සුරංග ලක්මාල් එංගලන්තයට

7373

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකු මෙන්ම අත්දැකීම් බහුල පන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායමක් වන Derbyshire සමඟ වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගතව ඇති බව එම කණ්ඩායම නිවේදනය කර තිබෙනවා.

මේ වන විට 34 වැනි වියේ පසුවන සුරංග ලක්මාල් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කඩුලු 285ක් දවා ගැනීමට සමත්ව ඇති අතර ටෙස්ට් පිටියේ මෙරට බිහි වූ සාර්ථකම වේගපන්දු යවන්නෙකු වූ ඔහු ටෙස්ට් කඩුලු 168ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

ඔහු මෙම මාසයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බව ඊයේ (03) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

ඒ අනුව එම තරගාවලියෙන් පසු ලක්මාල් Derbyshire සමඟ එක්වීමට නියමිත අතර ඔහු එංගලන්ත වීසා සහ එරට ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමි වූ පසුව Derbyshire හී සියලූම ක්‍රිකට් කණ්ඩායම් (සියලුම ආකෘතීන්) නියෝජනය කිරීමට සූදානම් බව එම කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

2018-2021 කාලසීමාවේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වූ ලක්මාල් එම කාලසීමාවේ දී කඩුලු 72ක් දවා ගැනීමට සමත් වූ අතර ඔහු පසුගිය වසරේ මාර්තු මාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 47කට කඩුලු 5ක් දවා ගනිමින් සිය හොඳම පන්දු යැවීමේ දස්කම වාර්තා කළා.

සීමිත පන්දුවාර තරගවල ද ඉහළ දස්කම් පෙන්වීමට සමත් වූ ඔහු List A කඩුලු 235ක් සහ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 109ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

එමෙන්ම නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගත් කණ්ඩායමේ සාමාජිකයෙකු ද වූ ලක්මාල් Derbyshire කණ්ඩායමේ දී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු Mickey Arthur සමඟින් එක්ව වැඩ කිරීමට නියමිතයි.

ලක්මාල් සිය කණ්ඩායමට එක්වීම පිළිබඳව Derbyshire කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානී Mickey Arthur ප්‍රකාශ කර සිටියේ,

“සුරංග පන්දු යැවීම අතින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටයන් අතර සිටින ක්‍රීඩකයෙක්, ඔහුව Derbyshire කණ්ඩායමට ගෙන ඒමට හැකි වීම විශාල දෙයක්. Derbyshire සඳහා අපිට විශාල සැලසුම් තියෙනවා වගේම ලක්මාල් ජාත්‍යන්තර පිටියෙන් සමුගෙන ක්‍රීඩා සමාජයට එක්වීම ගත් තීරණයෙන් ඔහු අනෙකුත් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් වගේම එම සැලසුම් පිළිබඳව උනන්දුවක් දක්වනවා කියලා පෙන්නුම් කරනවා.

ඔහු මගේ ප්‍රමිතීන් දන්නවා වගේම පිටියේ දී සහ ඉන් පිටත දී ක්‍රීඩකයින්ට ආදර්ශයක් ලබා දීමට ඔහුට හැකියි. ඒ වගේම ඔහුගේ පන්දු යැවීමේ ගුණාත්මක බව අපට ඉහළට යාමට විශාල සහයක් ලබා දෙනවා”.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සහ Derbyshire සමඟ එක්වීම පිළිබඳව අදහස් දක්වමින් සුරංග ලක්මාල් ප්‍රකාශ කර සිටියේ,

“ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කිරීම මට බොහෝ කාලයක් තිස්සේ ඕන වෙලා තිබ්බ දෙයක් වගේම නැවතත් Mickey Arthur සමඟ වැඩ කරන්න ලැබෙන එක මට කොහොමටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි දෙයක්.

මම මගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ගත කළ සෑම තත්පරයකටම ගොඩක් ආදරේ කරනවා. ඒ වගේම මට මගේ සිහිනය තුළ ජීවත් වීමට ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකාවට ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා මගේ මේ අලුත් අභියෝගයට මගේ අත්දැකීම් රැගෙන යන්න පුළුවන් කියලා. ඒ වගේම Derbyshire හී සිටින නවක පන්දු යවන්නන්ට උදව් කරන්න පුළුවන් කියලා”.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<