම හේතුවෙනුයි.

හමීඩ් අල් හුසේනි විද්‍යාලය

හමීඩ් අල් හුසේනි නායකයා ද ඔහුගේ ප්‍රතිවාදී නායකයා ලෙසම දක්ෂ මැද පෙළ ක්‍රීඩකයෙකි. පන්දු ව්‍යාප්තිය පිලිබඳ විශේෂ හැකියාවක් දක්වන අමාන් ෆයිසර් රත්නම් ක්‍රීඩා සමාජයද නියෝජනය කරන අතර මෙම තරගාවලිය තුලදී ගෝල 2ක් වාර්තා කිරීමට සමත්ව සිටියි.

අමාන් මෙන්ම පිටියේ මධ්‍ය ප්‍රදේශයේ ක්‍රීඩා කරන මොහොමඩ් සජාඩ් ද, හමීඩ් අල් හුසේනි ගෝල ලාභී ලැයිස්තුවේ ඉහලින්ම සිටින ක්‍රීඩකයෙකි. කණ්ඩායම් සගයන් සජාඩ් විවර කරන ගෝල ලබා ගැනීමේ අවස්ථා පිළිබඳව මෙන්ම ඔහු විසින්ම ගෝලයක් හෝ දෙකක් වාර්තා කරනු ඇතැයි ද, බලාපොරොත්තු සහගතව පසු වනු ඇත.

දිනේෂ් ස්ටීවන් ඇතැම් විට පසුගිය පාසල් තරග වාරය තුල දක්නට ලැබුණු හොඳම දැල් රකින්නා විය හැකියි. මෙම තරගාවලියේ දී ගෝලය ඉදිරිපිට බැඳි තාප්පයක් මෙන් වූ ඔහු තරග තුනකදී ප්‍රතිවාදීන් හට ලබා දී ඇත්තේ එක් ගෝලයක් පමණි. පසුගිය වසරේ ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ අවසන් තරගයේ තීරණය දඬුවම් පහර දක්වා ඇදී ගිය අවස්ථාවේදී සහිරා විද්‍යාලයේ දඬුවම් පහර 2ක් වළක්වමින් තම කණ්ඩායමට ශූරතාව හිමි කර දීමේ ප්‍රධානතම වගකීම ඉටු කලේ ද ස්ටීවන් විසිනුයි.

අවසන් වරට මේ කණ්ඩායම් දෙක ක්‍රීඩා කළ තරග ප්‍රතිඵල.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගම් 19න් පහල පළමු කාණ්ඩයේ තරගාවලිය 2016 – 3 වන ස්ථානය සඳහා තරගය

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය  1 – 0 හමීඩ් අල් හුසේනි විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගම් 19න්  පහල පළමු කාණ්ඩයේ තරගාවලිය 2016 – අවසන් මහා තරගය

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය  2 – 0 හමීඩ් අල් හුසේනි විද්‍යාලය

අවසන් තරගයේදී බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?

මෙම කණ්ඩායම් දෙක අතර පැවති පසුගිය තරග දෙස හැරී බැලීමේදී ශූරතාව දිනා ගැනීම සඳහා වැඩි අවස්ථාවක් පවතින්නේ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයටයි. මෙම තරගාවලියේ අවසන් තරග 2 තුලදී ද ඉතා ප්‍රබල ප්‍රතිවාදීන් සමඟ තරග වැදී ජයගත් ඔවුන් අවසන් මහා තරගයේදී තමන්ට එල්ල වන කවර ආකාරයේ අභියෝගයක් වුවත් භාර ගැනීමේ සූදානමින් පසු වනු නොඅනුමානයි.

කෙසේ වෙතත් හමීඩ් අල් හුසේනි විද්‍යාලයටද ප්‍රබල ප්‍රතිවාදීන් හට හොඳ සටනක් දීමේ හැකියාව ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. මේ තරගාවලිය පුරාවට පවත්වාගෙන ආ ගෝල ලබා ගැනීමේ රිද්මය තව දුරටත් රඳවා ගැනීමට හැකි වුවහොත් ජනාධිපති කුසලානය යලිත් වරක් තමන් සතුවම රඳවා ගැනීමේ හැකියාව ඔවුන් සතුවද පවතියි. එමෙන්ම කොළඹ පැවැත්වෙන තරග වලදී හමීඩ් අල් හුසේනි විදුහලට නිබඳව සහ නොඅඩුව හිමිවන ක්‍රීඩාලෝලී සහයෝගය මෙම තරගය තුලදීද ඔවුන්ට වඩාත් හිතකාමී පරිසරයක් නිර්මාණය කරනු ඇති.

  තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට