චිරං ජයතු ගුරු මවුනි පියාණනි!

ජාත්‍යන්තර ගුරු දිනය 2021

1355

සමාජයට යහපත් දරුවෙක් දායාද කිරීම සෑම දෙමාපියෙකුගේ ම සිහිනයක්. ක්ෂේත්‍රය කුමක් හෝ වේවා සෑම දෙමාපියෙක් ම ඒ සිහිනයේ කිමිදෙනු නියතයි.

නමුත් ජීවන අරගලයේ දී ඔවුන්ට තම දරුවා වෙනුවෙන් ම වෙහෙස වීමේ කාලයක් ලැබෙන්නේ නැහැ. ඒ කාරණය හේතුවක් කර ගනිමින් දරුවා අතහැරිමට ද ඔවුන් කැමති නැහැ. එබැවින් ඔවුන් එතැන දී තමන්ගේ සිහින යථාර්ථයක් කර ගැනීමට කරනු ලබන පළමු තෝරා ගැනීම වන්නේ “ගුරුවරයා” යි.

එතැන් සිට දෙමාපියනුත්, දරුවනුත් ඈඳෙන ශක්තිමත් මෙවලමක් බවට ගුරුවරයා බවට පත්වේ. ලෝකයේ හිස ඔසවා ජීවත් වීමට අවැසි මානසික ශක්තිය, ආකල්පමය පදනම වැටෙන්නේ ගුරුවරයාගෙන්. පොත පතේ දැනුමට වඩා ඔබ්බට යන නැණ පවස ලබා දෙන්නෝ ඔවුන්. ක්‍රීඩා විෂයේ දී ද එහි වෙනසක් නැහැ.

මේ මස 6 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර ගුරු දිනය ඉලක්ක කර ගනිමින්, මේ ඔවුන් ගැන ක්‍රීඩා ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් හා ThePapare.com කළ කතා බහක කතා සටහනක්.

පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත්

මම ලැබූ ජයග්‍රහණවල මූලික අඩිතාලම දැමූ පුද්ගලයා සේ ම ඒ වෙනුවෙන් මාව මෙහෙයවමින් රැගෙන ගිය පුද්ගලයා ද වන්නේ මගේ ක්‍රීඩා පුහුණුකරු නිශාන්ත ප්‍රදීප් මහතා. ගුරුවරයෙක් ලෙසින් එතුමා මාව ඉතාම හොඳින් හඳුනා ගෙන මාව මේ තැනට ගෙන ඒමේ ගෞරවය එතුමාට හිමියි.

පාසල් කාලයේ දී අපිට හමුවුණේ අධ්‍යාපනය මූලික කර ගත් ගුරුවරු පමණයි. අපි ඒ දවස්වල ගුරුවරුන් ලෙසින් දැන හිටියේ ද ඔවුන් ගැන පමණයි. කෙසේ වෙතත් එදා අපිට ඉගැන්වූ ගුරුවරුන් ගැන ද මා තුළ ඇත්තේ නිහතමානී ගෞරවයක්. ඔවුන් අපිටත් වඩා අපි ගැන වද වෙමින් විෂය මාලාවන් ඉගැන්වූවත් අප වෙළි සිටි සමාජමය සහ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් අපෙන් පාසල් පොත් අධ්‍යාපනය මඟ හැරෙනවා.

යුද හමුදාවට එක් වෙමින් ඊටත් පසුව ආබාධිත ක්‍රීඩකයෙක් බවට පත් වූවාට පසුවයි මට ප්‍රදීප් සර් හමුවෙන්නේ. ඔහු යහළුවෙක් වගේ මගේ අවශ්‍යතාවන් හඳුනාගෙන මාව ක්‍රීඩා පිටියට හැඩ ගස්වනවා. මේ සමීප බව මගේ ගමනට විශාල පිටිවහලක් වෙනවා. මම හිතනවා ඒ බැදීම, අපිට අපි ලැබූ ජයග්‍රහණවල මූලික ම වස්තු බීජය බව.

ජයග්‍රහණයේ දී ම වගේ ම පරාජයේ දී ද ඔහු මගේ ළඟ හිටියා. ඒක ඔහුගේ ද පරාජයක් ලෙස දැක්කා. 2018 ලෝක පැරා ශූරතාවලියේ දී මගේ අතේ ආබාධිත තත්ත්වයක් ඇති වෙනවා. ඒ අවස්ථාවේ ඔහු මටත් වඩා උනන්දුවෙන් මාව බලාගත්තා. ඔහු නිතර ම කිව්වේ, ‘මේක අවසානය නෙමේ අපිට තව යන්න දුර තියෙනවා. ඒකට ලෑස්ති වෙමු’ කියලා.

එවන් ගුරුවරයෙක් ලැබීම ගැන මම සතුටු වෙනවා වගේ ම ගුරුවරුන්ගේ දිනයේ දී ඔහුගේ මාගේ උණුසුම් සුබ පැතුම් එක් කරනවා.

ප්‍රවීණ දැල්පන්දු පුහුණුකාරිණී තිලකා ජිනදාස

ගුරුවරු කියන්නේ අපේ ජීවිතේ මඟ කියා දෙන දෙවැනි දෙමාපියන් ලෙසයි මම දකින්නේ. මම පාසල් යන කාලයේ සහ විශේෂයෙන් ම ක්‍රීඩා කරන කාලයේ විශාල පිටිවහලක් ලබා දුන් ගුරුවරු හිටියා. අපිට වැරදුණ තැන්වල දී කියල දුන්න ගුරුවරු හිටියා. විශේෂයෙන් ම මගේ පුහුණුකරුත් මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි.

මොකද මමත් දැන් පුහුණුකාරිණියක්. ඉතිං මටත් ඒ ගුරුවරුන්ගේ අත්දැකීම ගොඩාක් දැනෙනවා. ළමුන්ට අපහසු තැන්වල දී අපි කොහොම ද ළමයින්ට උදව් කරන්නේ. ඒ දෙන උපදෙස්. සමහර ළමයි ගැන දෙමාපියන් අපි කෙරෙහි විශ්වාස තබාගෙන පවසන දේවල් තියෙනවා. මිස් කිව්වොත් මේ දේ කරයි කියන එක තමයි ඔවුන් කියන්නේ. ඒකයි මම කිව්වේ දෙමාපියන් හා ගුරුවරුන් එක සමානයි කියලා.

ඇත්තට ම ගුරුවරයෙක් කියන්නේ සෑම දරුවෙක්ගේ ම සෑම කාරණයක දී ම පෙනි සිටින කෙනෙක්. එවැනි ගුරුවරු එදා සමාජයේ වගේ ම අද සමාජයේ ද සිටිනවා. නමුත් මේ වෙද්දී ගුරු වෘත්තිය ඊට වඩා විකාශය වූ චරිතයක් වෙලා.

තියෙන තත්ත්වයත් සමඟ අද ඇතැම් ගුරුවරුන්ට දරුවන්ට උගන්වන්න වෙලා තියෙන්නේ දරුවා නොදැක. ඒක විශාල කාර්යයක්. ඒ වෙනුවෙන් ඔවුන්ට ගරු කළ යුතුයි.

පාසල් කාලයේ මගේ ක්‍රීඩා ගුරුවරිය වුනේ සාමා සමරකෝන් මහත්මිය. ඊට පස්සේ යෝගානන්ද විජේසුන්දර මහතා. එතුමාගෙන් ලැබුණ පිටිවහල තමයි මම ක්‍රීඩා ගුරුවරියක් ලෙසින් පාවිච්චි කරන්නේ. මම හැසිරෙන විදිහ, මම ළමයින්ට සලකන විදිහ, ඔවුන්ට උගන්වන ක්‍රමවේදයන් යන මේ දේවල් මම යෝගානන්ද සර්ගෙන් ඉගෙන ගත් දේවල්.

යෝගානන්ද සර් අපිව හුරු කළ විදිහට මම මට ලැබුණ කණ්ඩායම් හුරු කළා. ඒක ගොඩාක් සාර්ථක වුනා. අපිව පුහුණුකරවන කාලයේත් සර් ළඟ ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 17 දෙනෙක් විතර හිටියා. ඒ අය හසුරවන එක ලෙහෙසි නැහැ.

මම ජාතික කණ්ඩායම පුහුණු කරන විට මගේ ළඟත් විවිධ ආකාරයේ අය හිටියා. විවාහ වූ අය පවා හිටියා. තරුණ ළමයි හිටියා. එහෙම අය එක ම මට්ටමක තියා ගන්න එක ලොකු අභියෝගයක්. ඒ වගේ අභියෝගයක් මට ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ යෝගානන්ද සර්ගෙන් ලැබුණ ආභාෂය.

ඒ ලබා දුන් අත්දැකීම්වලට මම අදටත් යෝගානන්ද සර්ට ගෞරව කරනවා. මට පුළුවන් හොඳම දේ තමයි මම කරපු දේවල් හරියට කරලා, ඒ කරන දේ තුළින් රටට ජයග්‍රහණයක් ලබා දීම. ඒක තමයි ගුරුවරයාගේ බලාපොරොත්තුව. අපි දන්නවා, ළමයෙක් විභාගයක් පාස් වුණහම ගුරුවරයෙක් කොච්චර සතුටු වෙනව ද කියලා. ඉතිං අපිට ශිෂ්‍යයෙක් ලෙසින් ගුරුවරයෙක් ලබා දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි අපේ දක්ෂතා මගින් ලබා දෙන ජයග්‍රහණය.

ප්‍රවීණ මලල ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ

මගේ ජීවිතයේ සුවිශේෂි වෙනස්කම් කළ ගුරුවරු අතුරින් පළමු තැන හිමිවෙන්නේ මගේ  ක්‍රීඩා පුහුණු ගුරුවරුන්ට. ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ දී මගේ දක්ෂතා ඉහළ නැංවු පළමු ගුරුවරිය වන්නේ ශ්‍රියානි පුෂ්පලතා මහත්මිය. ඇය වෙතින් මා මලල ක්‍රීඩා සහ නෙට්බෝල් කළා. ඊට පස්සේ Himiko Thakasawa කියලා ජපන් ගුරුවරියක් හිටියා. ඇය අපිට කළේ වොලිබෝල් ඉගැන්වීම.

මම පාසල් නේවාසිකාගාරයේ සිට ඉගෙන ගත් කෙනෙක්. ඒ නිසා දැඩි නීති යටතේ ඉගෙන ගත්තේ.  ඒක ජපන් මිස් ගොඩාක් අගය කළා. අපේ අය කොහොමටත් වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද අඩුයිනේ. නමුත් මිස් වෙලාවට වැඩ කරන නිසා අපි ඇයගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ඇයගේ පුහුණු වැඩසටහන් හරියට කරන්න ඕන. ඒක කළාට පස්සේ එයා හරියට අපිට ප්‍රශංසා කරනවා. ඒක අපිට විශාල ශක්තියක්. වරදක් තියෙනවා නම් අපිට කිව්වේ ගොඩාක් වෙලාවකට පස්සේ. සාමා මිස් වගේ ම ජපන් මිස් යන ඔවුන් දෙදෙනා ම මට මගේ පාසල් ජීවිතයේ ජයග්‍රහණවලට විශාල ශක්තියක් වුනා.

මහන්සි වීමෙන් ගොඩාක් ප්‍රතිඵල ලැබෙනවා කියනවා නේ. මමත් ඔවුන් සමඟ ගොඩාක් මහන්සි වුනා. ඒ නිසා තමයි මට පාසල් ක්‍රීඩිකාවක් ලෙසින් අවුරුදු 17 දී උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාවට යන්න හැකි වුනේ. ඒ වගේ ම මම වොලිබෝල් ජාතික පුහුණු සංචිතයටත්, නෙට්බෝල් ජාතික පුහුණු සංචිතයටත් සහ මලල ක්‍රීඩා ජාතික පුහුණු සංචිතයටත් එක් වෙන්න ලැබෙන්නේ මගේ ගුරුවරු දෙන්නා මම වෙනුවෙන් ඒ අය වෙන් කරපු වෙලාවෙන් මම උපරිම ප්‍රයෝජන ගත් නිසා.

අදටත් මම ඒ දෙන්නා ගොඩාක් ආදරයෙන් මතක් කරනවා. ඊට පස්සේ මම කොළඹට ආවට පස්සේ ඩර්වින් පෙරේරා මහතා සහ ලක්ෂ්මන් ද අල්විස් මහතා යටතේ පුහුණුවීම් ලබනවා. ඒ දෙන්න ම අද ජීවතුන් අතර නැහැ. ඒ අය මට හරියට ම යන්න පාර පෙන්නුවා. මගේ ඉලක්කය කරා යන්න ඒක ලොකු පහසුවක් වුනා.

මම අද ක්‍රීඩාවේ යම් තැනක ඉන්නේ මේ ගුරුවරු හතර දෙනා නිසා. ඒක මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒත් එක්ක ම අද මම පුහුණුකාරිණියක් ලෙසින් මගේ දරුවන්ට කියන්නේ, මම පුහුණුකාරිනණියක් ලෙසින් මොන දේ කළත් වැඩක් නැහැ දරුවනුත් ඒ වෙනුවෙන් උනන්දුවක් නැත්නම් කියලා. ඔවුනුත් උනන්දු විය යුතුයි.

මම වයඹ පළාතේ සිට කොළඹට ඇවිත් අවුරුදු 30කට ආසන්නයි. නමුත් මම කවදාවත් කොළඹ වෙනුවෙන් නෙමේ ගම වෙනුවෙනුයි ක්‍රීඩා කළේ. ඒක ගුරුවරුන් හා තිබුණ බැදීම. මම අදටත් කැමතියි වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මැල්සිරිපුර, රාගෙදර කියන එකින් එක ගම්වල කෙනෙක් හම්බවුණහම. ඒ මගින් ලොකු සතුටක් විදිනවා. ඒ වගේ ම මම පිට රටක ගියහම ශ්‍රී ලංකාවේ කෙනෙක් හමුවුණොත් හරි සතුටුයි. ලොකු බැදීමක් තියෙනවා. මේ දේවල් අපිට ක්‍රීඩා පිටියේ දී වගේ ම පාසලේදීත් කියා දුන් දේවල් සහ අපේ ජාන මගින් ඉබේම මතුවෙන දේවල්.

මම ගුරු දිනය වෙනුවෙන් මට ක්‍රීඩාව උගන්නපු වගේ ම අධ්‍යාපනය වෙනුවෙනුත් මාව මේ තැනට ගේන්න මහන්සි වුන සියලුම ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට මගේ හිස නමා ආචාර කරනවා ඔවුන්ව ඉතා ආදරයෙන් මතක් කරනවා වගේ ම මියගිය අයට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ශ්‍රියානි කුලවංස ඇයගේ දියණිය සමඟ

මේසපන්දු ක්‍රීඩක චලිත රංජන

මගේ ජීවිතයේ සුවිශේෂි වෙනසක් කරපු ගුරුවරයා තමයි, මගේ ක්‍රීඩා පුහුණුකරු අනුරලාල් අලගියාවඩු මහතා. ඔහු නෑකමින් මගේ මාමා වුනත් ඒ සීමාවේ මාව කවදාවත් තියා ගත්තේ නැහැ.

මම මුලින් ම කළේ පිහිනුම් ක්‍රීඩාව. එතැන දී මගේ පුහුණුකරු වුනේ දමිත් චන්ද්‍රලාල් මහතා. නමුත් මාස 8කට විතර පස්සේ මම මේසපන්දු ගහන්න යනවා. පිහිනුම්වලට තිබුණ මගේ දක්ෂතා නිසා දමිත් චන්ද්‍රලාල් මහතා ගෙදරටත් පාසලටත් ඇවිත් මාව ඒ වෙනුවෙන් යොදවන ලෙස ඉල්ලා සිටිනවා. නමුත් ඒ වෙද්දි මගේ හිත තිබුණෙ මේසපන්දුවේ. ඒකට ගෙදර අය වුනත් අකමැති වුනේ නැහැ.

අවුරුදු 8න් ආරම්භ කළ මේසපන්දු ක්‍රීඩාවේ මේ දක්වා ම මගේ පුහුණුකරු වෙන්නේ අනුරලාල් මහතා. දශක දෙකකට වැඩි කාලයක් එතුමා යටතේ පුහුණුවීම් ලැබූ මම අවුරුදු 4ක් ජාතික ශූරයා ලෙසත් සහ අවුරුද්දක් ජාතික කනිෂ්ඨ ශූරයා ලෙසත් ශූරතා දිනා ගන්නවා.

ඊට අමතර ව 1999, 2003 සහ 2010 SAG තරගාවලි නියෝජනය කරමින් ලෝකඩ පදක්කම් 5ක්, රිදි පදක්කමක් ද දිනා ගන්නා චලිත 2018, 2019 සහ 2020 වසරවල නවසීලන්ත විවෘත මේසපන්දු තරගාවලි නියෝජනය කරමින් රන් පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනා ගැනීමට ද සමත්වෙනවා. මේ සියලු ජයග්‍රහණ පිටුපස සිටින යෝධ හස්තය අනුරලාල් මහතා.

ගුරුවරයාගේ භූමිකාව ජයග්‍රහණයේ දී සතුටු වීම පමණක් නොවේ, පරාජයේ දී වඩාත් පන්නරය වී ඊට මුහුණ දීමට හැඩ ගැස්වීම ද වෙනවා. මේ විශේෂත්වය ද මම ඔහු වෙතින් ලැබුවා. සමහර පරාජිත අවස්ථාවල දී මට දරාගන්න බැරි අවස්ථා උදා වෙලා තියෙනවා. සෑම ක්‍රීඩකයෙක්ගේ ම කැමැත්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීම. මටත් ජාතික කණ්ඩායමට එක් වෙන්න ලේසියෙන් අවස්ථාව හිමි වුනේ නැහැ. නමුත් ඒ අවස්ථාවල මාව දිරිමත් කළේ මගේ පුහුණුකරු.

ජාතික කණ්ඩායම අසලට ම ආවත් එය අහිමි වූ අවස්ථා ඕන තරම් මගේ ජීවිතයේ තිබුණා. මේ තත්ත්වයෙන් මිදෙන්න ඔහු මට දුන් උපදේශය තමයි ‘චලිත වෙනත් ක්‍රීඩකයන්ගේ තරගවලින් ජාතික කණ්ඩායමට එන්න බැහැ. ඔයා අංක එක වෙන්න ඕන. ඊට පස්සේ ඔයාව ජාතික කණ්ඩායමෙන් ඉවත් කරන්න කාටවත් බැහැ‘ කියලා. එහෙම කියල නතර නොවූ ඔහු ඒ වෙනුවෙන් මට විශේෂ පුහුණු කාලසටහන් යොදගෙන පුහුණු කිරීම්වල නිරත කළා.

ඒ දැක්ම එදා ඔහු තුළ නොතිබුණා නම් අද මට ආඩම්බරයෙන් කියන්න තරම් මේසපන්දු අතීතයක් නැහැ. මගේ ජීවිතයේ මට හමු වූ ගුරුවරුන් අතුරින් අනුරලාල් මහතා විශේෂ වෙන්නේ මගේ ජයග්‍රහණයේ දී මෙන් ම පරාජයේ දී ද මාව නොවැටෙන්න නොදී බලා ගත් නිසා. ඔහුට මේ ගුරුවරුන්ගේ දිනයට චිරං ජයතු වේවා යැයි ප්‍රාර්ථනා කරන අතර මගේ පාසල් අධ්‍යාපනයේ දී හමු වූ සියලුම ගුරු භවතුන්ට ද චිරං ජයතු වේවායි ප්‍රාර්ථනා කරනවා.

ජාත්‍යන්තර ගුරු දිනය සමරන මේ අවස්ථාවේ දී ThePapare.com ද සියලු ගුරු භවතුන් වෙත උණුසුම් සුබාශිංෂන එක් කරනවා.

චිරං ජයතු ගුරු මවුනි, පියවරුණි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<