“කුසල් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්” – Grant Flower

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය 2021

328
England tour of Sri Lanka
 

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තරමක පසුබෑමකට ලක් කළ දකුණු අප්‍රිකානු සංචාරයෙන් අනතුරුව ඇරඹෙන එංගලන්ත තරගාවලිය කෙරෙහි මෙරට ක්‍රීඩාලෝලීන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටී. 

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු සංචාරය තුල ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වීම තරගාවලි පරාජයට විශාල බලපෑමක් එල්ල කළා. 

එවන් තත්ත්වයක් තුල මාස ගණනාවකට පසු මෙරට දී ඇරඹෙන ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම කෙබඳු ද? මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු Grant Flower දැක්වූ අදහස්.

වේගවත් විස්සයි විස්ස තරග රටාවෙන් අනතුරුව ටෙස්ට් තරග රටාවට හුරුවීම අභියෝගයක් ද?

“තරගාවලිය අමාරු එකක් වේවි. ඒත් අපේ ක්‍රීඩකයන්ට වාසියක් තියනවා. ඔවුන් ගාල්ලේ ගොඩක් තරග ක්‍රීඩා කරලා තියනවා. ඔවුන් ඔවුන්ගේ රටේ තණතීරු ගැන දන්නවා. ඒත් අපි ගත්තම පසුගිය කාලය තුල ඔවුන් හැම ක්‍රීඩා රටාවකම ක්‍රීඩා කළා. ඒ නිසා ඔවුන්ට ටෙස්ට් ක්‍රීඩාවට හුරුවෙන්න ටිකක් කල් යනවා.”

දකුණු අප්‍රිකානු සංචාරය තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා කටයුතු කළා. තරගාවලිය තුල කුසල් පෙරේරා ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වූ අතර වේගවත් ආරම්භයක් ලබා ගැනීමට සමත් විය. ඒ පිළිබඳව ද Grant Flower අදහස් දක්වා තිබුණා.

“ඔව් මම හිතන්නේ ඒක අපි සැලසුම් කළ දෙයක්. ඒ විදිහට ක්‍රීඩා කරන එක ඔහුගේ කාර්‍යභාරය වුනා. අපි ඔහුට නිදහසේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒත් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර මට්ටමේ දී ඔහුගේ සමබරතාව හොයාගන්න ඕනේ. මම හිතනවා ඔහු දවසින් දවස ඉගෙන ගනිමින් හොඳ මට්ටමකට එනවා කියලා. ඔහු ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. අපි හිතනවා ඔහු එංගලන්තය එරෙහිව හොඳ ධනාත්මක ආරම්භයක් ලබා ගනිවි කියලා.”

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් මෙම තරගාවලිය තුල අසාර්ථක වීම බොහො දෙනාගේ අවධානයට යොමුව තිබූ අතර පිට පිට තෙවරක් ලකුණු නොලබා දැවී යාමට ඔහුට සිදු විය. කුසල් මෙන්ඩිස් පිළිබඳව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු දරන්නේ මෙවන් අදහසක්. 

“පිතිකරණය කියන්නේ ගොඩක් දේවල්වල එකතුවක්. මානසික තත්ත්වය වගේම තාක්ෂණික පැත්තත් ඒකට අයිති වෙනවා. අපි ලෝකේ හොඳම ක්‍රීඩකයන්ගෙන් ඒ ගැන් ඇහුවොත් ඔවුන් කියාවි මේ වගේ තත්ත්වයක් එක්ක වැදගත්ම දේ වෙන්නේ මානසිකත්වය කියලා. මේ වගේ අවස්ථාවක ක්‍රීඩකයෙක් වුනාම පොඩි පොඩි වෙනස්කම් කරන්න ඕනේ. කුසල් මෙන්ඩිස් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. අපි බලාපොරොත්තු වෙනවා ඔහුගෙන් ඉහල දක්ෂතාවයක් බලාගන්න පුළුවන් වේවි කියලා. විශේෂයෙන් එංගලන්තයට එරෙහිව.”

දකුණු අප්‍රිකානු තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී විය. දකුණු අප්‍රිකානු සංචාරයට පෙර සහ තරගාවලිය අතරතුර ඇතිවූ ආබාධ කීපයක් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල බලපෑමක් එල්ල කිරීමට සමත් වුනා. ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ද Grant Flower අදහස් දක්වා සිටියා.

“ඒක ව්‍යසනයක්. ඒත් දකුණු අප්‍රිකානු තරගාවලියට සහභාගී වෙන්න කලින් අපි ගොඩක් මහන්සි වෙලා හිටියේ. ඒ වගේ තත්ත්වයක දී ඒක සාමාන්‍ය දෙයක්. ඒත් අපි එතන ඉඳලා හරියන්නේ නැහැ. මම හිතනවා ක්‍රීඩකයන් දැන් හොඳ යෝග්‍යතාවයකින් ඉන්නවා. එංගලන්ත තරගාවලියේ දී ආබාධ ඇති නොවේවි කියලා මම හිතනවා.”

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය: දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, ඕශධ ප්‍රනාන්දු, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, මිනෝද භානුක, රොශේන් සිල්වා, දසුන් ශානක, නිරෝශන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ලක්ශාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, දුශ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර 

ශ්‍රී ලංකා – එංගලන්ත තරග කාලසටහන 

දිනය තරගය ක්‍රීඩාංගණය
ජනවාරි මස 14 සිට 18 දක්වා පළමු ටෙස්ට් තරගය  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 
ජනවාරි මස 22 සිට 26 දක්වා දෙවන ටෙස්ට් තරගය  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 

 

ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<