පැන්ඩෝරා ලේඛනයෙන් හෙළිවුන ක්‍රීඩකයන්ගේ ගනුදෙනු

1452

බදු පැහැර හරිමින් වත්කම් සැඟ වූ දේශපාලනඥයින් හා ප්‍රකෝටිපතියන් කීපදෙනෙකුගේ රහසිගත ගනුදෙනු පිළිබඳව සඳහන් වන රහස් තොරතුරු අඩංගු ලේඛන රැසක් පසුගිය දා ප්‍රසිද්ධ කර තිබුණා.

මෙම ප්‍රකෝටිපතියන් ලැයිස්තුවට ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් කීපදෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

පැන්ඩෝරා ලේඛනය ලෙස නම් කර ඇති මෙම ලේඛන ලැයිස්තුව ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයට යොමුව තිබුණා. පැන්ඩෝරා යන වචනය ග්‍රීක තේරුමක් සහිත වචනයක් වන අතර එයින් කියැවෙන්නේ විවෘත නොකළ යුතු මංජුසාව යන අදහසයි. පැන්ඩෝරා මංජුසාව විවෘත කළහොත් එයින් ලෝකයට අහිතකර දේ සිදු වන බව ග්‍රීක මතයයි.

පැන්ඩෝරා ලේඛනය යනු ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් හෙළිකරන ලද ලේඛනයකි. මෙම නවතම වාර්තාවට ලොව ධන කුවේරයින්ගේ රහසිගත ගනුදෙනු, මුදල් විශුද්ධිකරණය හා බදු පැහැර හැරීමට අදාළ ලියකියවිල මිලියන 12කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වේ. මීට වසර 7කට පෙර ද මෙවන් වාර්තාවක් හෙළිකෙරුණු අතර මෙය එහි යාවත්කාලීන කිරීමක් බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

මෙම ලේඛනයට ඇතුළත් වන ක්‍රීඩකයන් අතර හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් ද සිටීම විශේෂත්වයක්. මීට අමතරව ආජන්ටිනා පාපන්දු ක්‍රීඩකයෙකු වන Ángel Di María, ඉතාලියේ පාපන්දු කළමනාකරු වන Carlo Ancelotti, ස්පාඤ්ඤ පාපන්දු කළමනාකරු Pep Guardiola සහ කැනඩා ජාතික ධාවන ශූරයෙකු වන Jacques Villeneuve සහ තවත් Formula 1 ධාවකයන් කීපදෙනෙකු ඇතුළත් වුනා.

සචින් තෙන්දුල්කාර්, ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පියා British Virgin Islands හෙවත් BVI නම් ආයතනයක සිය මුදල් තැන්පත් කර ඇති බව මෙම ලේඛන අනාවරණය කර තිබෙනවා. එම ආයතනය 2016 වසරේ දී අයථා මුදල් ගනුදෙනු පිළිබඳව චෝදනා එල්ල වූ ආයතනයකි.

2016 වසරේ දී මෙම BVI සමාගම සිය කොටස් විකුණා දැමීමේ දී එම කොටස් ලැයිස්තුගත වටිනාකමට අනුව කොටස් හිමියන් විසින් ආපසු මිල දී ගෙන තිබේ. ඒ අනුව

  • සචින් තෙන්ඩුල්කාර් (කොටස් 9): ඇමරිකානු ඩොලර් ඩොලර් 856,702
  • අංජලී තෙන්ඩුල්කාර් (කොටස් 14): ඇමරිකානු ඩොලර් ඩොලර් 1,375,714
  • ආනන්ද් මේතා (කොටස් 5) : ඇමරිකානු ඩොලර් 453,082

මෙලෙස ලබාගෙන ඇති බව පැන්ඩෝරා ලේඛනවල දැක්වේ.

මෙම සාස් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් නම් ආයතනයේ කොටස්වල සාමාන්‍ය ආපසු ගැනීමේ මිල ඇමරිකානු ඩොලර් 96,000ක් පමණ වේ.  2007 අගෝස්තු 10 දිනැති සමාගමේ යෝජනාවක් අනුව සමාගමේ කොටස් 90ක් මුලින් නිකුත් කර තිබෙනවා.

එහි දී සචින් තෙන්දුල්කාර්ගේ බිරිඳ වන අංජලී තෙන්ඩුල්කාර් එහි කොටස් 60ක් සමඟ පළමු කොටස් සහතිකය ද, ඇගේ පියා කොටස් 30ක් සමඟ දෙවැනි කොටස් සහතිකය ද ලබා ගෙන ඇති බව මෙම ලේඛන මඟින් අනාවරණය කර තිබෙනවා. කෙසේ වෙතත් සමාගමේ ඉතිරි කොටස් නැවත මිල දී ගැනීමේ විස්තර නොමැති අතර, කොටස් 90ක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 8.6ක් (දල වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 60ක්) ලෙස තක්සේරු කර තිබෙනවා.

ආජන්ටිනා පාපන්දු කණ්ඩායම නියෝජනය කරන Ángel Di María අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 9.5ක් අයථා ලෙස උපයාගෙන හෝ වසන්කර ඇති බව පැන්ඩෝරා ලේඛන අනුව අනාවරණය වී තිබෙනවා.

එම ලේඛන අනුව ඔහුගේ ප්‍රතිරූප අයිතිය (Image rights) සඳහා වූ කොන්ත්‍රාත්තු හැසිරවීම සඳහා නිර්මාණය කරන ලද සමාගමක අයිතිකරු ලෙස ඔහු හඳුන්වා තිබේ. මෙම සමාගම 2009 වසරේ සිට භාවිතා වී ඇති බවත් සඳහන් වනවා.

මීට අමතරව ස්පාඤ්ඤ පාපන්දු කළමනාකරු Pep Guardiola පිළිබඳව ද පැන්ඩෝරා ලේඛනවල සඳහන් වනවා. ඒ අනුව ඔහු කටාර් රාජ්‍යයේ සිටින අතරතුර බැංකු ගිණුමක් විවෘත කර ඇති අතර එය අයථා මුදල් ගනුදෙනු සඳහා පවත්වා ගෙන ගොස් ඇති බව සඳහන් වේ. මේ බව ඔහු ස්පාඤ්ඤ බලධාරීන් වෙත දන්වා නොමැති බවත් එම වාර්තාවෙහි දැක්වෙනවා.

Manchester City කණ්ඩායමේ ද කළමනාකරු වන Guardiola එම බැංකු ගිණුමේ යුරෝ 500,000ක මුදලක් තැන්පත් කර ඇති බව ද, එම ගිණුම ඔහු Barcelona කණ්ඩායමේ කළමණාකරුව සිටියදීත් භාවිතා කර ඇති බව ද අදාළ ලේඛනවල සටහන් වනවා.

Pep Guardiolaට අමතරව ඉතාලි පාපන්දු කළමනාකරු වන Carlo Ancelotti පිළිබඳව ද පැන්ඩෝරා ලේඛන විසින් හෙළිදරව් කර තිබුණා. Ancelotti යුරෝ මිලියනයක බදු මුදල් පැහැර හැර ඇති බව මීට මාස කීපයකට පෙර තහවුරු වුනා. ඒ 2014-15 කාලයේ දී ඔහු Real Madrid සමඟින් කටයුතු කළ කාලය තුල ඔහුගේ ප්‍රතිරූප අයිතිය වෙනුවෙන් ඔහුට ගෙවීමට නියමිතව තිබූ බදු මුදල් වීම විශේෂත්වයක්.

මීට අමතරව Formula 1 ධාවකයන් වන Bernie Ecclestone, Flavio Briatore, Jacques Villeneuve සහ Lawrence Stroll පිළිබඳව ද පැන්ඩෝරා ලේඛන මඟින් අනාවරණය කර තිබුණා.

අන්තර්ජාලය ඇසුරෙනි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<