ස්පාඤ්ඤය, ජර්මනිය, පෘතුගාලය, ප්‍රංශය සහ ස්වීඩනය අවසන් 16ට

Euro 2020

147

යුරෝපා පාපන්දු පිටියේ වත්මන් ශූරයන් සොයා යන “Euro 2020” පාපන්දු තරගාවලියේ E සහ F කාණ්ඩවල මූලික වටයේ අවසන් තරග ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (23) රාත්‍රියේ සහ අද (24) උදෑසන පැවැත්වුනා.

එම තරගවලින් පෘතුගාල – ප්‍රංශ සහ ජර්මනි – හංගේරියා අතර තරග සමව අවසන් වූ අතර අනෙක් තරගවලින් පෝලන්තය සහ Slovakiaව පරදා ජයග්‍රහණ ලබා ගැනීමට ස්වීඩනය සහ ස්පාඤ්ඤය සමත් වුනා.

Sweden v Poland

අයර්ලන්තයේ Aviva ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය තියුණු සටනකින් පසු ගෝල 3-2ක් ලෙස නිමා වුනේ ස්වීඩනය අවසන් 16 වටයේ අසුනක් ද වෙන්කර ගනිමින්.

පළමු ගෝලය තරග ආරම්භයේ දී ම රැස්කිරීමට ස්වීඩන් ක්‍රීඩක Emil Forsberg සමත් වුනේ දෙවැනි මිනිත්තුවේ දීයි. දඬුවම් රාමුව තුළ දී ලබා ගත් පන්දුවක් වේගවත් පහරක් මගින් ගෝලයේ දකුණු කෙළවරට එල්ල කිරීමට ඔහු සමත් වුනා.

පළමු අර්ධය තුළ ගෝල ලබා ගැනීමට ආසන්නතම අවස්ථා කිහිපයක්ම හිමිවුවත් ඒවා කිසිවක් සාර්ථක කරගැනීමට පෝලන්තය අසමත් වීම නිසා එම අර්ධයේ පෙරමුණ ස්වීඩනයට හිමි වුනා.

ස්වීඩනය වෙනුවෙන් නැවතත් ක්‍රියාත්මක වූ Forsberg 59 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය රැස්කළා. Dejan Kulusevski විසින් දඬුවම් රාමුව තුළට ගෙනවිත් ලබා දුන් පන්දුවක් ගෝලයට එල්ල කිරීමට ඔහු සමත් වුනේ පෝලන්ත පසුපෙළ ක්‍රීඩකයන් නරඹන්නන් බවට පත් කරමිනි.

එම ගෝලයෙන් මද වෙලාවකට පසු දඬුවම් රාමුවේ වම් සීමාව අසල සිට අලංකාර පහරක් මගින් පන්දුව ගෝලය තුළට එල්ල කරමින් සිය කණ්ඩායම නැවත තරගයට ගෙන ඒමට පෝලන්ත නායක Robert Lewandowskiට හැකි වුනා.

නැවතත් තරගයේ 65 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට පෝලන්ත ක්‍රීඩකයන් සමත්වූවත් එය ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් ලෙස සඳහන් කරමින් අවලංගු කිරීමට විනිසුරුවරයා කටයුතු කළා.

සිය කණ්ඩායමට ගෝලයක් අවශ්‍යම මොහොතේ නැවත ක්‍රියාත්මක වූ පෝලන්ත නායක Robert Lewandowski විසින් 84 වැනි මිනිත්තුවේ දී පන්දුව ස්වීඩන් ගෝල රකින්නා ආසන්නයේ සිට ගෝලයේ වම් කෙළවරින් දැල වෙත යොමු කිරීමට සමත් වුනේ පෝලන්ත ප්‍රේක්ෂකයන්ගේ සතුට දෙගුණ කරමින්.

නමුත් තරගය අවසන් වීමට මොහොතකට පෙර ලබා ගත් පන්දුවක් ප්‍රතිවාදී ගෝල රාමුව ආසන්නයට ගෙනවිත් ගෝල රකින්නා මගහරිමින් දැල වෙත එල්ල කරමින් සිය කණ්ඩායම මීළඟ වටයට රැගෙන යාමට ස්වීඩන් ක්‍රීඩක Dejan Kulusevskiට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: පෝලන්තය 2 – 3 ස්වීඩනය 

ගෝල ලාභීන්:

  • පෝලන්තය: Robert Lewandowski 61’ & 84’
  • ස්වීඩනය: Emil Forsberg 59’& 2’, Dejan Kulusevski 90+4

Slovakia v Spain

කණ්ඩායම් 16 වටයට පිවිසීමට ඉතා වැදගත් තරගයක් වූ මෙම තරගයෙන් ප්‍රතිවාදී Slovakia පරදවා ගෝල 5-0ක දැවැන්ත ජයක් ලබා ගන්නට සත්කාරක ස්පාඤ්ඤයට හැකි වුනා.

ස්පාඤ්ඤයේ San Mamés ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ 12 වැනි මිනිත්තුවේ දී ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට දඬුවම් පහරක් ලැබූ නමුත් තරගාවලියේ දෙවැනි වරටත් දඬුවම් පහර අවස්ථාව සාර්ථකව අවසන් කර ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩක Alvaro Morata සමත් වුනේ නැහැ.

Morata ගෝලයේ වම් කෙළවරින් එල්ල කළ එම දඬුවම් පහර සාර්ථකව වළක්වන්නට Slovakia ගෝල රකින ක්‍රීඩක Martin Dubravka සමත් වුනේ ස්පාඤ්ඤ ප්‍රේක්ෂකයන්ගේ ද සතුට කෙටි වේලාවක් තුළ අහිමි කරමින්.

නමුත් තරගයේ පළමු ගෝලය ස්පාඤ්ඤ කණ්ඩායම වෙත ලබා දීමට Dubravkaට සිදු වුනේ 30 වැනි මිනිත්තුවේ දී ස්පාඤ්ඤ ක්‍රීඩකයෙකු එල්ල කර පහරක් ගෝල රාමුවේ වැදී නැවත ගෝලය ඉදිරියට පැමිණි පන්දුව ඉවත් කිරීමට යාමේ දී ගෝලය වෙත යොමු වීම නිසයි.

එම ගෝලයෙන් ලද වාසිය දෙගුණ කරමින් තරගයේ පළමු අර්ධයේ අතිරේක කාලයේ දී සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය රැස් කිරීමට ස්පාඤ්ඤ ක්‍රීඩක Aymeric Laporte සමත් වුනේ තරගයේ පෙරමුණ සිය කණ්ඩායමට ගෙන දෙමින්.

තරගයට නැවත පිවිසීමේ අදහසින් Slovakia කණ්ඩායම දෙවැනි අර්ධයට පිවිසියත් ඔවුන්ට එල්ල කළ පීඩනය වැඩි කරමින් ලකුණු පුවරුව ගෝල 3-0ක් ලෙස ඉහළ දැමීමට Pablo Sarabia සමත් වූයේ 56 වැනි මිනිත්තුවේ දීයි.

එම ගෝලයෙන් මිනිත්තු 10කට පමණ පසු දඬුවම් රාමුව තුළ දී ලද පන්දුවක් ගෝලයට සාර්ථකව යොමු කරමින් තරගයේ මුළු ආධිපත්‍ය සිය කණ්ඩායමට ගෙන දීමට ස්පාඤ්ඤ ක්‍රීඩක Ferran Torresට හැකි වුනා.

71 වැනි මිනිත්තුවේ දී ස්පාඤ්ඤයට තවත් ගෝලයක් පරිත්‍යාග කිරීමට Slovakia කණ්ඩායමට සිදු වුනේ ගෝල සීමාවට ඉතා ආසන්නයේ තිබූ පන්දුවක් Slovakia පසුපෙළ ක්‍රීඩක Juraj Kucka විසින් ගෝලය වෙත එල්ල කිරීම නිසයි.

ඉන් අනතුරුව කිසිදු ගෝලයක් ලබා ගැනීමට කණ්ඩායම් ද්විත්වයම අසමත් වීම නිසා තරගය ගෝල 5-0ක් ලෙස ජය ගනිමින් සිය කාණ්ඩයේ දෙවැනි තැනට පැමිණීමට ස්පාඤ්ඤයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ස්පාඤ්ඤය 5 – 0 Slovakia

ගෝල ලාභීන්:

  • ස්පාඤ්ඤය: Martin Dubravka 30’ (OG), Aymeric Laporte 45+2, Pablo Sarabia 56’, Ferran Torres 67’, Juraj Kucka 71’ (OG)

Portugal v France

තරගාවලියේ වඩාත්ම උණුසුම් කාණ්ඩය වූ F කාණ්ඩයේ ඉතා තීරණාත්මක තරගයක් ලෙස පැවති මෙම තරගය ගෝල 2-2ක් ලෙස සමව අවසන් වුනා.

ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ 31 වැනි මිනිත්තුවේ දී ප්‍රංශ ගෝල රකින්නා විසින් සිදු කළ අනතුරුදායක වැළැක්වීමක් නිසා පෘතුගාලයට දඬුවම් පහර අවස්ථාවක් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළා.

සුපුරුදු පරිදි සිය කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම ලබා ගත් නායක Cristiano Ronaldo ප්‍රංශ ගෝල රකින්නා මුලාවට පත්කරමින් ගෝලයේ වම් කෙළවරින් දැල තුළට පන්දුව එල්ල කිරීමට සමත් වුනේ සිය කණ්ඩායමට අවශ්‍ය වූ ආරම්භය ගෙන දෙමිනි.

එම ගෝලයත් සමඟින් පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය දක්වාම තරගය සිය පාලනයේ තබා ගැනීමට පෘතුගාල ක්‍රීඩකයන් සමත් වූවත් පළමු අර්ධයේ අතිරේක කාලයේ දී පෘතුගාල ක්‍රීඩක Nelson Semedo සිදු කළ වරදක් නිසාවෙන් ප්‍රංශයට දඬුවම් පහරක් හිමි වුනා.

එම දඬුවම් පහර අවස්ථා ඉතා සාර්ථකව ගෝලයට එල්ල කරමින් පළමු අර්ධය ගෝල 1-1ක් ලෙස අවසන් කිරීමට ප්‍රංශ ක්‍රීඩක Karim Benzema සමත් වුනේ තවත් උණුසුම් අර්ධයකට ඉඟි සපයමින්.

ඉතා උණුසුම් අර්ධයකින් පසු දෙවැනි අර්ධයේ දී ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුණින් කණ්ඩායම් ද්විත්වයම පිටියට පිවිසි අතර දෙවැනි අර්ධය ආරම්භ වී කෙටි වේලාවක් තුළ ලකුණු පුවරුව 2-1ක් ලෙස ඉහළ දැමීමට ප්‍රංශ ක්‍රීඩක Karim Benzema සමත් වුනේ තරගයේ 47 වැනි මිනිත්තුවේ දීයි.

දඬුවම් රාමුව තුළ දී ලද පන්දුවක් ගෝල රකින්නා ආසන්නයටම ගෙනවිත් ගෝලයට එල්ල කිරීමට Karim Benzemaට හැකි වුනේ වත්මන් යුරෝපා ශූරයන්ට තරගාවලියේ ඉදිරිය ප්‍රශ්නාර්ථයක් කරමිනි.

නමුත් එම ගෝලයේ සතුට කෙටි වේලාවකට සීමා කරමින් 59 වැනි මිනිත්තුවේ දී පන්දුව ප්‍රංශ දඬුවම් සීමාව තුළ දී Jules Koundeගේ අතෙහි දැවටීම නිසා තවත් දඬුවම් පහර අවස්ථාවක් පෘතුගාලයට හිමි වූ අතර එය එල්ල කිරීමේ වගකීම ලබා ගත්තේ ද Ronaldo විසිනුයි.

සිය කණ්ඩායමේ ඉදිරිය තීරණය කළ එම දඬුවම් පහර අවස්ථාව පීඩනය යටතේ සාර්ථකව ගෝලයේ වම් කෙළවරින් දැල වෙත එල්ල කරමින් තරගයේ ගෝල තත්වය නැවත සම කිරීමට ඔහුට හැකි වුනා.

69 වැනි මිනිත්තුවේ දී ප්‍රංශ ක්‍රීඩක Antoine Griezmann ගෝලයේ දකුණු කෙළවරට එල්ල කළ ගෝලයක් ලබා ගැනීමට ඉතා ආසන්න අවස්ථාවක් අතිදක්ෂ ලෙස නැවතීමට පෘතුගාල ගෝල රකින්නා සමත් වුනේ පෘතුගාල ක්‍රීඩකයන් ද පුදුමයට පත් කරමිනි.

තරගයේ සම්පූර්ණ කාලය අවසන් වනතුරු තවත් ගෝල ලබා ගැනීමට දෙපිලටම නොහැකි වූ නිසා තරගය සමව අවසන් වූ නමුත් ප්‍රසාද ලකුණු මත මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට කණ්ඩායම් ද්විත්වයටම හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: පෘතුගාලය 2 – 2 ප්‍රංශය

ගෝල ලාභීන්:

  • පෘතුගාලය: Cristiano Ronaldo 31’ (P) & 60’ (P)
  • ප්‍රංශය: Karim Benzema 45+2 (P) & 47’

Germany v Hungary

ජර්මනියේ සත්කාරකත්වයෙන් Allianz Arena හී පැවති මෙම තරගය ඉතා තියුණු සටනකින් පසු ගෝල 2-2ක් ලෙස සමව අවසන් කරමින් මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ජර්මානු ක්‍රීඩකයන්ට හැකි වුනා.

තරගයේ පළමු ගෝලය රැස්කිරීමට හංගේරියානු ක්‍රීඩක Adam Szalai සමත් වුනේ 11 වැනි මිනිත්තුවේ දීයි. Roland Sallai විසින් දඬුවම් රාමුවෙන් පිටත් සිට යොමු කළ පන්දුවක් අලංකාර ලෙස හිසින් ගෝලයට යොමු කිරීමට Adam Szalaiට හැකි වුනේ ජර්මානු ක්‍රීඩකයන්ට තරගය ආරම්භයේම දැඩි පීඩනයක් එල්ල කරමිනි.

එම ගෝලයෙන් පසු ජර්මානු ක්‍රීඩකයන් තරමක ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයකින් ක්‍රීඩා කරන්නට වූ නමුත් හංගේරියානු ගෝල රකින්නාගේ සහ පසුපෙළ ක්‍රීඩකයන්ගේ දස්කම් නිසා පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස පසුපස සිටිමින් එම අර්ධය අවසන් කිරීමට ඔවුන්ට සිදු වුනා.

පළමු අර්ධයේ සිදු වූ පසුබෑමෙන් අනතුරුව දෙවැනි අර්ධයට පිවිසි ජර්මානු කණ්ඩායම වෙනුවෙන් තරගයේ 66 වැනි මිනිත්තුවේ දී ගෝලයක් රැස්කර ගෝල තත්වය සම කිරීමට Kai Havertz සමත් වුනා.

Mats Hummels ලබා දුන් පන්දුවක් ගෝල රකින්නාගෙන් හිස්වූ ගෝලයට හිසින් තල්ලු කිරීමට Havertz සමත් වුනේ සිය කණ්ඩායමට නැවතත් තරගාවලියේ දොරගුළු විවර කරමිනි.

නමුත් ජර්මානු ක්‍රීඩකයන්ගේ සතුට ඉතා සුළු වේලාවකට සීමා කරමින් 69 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය රැස්කිරීමට හංගේරියානු ක්‍රීඩක Andras Schafer සමත් වුනේ දඬුවම් රාමුව තුළට ලද පන්දුවක් ජර්මානු ගෝල රකින්නා රැකගැනීමට ප්‍රථම ගෝලය වෙත යොමු කිරීමෙන්.

සිය කණ්ඩායමට තරගාවලියේ ඉදිරිය අවිනිශ්චිත වී තිබූ මොහොතක ක්‍රියාත්මක වූ ජර්මානු Leon Goretzka දඬුවම් රාමුවේ සිට එල්ල කළ පහරක් හංගේරියානු ගෝල රකින්නා පසු කරමින් ගෝලය තුළට යොමු වුනේ ජර්මානු මෙතෙක් වෙලාවක් නිහඬව සිටි ජර්මානු ප්‍රේක්ෂකයන්ගේ සතුට දෙගුණ කරමිනි.

එම ගෝලයෙන් පසු කිසිදු ගෝලයක් ලබා ගැනීමට නොහැකි වීම නිසාවෙන් තරගය ගෝල 2-2ක් ලෙස සමව අවසන් වූ අතර ප්‍රසාද ලකුණු මත ජර්මනිය සිය කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබා ගනිමින් මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීම සමත් වුනා.

ඉතා උණුසුම් තරගයකින් පසු හංගේරියානුවන්ට සිය යුරෝපා ගමනට තිත තබමින් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූවත්, තරගාවලිය පුරාවටම ඔවුන්ගේ සටන්කාමී ක්‍රීඩා විලාශය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණා.

අවසන් ලකුණු තත්වය: හංගේරියාව 2 – 2 ජර්මනිය 

ගෝල ලාභීන්:

  • හංගේරියාව: Adam Szalai 11’, Andras Schafer 69’
  • ජර්මනිය: Kai Havertz 66’, Leon Goretzka 84’

ඒ අනුව තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල අවසන් වූ අතර කණ්ඩායම් 16 තරග සෙනසුරාදා (26) සිට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලූම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<