මෙරට පැවැත්වෙන තරග ප්‍රේක්ෂකයන්ට විවෘත වන ලකුණු

570
Fans back for Cricket - Asia Club 7s

ඉදිරි කාලය තුල මෙරට පැවැත්වීමට නියමිත ක්‍රිකට් සහ රග්බි තරග සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමට අවස්ථාව හිමි වනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියා.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙරට සියලු ක්‍රීඩා තරග අවලංගු කළ අතර ඉන් අනතුරුව ආරම්භ වූ තරග ද ප්‍රේක්ෂකයන්ට විවෘත වූයේ නැහැ. 

ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ ආසියාවේ ප්‍රබලතම රග්බි සමාජ සහභාගී වන සත් සාමාජික රග්බි තරගාවලියක් මෙරට පැවැත්වීම සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය ආසියානු රග්බි සම්මේලනය සමඟින් සාකච්ඡා කරමින් සිටින බවයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පවසා සිටියා.

පසුගිය වසරේ පැතිර ගිය කොරෝනා වයිරසය නිසා ලොව පුරා ක්‍රීඩා තරග සියල්ල අවලංගු කෙරුණු අතර පසුගිය වසරේ අග භාගයේ දී නැවත තරග පැවැත්වීම ආරම්භ කෙරුණා. ඒ අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරට ටෙස්ට් තරගාවලියක් පසුගිය මාසයේ දී සඳහා එක් වූ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවා තිබූ සෞඛ්‍ය නීති රීති වලට අනුව එම තරගාවලිය ප්‍රේක්ෂකයන්ට විවෘත වූයේ නැහැ. 

මෙරට තුල කොරෝනා වයිරසය වර්තමානය වන විට යම් පාලනයකට ලක්ව තිබෙන අතර රටේ සෙසු උත්සව ද සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබේ. මේ නිසා එළඹෙන අප්‍රේල් මාසයේ දී මෙරට පැවැත්වීමට සැලසුම් කර ඇති බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමට වැඩි අවස්ථාවක් හිමිවනු ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියා.

බංග්ලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වන අතර එම තරගාවලිය එළඹෙන අප්‍රේල් මස 21 වැනිදා සිට මැයි මස 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාලව පැවැත්වෙන අතර එම තරග දෙකම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ටෙස්ට් තරගාවලිය පසුගිය වසරේ ජූලි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර ඒ වන විට මෙරට පැවති සෞඛ්‍ය අවදානම නිසා තරගාවලිය කල් දැමීමට තීරණය කෙරුණා. 

“මම ඉල්ලීමක් කළා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ ධාරිතාවයෙන් 40% – 50%ක් පමණ ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගී කරගන්න. මම විශ්වාස කරනවා අපිට දැන් ප්‍රේක්ෂකයන් එක්ක තරග පවත්වන්න පුළුවන් කියලා.” 

තවත් ක්‍රිකට් පුවත්:

ආසියානු අන්තර් සමාජ සත් සාමාජික තරගාවලිය 

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති Qais Al-Dhalai සමඟින් පැවති සාකච්ඡාවක දී ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. 

යෝජිත තරගාවලිය සඳහා ආසියානු කලාපයේ ප්‍රධාන පෙළේ රග්බි සමාජ සහභාගී වීමට නියමිතයි. මේ වන විට අදාළ තරගාවලිය පැවැත්වීම සඳහා ඇති හැකියාව පිළිබඳව තක්සේරු කරමින් තිබෙනවා. 

“අපි ක්‍රීඩා අමාත්‍යාංශය විදිහට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි දෙකක් සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ආසියානු රග්බි සම්මේලනය එක්ක මේ ගැන සාකච්ඡා කලා. මම යෝජනා කලා ප්‍රධාන පෙළේ රග්බි සමාජ සහභාගී වන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියක් මෙරට පවත්වන්න”, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියා.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ද කොරෝනා වයිරසය හේතුවෙන් අවලංගු වුනා. 

මෙම වසරේ අග භාගයේ දී ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වැනි අදියර මෙරට දී පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සැලසුම් කර තිබෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <