ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග වලින් මාරිස්ටෙලාවන් ගෝල 04-02ක් ලෙසත්, හමීඩ් අල් හුසෙයිනි විදුහල ගෝල 06-00ක් ලෙසත් ජයග්‍රහණය වාර්තා කරමින් අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගන්නා ලදී.

මැසිනෝඩ්, හමීඩියා, සහිරා සහ මාරිස්ටෙලා අවසන් පූර්ව වටයට

හමීඩ් අල් හුසේයිනි විද්‍යාලයේ 80 වැනි කණ්ඩායම විසින් සංවිධානය කරන ජනාධිපති කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ හතරක් පසුගිය දිනයන් හිදි කොළඹ සිටි ලීග් පාපන්දු සංකිර්ණයේදී පැවැත්විය.

ද මැසිනෝද් විදුහල සහ මාරිස්ටෙලා විදුහල අතර තරගය

පැවති ප්‍රථම අර්ධ අවසන් තරගය වූ මෙම තරගයෙන් මීගමුව ක්‍රීඩකයෝ ගෝල 04-02ක් ලෙස කඳාන ක්‍රීඩකයින් පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

අර්ධ අවසන් පූර්ව වටයේ දී සාන්ත පීතර විද්‍යාලයට එදිරිව දඬුවම් පහර 3-2ක් ලෙස ජයග්‍රහණය කරමින් මාරිස්ටෙලා විදුහලත්, කළුතර සිරි කුරුස විදුහල ගෝල 02-00ක් ලෙස පරාජය කරමින් ද මැසිනෝද් විදුහලත් අර්ධ අවසන් පූර්ව තරග සදහා අසුන් වෙන්කරගන්නා ලදී.

තරගය ආරම්භ කරමින් ක්‍රීඩකයෝ ගෝලයක් වාර්තා කිරීමට පන්දුව පසුපස හඹා යෑම ආරම්භ කල අතර තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කලේ මාරිස්ටෙලා ක්‍රීඩක තත්සර ප්‍රනාන්දු ය.

ඉන් අනතුරුව කඳාන ක්‍රීඩකයින්ද ලකුණු සමකරන්නේ 26 වැනි මිනිත්තුවේදී සදුන් ඇන්තනි ලබා ගත් ගෝලයත් සමඟිනි.

එම ගෝලයත් සමගින් තරගයේ සම ලකුණු තත්වය මඟ හරවා ගනිමින් ගෝලයක් වාර්තා කිරීම මාරිස්ටෙලා දැරූ වෑයම සාර්ථක වෙමින් තරගයේ 31 වැනි මිනිත්තුවේදි නිදහස් පහරක් සාර්ථක කරගැනීමට නායක අංජන ගුණවර්ධන සමත්විය. ඒත් සමගින් ප්‍රථම අර්ධය නිමාවට පත්වන්නේ මාරිස්ටෙලාවන් පෙරමුණ ගනිමිනි.

ප්‍රථම අර්ධය: ද මැසිනෝද් විදුහල 01 – 02 මාරිස්ටෙලා විදුහල

දෙවැනි අර්ධයේදී මැසිනෝද් ක්‍රීඩකයෝ මාරිස්ටෙලාවන් හඹා යෑමට  උත්සහ දරණ ආකාරයක් දක්නට ලැබුනි. මාරිස්ටෙලාවන්ද තරගයේ සිය ලකුණු ගොන්න තවත් වැඩි කරගැනීමට උත්සහ කරමින් සිය දෙවැනි ගෝලයත් වාර්තා කරන්නට තත්සර සමත් විය. ඒ තරගයේ 41 වැනි මිනිත්තුවේදීයි.

කෙසේනමුත් දෙවැනි අර්ධයේ 55 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කරමින් අවිශ්ක දේශාන් ලකුණු පරතරය 1ක් දක්වා අඩුකිරීමට උත්සහ දැරූ නමුත් තරගයේ 70+3 මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කරමින් ලකුණු පරතරය 2ක් දක්වා වර්ධනය කරගැනිමට නිසල් සිල්වා සමත්විය.

නියමිත කාලවේලාව අවසානයේදි මාරිස්ටෙලාවන් දෙවන අර්ධයේදී ගෝල ද්විත්වයක් සහ මැසිනෝද් ක්‍රිඩකයින් එක් ගෝලයක් වාර්තා කරමින් ගෝල 04-02ක් ලෙස තරගය නිමාවූයේ මාරිස්ටෙලාවන් අවසන් තරගයට සුදුසුකම් සපුරා ගනිමිනි.

අවසන් ලකුණු තත්වය: ද මැසිනෝද් විදුහල 02 – 04 මාරිස්ටෙලා විදුහල

  • ගෝල වාර්තා කිරීම්:
    ද මැසිනෝද් විදුහල – තත්සර ප්‍රනාන්දු 14’, 41’, අංජන ගුණවර්ධන 31’, නිසල් සිල්වා 70+3’
  • මාරිස්ටෙලා විදුහල – සඳුන් ඇන්තනි 26’, අවිශ්ක දේශාන් 55’

හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය සහ පුත්තලම සහිරා විද්‍යාලය අතර තරගය

දෙවැනි අවසන් පූර්ව තරගය වූ මෙයින් හමීඩ් අල් හුසෙයිනි විදුහල් ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කලේ ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක පහස විදගැනීමට අවස්ථාවක් ලබා නොදෙමිනුයි.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී හමීඩ් අල් හුසෙයිනි විදුහල විසින් නාලන්ද විදුහල ගෝල 04-00ක් ලෙස පරාජය කල අතර ලුම්බිනි විදුහල ගෝල 4-3ක් ලෙසින් පරාජය කරමින් සහිරාවෝ අවසන් පූර්ව වටයට පිවිසියේය.

තරගය ආරම්භ වී මිනිත්තු 10ක් ඇතුලත ගෝල 2ක් වාර්තා කිරීමට හමීඩ් ක්‍රීඩකයින් සමත් වූ අතර ප්‍රථම අර්ධය නිමාවන විට ගෝල 4ක් වාර්තා  වාර්තා කිරීමට ඔවුන් සමත් විය. මොහොමඩ් අමාන්, මොහොමඩ් රිෂාන්, මොහොමඩ් සොහාන් සහ එස්. අබිෂාන් යන ක්‍රීඩකයින් එම ගෝල 4 සඳහා හිමිකම් කීය.

ප්‍රථම අර්ධයට පෙර සහිරාවන්ට නිදහස් පහරකින් ගෝලයක් වාර්තා කිරිමට තිබූ අවස්ථාව මුනේන්ද්‍රන් දිනේෂ් විසින් සාර්ථකව වලක්වාලීය.

ප්‍රථම අර්ධය: හමීඩ් අල් හුසෙයිනි විදුහල 04 – 00 සහිරා විදුහල

දෙවැනි අර්ධයේදී සහිරා ක්‍රීඩකයෝ තරමක් ප්‍රවේසමෙන් ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබුනු අතර හමීඩ් අල් හුසෙයිනි ක්‍රීඩකයින් නම් තරමක් මන්ඳගාමී ස්වරූපයක් ඉසිලීය.

කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී හමීඩ් ක්‍රීඩකයෝ තවත් ගෝල ද්විත්වයක් ලබා ගත් අතර සහිරාවන්ට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය: හමීඩ් අල් හුසෙයිනි විදුහල 06 – 00 සහිරා විදුහල

ගෝල වාර්තා කිරීම්:

හමීඩ් අල් හුසෙයිනි: මොහොමඩ් අමාන් 7’, මොහොමඩ් රිෂාන් 10’, මොහොමඩ් සොහාන් 28’ & 56’, එස්. අබිෂාන් 33’, මොහොමඩ් ආදීල් 53.

කහ කාඩ්පත්:

  • හමීඩ් අල් හුසෙයිනි: මොහොමඩ් සොහාන් 47’
  • සහිරා: මොහොමඩ් හයාම් 18’, මොහොමඩ් ෆවුසාන් 65’

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට