ආසියානු ක්‍රීඩා උළෙල 2018 චාරිකා සටහන 01

435
  • ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ගුවන් තොටුපොළේ පිහිටා ඇති විශේෂ පිවරුවක සිය සමරු සටහන් තබමින්..

ආසියාවේ මහා ක්‍රීඩා මංගල්‍යය අද (18) ආරම්භ වන්නේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර Gelora Bung Karno දැවැන්ත ක්‍රීඩාංගණ සංකීර්ණයේ පැවැත්වෙන සමාරම්භක උළෙල සමඟයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින මා ඇතුළු තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ඊයේ (17) ජකර්තා නුවර සුකර්ණෝ හට්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඉන්දුනීසියාවට ගොඩ බට මොහොතේ පටන්ම දැක ගැනීමට ලැබුණේ ක්‍රීඩාශීලී ජවයෙන් පිරිපුන් තරුණ තරුණියන් රැසකගෙන් සමන්විත ස්වේච්ඡා සේවක මණ්ඩලයක් (Volunteers) තරගාවලියට පැමිණෙන දහස් සංඛ්‍යාත ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන්, පුහුණුකරුවන් මෙන්ම මාධ්‍යවේදීන් හට ද පහසුකම් සැපයීමට සැදී පැහැදී සිටින ආකාරයයි.

>> ආසියානු ක්‍රීඩා උළෙලේ තොරතුරු Hub එක සඳහා පිවිසෙන්න <<

එමෙන්ම ගුවන් තොටුපොල තුළ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පැමිණෙන පිරිස සඳහා තොරතුරු කවුළු මෙන්ම, ඉන්දුනීසියානු  ආගමන පාලකවරුන් ඇතුළු බලධාරීන් ද, ආසියානු ක්‍රීඩා උළෙලේ අමුත්තන් හට සේවා සැපයීමට යොදවා තිබීම හේතුවෙන් සාමාන්‍යයෙන් විදෙස් රටකට පා තැබූ විට ගුවන් තොටුපොලෙන් ඉවතට පැමිණීමට දරන වෙහෙස මෙහි දී විඳ ගැනීමට සිදු වූයේ නැත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000කට අධික පිරිසක් උරෙ’නුර ගැටෙන ආසියාවේ මහා ක්‍රීඩා මංගල්‍යය ආවරණය කිරීම සඳහා පැමිණි 1000ක් පමණ වූ මාධ්‍යවේදීන් හට සෙවන සපයන ප්‍රධාන ස්ථානය Gelora Bung Karno ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ප්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානයයි. (Main Press Center). අවශ්‍ය සියලු නවීන පහසුකම්වලින් සමන්විත මෙම ස්ථානයේ මාධ්‍යවේදීන් හට සිය රාජකාරි පහසුවෙන් සිදු කිරීමට අවස්ථාව පමණක් නොව ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ද නොඅඩුව සපයන්නට ආසියානු ක්‍රීඩා උළෙල සංවිධායකයන් අමතක කර නොතිබුණි. කෙසේ වෙතත් බොහෝ පිරිසක් එකවර සේවා අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ කිරීම නිසාදෝ ප්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානයේ අන්තර්ජාල පහසුකම් නම් ඉතා මන්දගාමී තත්ත්වයක පවතින බව බොහෝ දෙනාගේ අදහසක් විය.

අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ට පමණ 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතයි. ආසියානු ක්‍රීඩා උළෙල ආවරණය කිරීම සඳහා දින 17ක් ඉන්දුනීසියාවේ කෙරන සංචාරය පිළිබඳ තවත් සුන්දර තොරතුරු සහ සේයා රූ රැගත් මෙවැනිම ලිපියකින් නැවත හමුවෙමු. එතෙක් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<