ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ “ග්‍රාන්ට් එලියට් අසුන”

103

‘ග්‍රාන්ට් එලියට්’ නම ඇසූ පමණින් ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙකුට 2015 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගය මතක්වන්නේ නිරායාසයෙනි. ග්‍රාන්ට් එලියට්ගේ හයේ පහරින් නිමවුනු එම තරගය වෙනුවෙන් ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ අසුනක් වෙන් කිරීමට එම ක්‍රීඩාංගණයේ කළමනාකාරීත්වය පසුගියදා තීරණය කර තිබිනි. 

දකුණු අප්‍රිකාවට සමුදෙන වේගපන්දු පුරාවෘත්තය

දකුණු අප්‍රිකානු වේගපන්දු පුරාවෘත්තය වර්නන් ෆිලෙන්ඩර්, එළඹෙන එංගලන්ත ටෙස්ට්…

තමන්ට රූපවාහිනියේ හෝ චිත්‍රපටයක යම් දෙයක් දුටු පමණින් එය මතකයේ රැඳෙන බව ග්‍රාන්ට් එලියට් පවසයි. වසර 5 කට පෙර ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ දී දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු ‍යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ට wide long on දෙසින් එල්ල කළ හයේ පහර ඔහුට තවමත් මතක ඇත. එම හයේ පහර නවසීලන්තය පළමු වතාවට ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගය දක්වා රැගෙන ගියේය. 

“මට ඒ පන්දුවට පහර දෙනවා මතකයි. ඒක මගේ ඔලුවේ පින්තූරයක් වගේ තියෙනවා. බෝලේ ප්‍රේක්ෂකයන් දිහාට යනවා මම දැක්කා. මට ටික වෙලාවක් ඒක පේන්නේ නැතිව ගියා, ලයිට් නිසා. ඒ වෙලාවේ මට විශ්වාසයක් තිබුනේ නෑ ඒක යනවද කියලා. ඒත් ටික වෙලාවකින් මම ආයෙත් ඒක දැක්කා.” එලියට් cricbuzz වෙබ් අඩවිය වෙත පවසා සිටියේය. 

ඉන් අනතුරුව ඇරඹුනේ කිසිදා අමතක නොවන සැමරුම් රැසකි. නවසීලන්ත විවේකාගාරය කිසිදා අත්නොවිඳි සතුටකින් උතුරා ගොස් තිබිනි. ග්‍රාන්ට් එලියට් විසින් ඩේල් ස්ටේන් හට නැගී සිටීමට අත දෙන දර්ශනයන්ද බොහෝදෙනා ආදරයෙන් වැළඳ ගත්හ. නවසීලන්තයට අලුත් වීරයෙක් බිහිවුනි. ග්‍රාන්ට් එලියට් ගේ හයේ පහර පතිත වූ තැන සදා සැමරීම සඳහා වෙන් කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබිනි. 

ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ 318 වන කොටසෙහි, T පේළියේ 12 වන අසුන එලෙස “ග්‍රාන්ට් එලියට් අසුන” ලෙස නම් කර ඇත. එම අසුනෙහි යට Here Lies the Resting Place of Grant Elliott’s Mighty Six That Propelled the Blackcaps on March 24, 2015 into their maiden World Cup Final”. (2015 වසරේ මාර්තු 15 වනදා තම පළමු ලෝක කුසලාන අවසන් තරගය සඳහා නවසීලන්තයට මඟපෑදූ ග්‍රාන්ට් එලියට්ගේ හයේ පහර පතිතවූ ස්ථානය) ලෙස සඳහන් කර ඇත. 

එම අසුන හඳුනාගැනීම සඳහා කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇත. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පැහැයයි. එය නවසීලන්තය දකුණු අප්‍රිකාව පරදා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් බව ලොවට මතක්කර දෙයි. ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ සෙසු අසුන් සියල්ලම අළු පැහැයක් ගන්නා අතර “ග්‍රාන්ට් එලියට් අසුන” පමණක් කොළ පැහැයක් ගනී. 

මෙම අසුන නිවැරදි ලෙස හඳුනාගැනීම එතරම් පහසු ක්‍රියාවලියක් නොවිනි. ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ කළමනාකරු වන නික් සවුට්නර්, ද නිව් සීලන්ඩ් හැරල්ඩ් පුවත්පත වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම අසුන හඳුනාගැනීම සඳහා වීඩියෝ පට විශාල ප්‍රමාණයක් අධ්‍යනය කළ බවත් තමන්ට හැකි ලෙස ඇසින් දුටු සාක්ෂි ද යොදාගත් බවයි. 

“තරගය නැරඹීමට එදා 45000 ක් වගේ ඇවිල්ලා හිටියා. ඒ වගේම රූපවාහිනියෙන් විශාල ප්‍රමාණයක් තරගය නැරඹුවා. මේ ක්‍රීඩාංගණය අවට පුද්ගලයන් පවසන විදිහට එදා ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් නැගූ ශබ්දය රූපවාහිනි දර්ශන වලට වඩා තත්පර 7 ක් පමණ කලින් තමයි ඇහිලා තිබුනේ. ඒක නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්.” සවුට්නර් පවසා සිටියේය. 

හරාරේ හිදී ශ්‍රී ලංකාවට දැවැන්ත ටෙස්ට් ජයක්!

ඊයේ දිනයේ ඇන්ජෙලෝ මැතිව්ස් වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකයත්, අවසන් දිනයේ දී සුරංග ලක්මාල්…

එලියට්ගේ උපන් රට දකුණු අප්‍රිකාව වන අතර තම ක්‍රිකට් දිවියේ අමතකම නොවන සිදුවීම දකුණු අප්‍රිකාවට එරෙහිවම ලබා ගැනීම කෙතරම් දෛවෝපගත සිදුවීමක් දැයි ඔහු මතක් කර සිටියි. කෙසේවෙතත් තම නමින් අසුනක් ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ ඇති බව එලියට් දැන සිටියද එය කොළ පැහැති වීමට හේතුව ඔහු දැනසිටියේ නැත. එම අසුන කොළ පැහැ වීමට හේතුව දැනගත් පසු ඔහු පුදුම වී ඇත. 

“මම දකුණු අප්‍රිකාවෙන් ආවේ කොන්ත්‍රාත්තුවේ ප්‍රශ්නයක් නිසා. මට කොහෙවත් ගිහින් ක්‍රිකට් ගහන්න හැකියාවක් තිබුනේ නෑ. මම හිටියේ හෝලන්ඩ් වල. මට ආරාධනාවක් ලැබුනා පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන්න. මම කිව්වා මම පුහුණුකරුවෙක් නෙමෙයි, මම ක්‍රීඩකයෙක් කියලා. මම ඒ වෙද්දී අවුරුදු 6 ක් ක්‍රිකට් ක්‍රීඩා කරලා තිබුනේ. වයස 23 යි. දකුණු අප්‍රිකාවට ක්‍රීඩා කරන මගේ හීනය බිඳ වැටුනා. මම ක්‍රීඩා කරන්න වෙනත් රටක් හොයමින් සිටියේ. මම කීපදෙනෙක්ට කතා කරලා නවසීලන්තයට ආවා. මෙහේ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කළා. මම මෙහෙට කැමති වුනා. මම ආයෙත් ගියේ නෑ.” එලියට් තම අතීතය මතක් කරමින් පවසා සිටියේය.  

මේ වන විට 40 හැවිරිදි වන ග්‍රාන්ට්, දශකයක පමණ කාලයක් නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර ඇත. ටෙස්ට් තරග 5 ක්, එක්දින තරග 83 ක් සහ විස්සයි විස්ස තරග 17 ක් ඔහු ක්‍රීඩා කර ඇත. නවසීලන්තය වෙනුවෙන් එම තරගයේ දී නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ කොරේ ඇන්ඩර්සන් ද අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය. ග්‍රාන්ට් එලියට්ට අනුව තම එක් හයේ පහර තරම් ඔවුන් ඇගයීමට ලක්වූයේ නැත. මේ නිසා එලියට් තම හයේ පහර පිළිබඳව එතරම් අදහස් ප්‍රකාශ කිරීමට කැමැත්තක් දක්වන්නේ නැත. 

“මට කෙනෙක් කිව්වා ඔහුගේ පියා අසනීප තත්වයකින් අසාධ්‍ය වෙලා ඉඳලා තියෙන්නේ. මේ තරගය ගැන දැනගන්න ලැබුනම ඔහු කියලා තිබුනා ජීවත් වෙන්න කොච්චර වාසනාවන්තයි ද කියලා. මේ වගේ දේවල් මට ගොඩක් අහන්න ලැබුනා. ඉතින් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ඊට වඩා සතුටක් තියනවද?” එලියට් පවසා සිටියේය. 

“අපි හැමෝටම අසාර්ථක වෙන බය එනවා. මට දැනුනා මම මේක කරන්න ඕනේ කියලා. මම දකුණු අප්‍රිකාවෙන් ඇවිල්ලා ඔවුන් එක්ක සෙල්ලම් කරන්නේ. මට නොදැවුනු ක්‍රීඩකයෙක් විදිහට ඉඳලා මේ තරගය පරාජය වෙන්න බෑ. මම හිතාගත්තා මම යන්නේ මේ තරගය ජයග්‍රහණය කරලා අවසන් තරගයට කණ්ඩායම ඇරන් ගිය ක්‍රීඩකයා විදිහට කියලා.” 

“ඒ වගේම හාස්‍යජනක දෙයක් තියෙනවා. මගේ සහෝදරිය තරගාවලියට මාස 6-8 කට කලින් මට කිව්වා එයාගේ විවාහයට දිනයක් හොයාගත්තා කියලා. ඒක තියෙන්නේ ලෝක කුසලානයේ අවසන් තරගය තියෙන දවසේ කියලත් කිව්වා. මම ඒ වෙලාවේ එයාට කිව්වා මම අනිවාර්යයෙන් එනවා. මම අතිරේක ක්‍රීඩකයෙක්, මාව තෝරා ගන්නෙත් නැතිවේවි කියලා. ඒ වගේම නවසීලන්තය අවසන් තරගයට එන්නත් ඕනේ කියලා මම ඇයට කිව්වා. මම දැනගෙන හිටියා ඇය ප්‍රේක්ෂකාගාරයේ ඉඳලා බලාගෙන ඉන්නවා කියලා. තරගය දිනුවොත් මට ඇයගේ විවාහයට යන්න වෙන්නේ නෑ කියලත් මම දැනගෙන හිටියා.” ග්‍රාන්ට් එලියට් සිනාමුසු මුහුණින් මතක් කර සිටියේය. 

අවසන් පන්දුවාරය යැවීමට පෙර ඩේල් ස්ටේන් ව්‍යායාම කරමින් කල් මැරූ ආකාරය ද එලියට්ට මතකය. Mid on සmid off ක්‍රීඩකයන් ඉදිරියට ගෙන ආ ආකාරය ද ඔහුට මතකය. යෝකර් පන්දුවක් එල්ල වුවහොත් ලකුණු 4 ක් ලබා ගැනීම ඔහුගේ අධිෂ්ඨානය වී තිබිනි. තරගය සමවුවහොත් නවසීලන්තයට අවසන් තරගය සඳහා අවස්ථාව හිමිවන බව ඔහු දැන සිටියේය. නමුත් සිදුවූයේ එලියට් බලාපොරොත්තු වූ පහසු පන්දුවක් එල්ල වීමය. එදින පහසුවෙන් දකුණු අප්‍රිකාවේ දිනය වීමට ඉඩ තිබිනි. නමුත් ග්‍රාන්ට් ඔවුන්ගේ දෛවය වෙනස් කළේය. 

“මම 2003 වනතුරු හිටියේ දකුණු අප්‍රිකාවේ. ඔවුන් ලෝක කුසලාන තරගාවලි පරාජය වෙනකොට ඒ වේදනාව මටත් තිබුනා. 1992 දී එක් පන්දුවකින් ලකුණු 22 ක් අවශ්‍ය වෙලා තිබුනා. 2003 දී ලකුණු සමවුනා. 1999 දී එංගලන්තයේ දී ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළා. ඒ වෙනකොට දකුණු අප්‍රිකානු තරුණයෙක් විදිහට මට ඒ වේදනාව දැනුනා.” තරගය නිමා වීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන් එක්ව සතුට සැමරීමට හේතුව පහදමින් එලියට් පවසා සිටියා. 

ලෝක ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ මැතිව්ස් ඉදිරියටම එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (24) මාධ්‍යට නිකුත් කරන ලද ලෝක ටෙස්ට්…

ග්‍රාන්ට් එලියට් ඊඩ්න් පාක් හි තම අසුන තවමත් සියැසින් දැක නැත. ඔහු ළඟදීම එය දැක ගැනීමේ ආසාවෙන් පසුවෙයි. එලියට් තවමත් එම තරගයේ පුනරූපනය නරඹා නැත. තම පියාගේ “ඊඩ්න් පාක් වික්‍රමයන්” තවමත් එලියට්ගේ පුතා ද දැක නැත. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<