එංගලන්ත සහ බංග්ලාදේශ ක්‍රීඩකයින් IPL එන ලකුණු

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

636

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි අදියරේ ඉතිරිව පවතින තරග සැප්තැම්බර් 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

පසුගිය මැයි මාසයේ දී තරගාවලිය ආරම්භ වුනු නමුත් COVID-19 වයිරසයේ බලපෑමත් සමඟ තරගාවලිය අතරමඟ නවතා දැමීමට සිදු වුනා. ඉන් පසුව එහි ඉතිරි තරග පැවැත්වීම සඳහා ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සහ IPL තරග සංවිධායකයින් විශාල උත්සහයක් දැරූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර IPL තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

කෙසේ නමුත් තරගාවලිය ආරම්භයේ ඒ ඒ කණ්ඩායම් 8 සංචිතවල සිටි බංග්ලාදේශ, එංගලන්ත, ඕස්ට්‍රේලියා සහ බටහිර ඉන්දීය කොදෙව් වැනි විදෙස් ක්‍රීඩකයින් හට ඉතිරි තරග පැවැත්වෙන කාලවකවානුව තුල ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි තිබෙන නිසාවෙන් ඒ් සඳහා සහභාගී වීමට නොහැකි වනු ඇති බව ඔවුන් පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් එංගලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2023 වසර දක්වා කල් යාම නිසාවෙන් බංග්ලාදේශ සහ එංගලන්ත ක්‍රීඩකයින් බහුතරයක් IPL ඉතිරි තරග සඳහා සහභාගී වීමට වැඩි ඉඩක් තිබෙනවා. මේ වන විට එංගලන්ත සීමිත පන්දුවාර නායක Eoin Morgan IPL ඉතිරි තරග සඳහා සිය සහභාගීත්වය තහවුරු කර තිබෙනවා.

“මම IPL ඉතිරි තරග සඳහා සෙල්ලම් කරනවා. ඒක මගේ පුද්ගලික තීරණයක්. මොකද අපිට විස්සයි විස්ස ලෝක කුසලානයක් තියෙනවා ඉස්සරහට. ඒකට කලින් ඒ වගේ තණතීරුවල ක්‍රීඩා කරන්න ලැබෙන එක ලොකු වාසියක් වෙනවා. එංගලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අවලංගු වුනු නිසා අපිට කණ්ඩායමක් විදිහට එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා තරමක් දුරට හෝ සමාන තණතීරුවල ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණේ නැතත්, මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් අපේ ක්‍රීඩකයින් උපරිම ප්‍රයෝජනය ලබාගනියි කියලා මම විශ්වාස කරනවා” යැයි Eoin Morgan විදෙස් මාධ්‍ය වෙත පවසා සිටියා.

එසේම මෙවර IPL නියෝජනය කිරීමට වරම් දිනා ගත් බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙදෙනා වන Shakib al Hasan සහ Mustafizur Rahman සඳහා IPL තරග වැදීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අනුමැතිය බොහෝ දුරට හිමිවනු ඇති බවට වාර්තා වෙනවා.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන නිසා එයට පෙර සූදානමක් ලෙස මේ ඒ අවස්ථාව ලැබෙන ක්‍රීඩකයින් හට එම තණතීරුවල ක්‍රීඩා කිරීම සඳහා යම් අවස්ථාවක් ලබාදීම ලෝක කුසලාන තරගාවලියේ දී විශාල වාසියක් වනු ඇති බව ඔවුන්ගේ ද විශ්වාසයයි.

ඕස්ට්‍රේලියානු සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් තවමත් අවසන් පිළිතුරක් ලබා දී නොමැති නමුත් Kolkata Knight Riders (KKR) කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Pat Cummins සිය පිය පදවිය අපේක්ෂාවෙන් සිටින නිසා ඔහුට IPL තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට බොහෝ දුරට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට Cummins පවසා සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<